binara

අධි බිනර පුන් පොහොය නිමිත්තෙනි

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී ආගම් වල මෙන් විනිශ්චිත බාහිරාධිකාරයක් තුළින් පිරිනමන්නක් නො වේ.

“ලොව සියලු ආගම් වල අවසාන අපේක්ෂාව ශුද්ධත්වය යි. එය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්‍ග වල වෙනස් කම් බොහෝ බව අප වටහාගත යුතු ප්‍රධානතම සාධකය යි.”

මේ බෞද්ධ නිර්වාණධාතුවේත්, ඒ සඳහා උපයුක්ත මාර්ගයේත් ස්වාධීනත්වය අදෘෂ්ට ප්‍රකාශයකි. නිවන වනාහි, සෝවාන්, සකෘදාගාමී, යනාදි මඟ පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කට යුත්තක් විනා අන්‍ය ප්‍රතිපදා මාර්ගයකින් ප්‍රත්‍යක්ෂ කළ නො හැකි බව කිව යුතු ය. බෞද්ධ පාරිශුද්ධත්වය ආරම්මණය කොට ගත් මාර්ගයෙහි ක්‍රමිකාවස්ථා චතුරාකාර ය. ඒවා සංසිද්ධ වනුයේ දස සංයෝජන අනවශේෂාකාරයෙන් මූලෝත්පාටනය කිරීමෙනි. මෞලික ත්‍රිත්වය වන සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි මූලාවස්ථාව වන සෝතාපත්ති ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන අන්තර්ගතව කාම රාග, ප්‍රතීඝ අර්‍ධ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි ද්විතීයාවස්ථාව වන ලෞකික දුක්ඛයනට පුනරාගමනය එක් වාරයකට සීමිත වන සකෘදාගාමී ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝ පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් කාම ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නොවන අනාගාමීත්වය හිමි වේ. එසේම, සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝාන්තර්ගතව රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නො වන අර්හත්භාවයට පිළිපන්න වූවේ වෙයි.

(This purification or liberation has many stages. The well-known four stages, namely, sothāpanna (stream-entrant), sakadāgāmi (once retuner), anāgāmi (non-returner) and arahanta (worty-one) characterize the gradual process of purification or liberation. The texts elaborate bonds (saññojana) as ten. They are : personality belief, skeptical doubt, clinging to mere rules and ritual, sensuous craving, ill-will, craving for fine-material existence, craving for immaterial existence, conceit, restlessness and ignorance. The first five are called lower feeters and the other five higher feeter. Of them the first three are eradicated at the first stage of liberation; in the second stage the next two are softend; these two are completely eradicated at the third stage)

පරම නිෂ්ඨාවක් උදෙසා වූ මෙවැනි ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියක් අන්‍යාගම්හි අදෘෂ්‍යමාන ය. බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන මෙම ස්වාධීන වූ ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියේ සමාන්තය ද බුද්ධ ධර්මය තුළ පමණක් ප්‍රකට වන ස්වීය ලක්ෂණයකි. එයට නිර්දිෂ්ට වෙනත් මාර්‍ග තිබිය නො හැකි ය. දෘෂ්ටි ප්‍රතිග්‍රහණයෙන් වියුක්ත වී ප්‍රතීත්‍යසමුත්පන්න (Dependent Origination) දර්ශනයෙන් යුක්ත ව (දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) , ශීලව්‍රතපරාමර්ශනයෙන් වියුක්ත වී ආර්යාෂ්ඨාංගික මාර්‍ගාභිවෘද්ධියෙන් පමණක් අධිගමනය කළ යුත්ත කි. තත් භාවය දිව්‍යමයාධිකාරානුකූලව එනම් දිව්‍යමය විනිශ්චයකින් ලැබෙන ශුද්ධත්වය (purification)ක් නො වේ. නියත්‍යනුකූලව, අහේතුකව හෝ අප්‍රත්‍යව හෝ ලැබෙන්නක් ද නො වේ. මානව කේන්ද්‍රී (Anthropocentric) ධර්මයක් වන බුද්ධ ධර්මය දේව කේන්ද්‍රීය (Theocentric) ආකල්පයන්ට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වේ. (අත්තාණෝ අයං ලෝකෝ අනභිස්සරෝ) නිර්වාණාවබෝධය පූර්‍වාශ්‍රුත ධර්‍මයක චක්ෂුරාමනය, ඥානාධිගමනය, ප්‍රඥාධිගමනය, විද්‍යාධිගමනය, ආලෝකාධිගමනය යි. (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි) එයට තුල්‍ය ධර්මයක් පූර්වයෙහි අවිද්‍යාමාන වූවේ ය. වර්‍තමානයෙහි ද නො වේ. අනාගතයෙහි ද නොවන්නේය. එයට පුනරූනපූර්‍ණානාවශ්‍යක ය. සංශෝධනානාවශ්‍යක ය. ලොව ඒකීය සත්‍යයක් විනා ද්විත්වයක් ප්‍රවෘත්ත නො වන බව දත යුතු ය.

නිර්වාණය වනාහි කරජ ශරීරයෙහි සංසිද්ධ පරිණාමයක් නොව මානසිකාභිවාද්ධියේ අග්‍රාවස්ථාව යි. එම නිසා බුදු සමය තුළ වෙනත් දර්ශනයක නො දැක්වෙන පරිදි මනෝවිද්‍යානුකූල පාරිභාෂික වචන ප්‍රචුරාකාරයෙන් ප්‍රභාවිත බව “Rune Johaison” සඳහන් කරයි.

“Anybody with a good knowledge of psychology and its history who reads the Pali nikāyas must be struck by the fact that the psychological terminology is richer in this than in any other ancient literature and that more space is devoted to psychological analyses and explanations in this than in any other religious literature”

රාග, ද්වේෂ, මෝහ, අවිද්‍යා, ප්‍රතීඝ, ප්‍රපංච, ව්‍යපාද ඒ සඳහා දෘෂ්ටාන්ත කිහිපයකි. ඒවා මනෝක්ෂේත්‍රගත පාරිභාෂික වචනයෝ වෙත්. සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වනුයේ මනෝක්ෂේත්‍රගත එම තත්වයන් බවත්, ඒවායෙහි මූලෝත්පාටනය ම සංසාර නිවෘත්තියට මාර්‍ගය බවත් බුදු දහමෙහි දර්ශිත ය. ඇතැම් අවස්ථාවන්හි නිවන ‛නිශ්ප්‍රපංච’ නමින් හැඳින්වෙනාතර නිවන සඳහා වූ මාර්ගය ‛නිශ්ප්‍රපංච පථ’ නමින් හැඳින්වේ. ප්‍රපංචාවස්ථාව යනු ආරම්මණයක නිමග්න පුද්ගල චින්තනයෙහි කල්පනයෙන් සංස්කෘත විස්තෘත ගාම්භීරාවස්ථාවකි. බාහ්‍යාරම්මණයක් ලැබුණු විට පුද්ගලයා වේදනා තත්වයෙන් නො නැවතී, ”යං වේදේති තං සඤ්ජානාති” යනාකාරයෙන් තදාරම්මණයෙහි සංජානනය, විතර්කනය, ප්‍රපංචනය ආදියෙහි ස්වකීය චින්තනය හසුරුවා තදාරම්මණයෙහි සකර්තෘක වී අවසානයෙහි හෙතෙම තත් කාර්යාවලියෙහි අනුක්ත වී ප්‍රපංචකරණයෙහි නිමග්න චිත්තයෙහි වේතනික භාවයට ප්‍රාප්ත වේ. තදාකාරයෙන් මධුපිණ්ඩික සූත්‍රයෙහි සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වන සංස්කාරෝද්ගමනය තෙක් සිදුවන මානසික විකෘතියෙහි සංසිද්ධාකාරය ප්‍රවිචයට ලක් කරනු පෙනේ.් ස්වාභාවිකව සිදුවන “ඵස්ස පච්චයා වේදනා” යන තත්වයෙන් ඉදිරියට කල්පනය නො කිරීම නිෂ්ප්‍රපංචත්වය යි. එවිට සංස්කාරෝද්ගමනය සඳහා වූ ප්‍රස්ථාවන් පුද්ගල මනස තුළ අභව්‍ය ය. මෙයින් නිර්වාණය කෙතරම් මනෝවිද්‍යානුකූල ද යනු පෙනේ. ප්‍රකට කාරණය නම් විමුක්තිය පුද්ගල මනස තුළ ම ඇති දෙයකි. එය බුදු රජාණන් වහන්සේට පමණක් අනන්‍ය නො වූවකි. බුද්ධ වචනයෙහි ප්‍රායෝගික වීමෙන් චිරාත්කාලාතික්‍රමණයකට පූර්ව ස්වීය ඥානයක් බවට පත්කර ගත හැක්කකි. (අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සේව සාමඤ්ඤේව ඤස්සති සාමං දක්ඛිති) එය ඉතා පැහැදිලිය වෙනත් ඉගැන්වීවල මෙන් භෞතික ශරීරය මෙහෙයවා ආගමික ශාස්තෘවරයා තෘප්ත කිරීමට කළ යුත්තකින් හෝ ආගම්සමෘද්ධෝද්දේශිකත්වය සඳහා වූ කළ යුත්තකින් හෝ ලැබිය හැකි විමුක්තියක් ප්‍රතිබද්ධව බුදු දහමෙහි සංලක්ෂණය නො වන බව. එය විදර්ශනා වර්ධිත හෘදයෙහි විදුමන් වන අද්විතීය ප්‍රඥා ලාබය යි. බුදු සමයෙහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණයෙහි නවතාව මෙයින් තීව්‍ර වේ.

වැලිදු, ලොව මෙතෙක් පහළ වූ සියලු ආගම් හා දර්ශනයන්හි මෞලික ලක්ෂණය නම් ඒ කිසිවක් ආත්මවාදයෙන් විනිර්මුක්ත නො වීම ය. සද්ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ නො වූ ඕනෑම පුද්ගලයෙකු තුළ අහංකාරත්වය බලප්‍රවර්තනය වේ. නිර්මාණවාදී ආගමක් වන කිතුනු දහමෙහි දැක්වෙන පරිදි පුද්ගලයා යනු භෞතික ශරීරය සහ ආත්මය යන ද්වෛතයෙහි සුසංයෝගයකි. මරණින් සිදු වනුයේ භෞතික ශරීරය හැර යාම පමණක් වන අතර ආත්මය දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක් වේ. ආත්ම සංඥාව රූපයකාය තුළ ගොඩ නො නැඟුන ද වේදනා, සංඥා, සංඛාර, විඥාන යන එක් අඞ්ගයක් තුළ ද ගොඩ නැඟෙන්නේ නම් ඒ තුළ ආත්මවාදීත්වය ප්‍රකට වේ. (යේහි කෝචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අනේකවිහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති. සබ්බේ තේ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති ඒතේසං වා අඤ්ඤතරං) මෙසේ පඤ්චස්කන්ධයේ එක්තරාංගයක හෝ අවිපරිනාමීය නිත්‍ය පුද්ගල සාරයක් අපේක්ෂා කරන්නේ ක්‍රිස්තු ධර්මයේ පමණක් නො වේ. මේ හැර ඉස්ලාම් වේවා; සරථුස්ත්‍ර වේවා; යුදෙව් වේවා; හින්දු වේවා; නිගණ්ඨ වේවා; බ්‍රාහ්මණ වේවා; තත් සියල්ලෙහි දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම් ඒවා ආත්මවාදයෙන් බැහැර නොවීම යි. අවධාරණය විය යුත්ත නම් ආත්ම සංඥාව පවතින තුරු ආර්ය ප්‍රතිපදාව ආරම්භ නො වේ යන්න යි. භව ප්‍රතිලාභ සංයෝජන අතර මෞලික වන සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ආර්ය ප්‍රතිපදාව ආරම්භ වේ. එම ආර්ය ප්‍රතිපදාවෙහි සමාන්තය ත්‍රෛලෝකෝත්තර අමරණීයත්වය යි.

බොහෝ අන්‍ය ආගමික සිද්ධාන්තයන්හි දක්වන පාරගූත්වයන් මරණින් පශ්චාත් ව ලැබෙන්නකි. මරණින් පශ්චාත් ව පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වන දෙය ප්‍රතිබද්ධව ඔහුට ප්‍රත්‍යක්ෂමය වූ අවබෝධක් නොමැත. එහෙයින් එය පුද්ගලයා සාංසාරික වශයෙන් අන්තරමාර්‍ග කරවන සුළු ය. නමුත් බෞද්ධ නිර්වාණ ධාතුව වනාහි මෙලොව දී ම දැන දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්ක කි. එබැවින් බුදු දහම අනුගාමික පරිවාරය තුළ විශ්වාසය මොනවට ජනනය කරන බවට සංකා නැත. අවශ්‍ය වනුයේ සාමාන්‍ය මිනිස් අවබෝධය පමණි. අභිවෘද්ධිය සාධනීය වශයෙන් තමාගෙන් විය යුත්ත කි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ බෞද්ධ නිර්වාණ ධාතුව අන්‍ය සාමයික පරමනිෂ්ඨාවන්ට තුලනය කොට දක්වන්නේ නම් ඔහු ශාස්තෘද්‍රෝහියෙකි යන්නයි. බෞද්ධ ධර්ම සාරය නිරවද්‍යව වටහා නො ගත්තෙකි.

– පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි විසිනි –

 

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...