fr5h

අපණ්ණක ප්‍රතිපදාව සහ ජාතිකත්ව සිහිය

අපණ්ණක වචනය

අපණ්ණක වචනය අප බොහෝ දෙනෙකු මුලින්ම අසන්නට ඇත්තේ උතුම් වූ ජාතක පොත් වහන්සේ කියවීමෙන් යයි සිතමි. අපණ්ණක ජාතකය ජාතක පොතේ පලමුවනියට දැක්වෙන ජාතක කථාවයි. ජාතක පොතට පදනම වන ජාතක අට්ටකථාවේත් ඛුද්දකනිකාය ජාතක පාලියෙහිත් පලමුවනියට අපණ්ණක ජාතකයම දැක්වීමෙන් බුදු සමයෙහි මේ පිළිබඳව ඇති වැදගත් කම මැනවින් පැහැදිලි වෙයි. කොටින්ම කිවහොත් අපණ්ණක ජාතකය ජාතක පොතෙහි “අ”යන්න වැනිය. ඒ කියවා හෝ අසා නැති අයෙක් වෙත් නම් ජාතක පොත ගෙන මැනවින් කියවා බලන මෙන් පළමුව මතක් කල යුත්තේ අපණ්ණක ජාතකය වචනයෙන් වචනය මෙහි සඳහන් කළහොත් ලිපිය බොහෝ දිග වන බැවිනි. දළ වශයෙන් “අපණ්ණක” වදනෙහි තේරුම “නොවරදින, අවිරුද්ධ” ලෙස දැනට සඳහන් කරමි.

අපණ්ණක ජාතකය- නිදාන කථාව

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් කෙරෙහි පැහැදී තෙරුවන් සරණ ගියහ. අනතුරුව පින් දහම්හි හැසිරෙන මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවරින් බැහැරව රජගහ නුවරට වැඩි කල්හි තෙරුවන් සරණ අත්හැර නැවතත් පැරණි ඒ ඒ තීර්ථක ලබ්ධීන් ගෙන හැසිරෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ නැවත සැවත් නුවරට වැඩමකල කල්හි අනේපිඬුසිටාණන් විසින් මෙම තීර්ථක පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යන ලදුව මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කරන ලදී.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ගැන විමසන ලද්දේ මෙසේ නැවත මිත්‍යාදෘෂ්ටීන්හි බැසගත් බව මෙම පිරිස පිළිගනී. තෙරුවන් සරණ ගැනීමෙහි ආනිසංස නොයෙක් අයුරින් දක්වන භාග්‍යවතුන් වහන්සේ මෙම තීර්ථකයන් පන්සීය දෙනාට අවවාද කොට , “අතීතයෙහිත් ඇතැම් කෙනෙක් පිහිට නැතිදේ පිහිට කොට වරදවා ගැනීමෙන් අමනුෂ්‍යයන් අරක් ගත් කාන්තාරයේ යක්ෂයින්ට බිලිව විනාශයට ගිය බව” දක්වා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ එවදන් ඇසූ පින්වත් අනේපිඬුමහසිටානන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම්වූ ඥානයට පෙනෙන මුත් භවයෙන් වැසුණු බැවින් අන්‍යයන්ට නොපෙනෙන ඒ අතීත පුවත දක්වන ලෙසට ආරාධනා කරයි.

අපණ්ණක ජාතකය

(ජාතක කථා පොතේ එන අපණ්ණක ජාතකය ධර්ම ගෞරවයෙන් යුතුව මෙසේ සැකෙවින් සඳහන් කරමි. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!! , මහා බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි පහන් වූ සිතින් මෙසේ ලියමි.)

යටගිය දවස දඹදිව කසී රට, බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ එරට සාත්තු නායක කුලයක (වෙළෙඳ කුලයක) ඉපිද වැඩිවිය පැමිණ ගැල් පන්සියයක් සහිතව වෙළඳාමෙහි යමින් වාසය කරති. තවද එසමයෙහි එනුවරම එවැනි ගැල් පන්සියයක් සහිතව වෙළඳාමෙහි යන තවත් අනුවණ සාත්තු නායකෙයෙක්ද(මෝඩ වෙළෙන්දකු) සිටී.

බෝධිසත්වයන් වහන්සේ එක්තරා විටෙක බඩු පුරවාගත් ගැල් පන්සියය සහිතව කාන්තාරයක් මැදින් යායුතු දුර බැහැර පෙදෙසක වෙළඳාමෙහි යාමට සුදානම් වන කල්හි එකී මෝඩ වෙළෙන්දාද එම පෙදෙසටම වෙළඳාමෙහි යාමට කටයුතු කරන බව දන ගන්නට ලැබිණ. බෝධිසත්වයන් වහන්සේ මෙසේ දෙදෙනාම එකවර වෙළඳාමෙහි යාමෙන් වන උවදුරු මෙනෙහි කරන සේක්, ගැල් දහසකට එකවර යාමට මාර්ගය නුසුදුසු බවද දෙදෙනාගේම ගොනුන්ට ජලය තණකොළ ආහාර ආදිය ප්‍රමාණවත් නොවන බවද මිනිසුන්ටද ප්‍රමාණවත් ජලය නොමැති වන බවද දැන මෝඩ වෙළෙන්දා වෙත ගොස් මේ බව දක්වා පළමුව ඔබ යන්නේද, නැතහොත් දෙවනුව යන්නේදැයි විමසීය. එවිට මෝඩ වෙළෙන්දා තමන් පළමුව යාමෙහි වාසි මෙනෙහි කරනුයේ, නොබිඳුණු මඩ නොවූ මගින් යාමට හැකි වීමත්, තම ගවයින්ට ඇති තාක් තණකොළද මිනිසුන්ට පලාකොළද ලැබිය හැකි වීමත්, මඩ නොවූ ජලය ලැබියහැකි වීමත්, පළමුව යාමෙන් තමන්ට කැමති පරිදි මිල නියම කර ලාභ ලද හැකි වීමත් සලකා තමන් පළමුව යාමට කැමැත්ත පල කරන ලදී.

නුවණැති බෝධිසත්වයන් වහන්සේත්, දෙවනුව යාමෙහි ආනිසංස මෙනෙහි කරනුයේ, පළමුව ගිය පිරිස විසින් මැනවින් සකසන ලද නොසම තැන සම කොට සකසන ලද මාර්ගයෙහි තම ගමන පහසු වීමත්, පළමුව යන ගොනුන් තණකොළ කෑ පසුව වැඩෙන ලාතණකොළ තම ගවයින්ට හිමිවීමත්, තම මිනිසුන්ටද අලුත වැඩුණු ලා පලාකොළ ආහාරයට ලැබීමත්, ජලය නැති තන්හි පළමුව යන පිරිස කණින ලද තැනින් පහසුවෙන් ජලය ලද හැකි වීමත්, ඉතා අපහසුවෙන් කල යුතු – කෙනෙකු මරන්නා වැනි වූ බඩු මිල කිරීම විශේෂයෙන් නොකර මුලින් ගිය අය විසින් පනවන ලද මිලටම පහසුවෙන් තම බඩු විකිණිය හැකි වීමත් යන කරුණු සලකා දෙවනුව යාමට එකඟ විය.

අනතුරුව පළමුව වෙළඳාමෙහි යන මෝඩ වෙළෙන්දා නගර ගම් පසු කොට ගමනාන්තය සඳහා තරණය කල යුතු අමනුෂ්‍යයන් අරක් ගත් නිරුදක(ජලය නැති හෙයින්) කාන්තාරයට පිවිසෙයි. එහිදී කාන්තාරයට අරක්ගත් යක්ෂයෙක් මොවුන් රැවටීම පිණිස, මිනිස් වෙස් මවා ගෙන , තෙමුණු හිසකෙස් ඇතිව, තෙමුණු සිරුරු ඇතිව, තෙමුණු වස්ත්‍ර ඇතිව, නෙළුම් මානෙල් ආදී දියෙහි පිපෙන මල් ගෙන, මඩ සහිත පා ඇතිව, මඩ වැකුණු රිය සක ඇතිව, නායකයකු ලෙස පිරිවර සහිතව මිනිස් වෙසක් මවාගෙන යානයකින් ගැල දෙසට පැමිණේ. ඉක්බිති මෝඩ වෙළෙන්දා සමග පිළිසඳර කථාකොට ඔහු විසින් විමසනු ලබන්නේ තමන් ඉතා සමීපයෙහි දිය සහිත මනාව වැසි වසින වන ලැහැබ ඇති පෙදෙසින් පැමිණෙන බවත්, මනාව ආහාර සහ ජලය සහිත මහා වැසි ඇදහැලෙන එපෙදෙස ආසන්නයේ තිබියදී ගැල් වල ජලය පුරවාගෙන ගවයන්ද මිනිසුන්ද වෙහෙස කරමින් මෙසේ ගමන් කිරීම අනුවණ කමකැයිද කීය. මෙබස් ඇසූ මෝඩ වෙළෙන්දා තමන් විසින් ජලය පුරවාගෙන ආ ගැල් වලින් මදකුදු තබා නොගෙන ජලය ඉවත් කොට ගැල් හිස කොට ගමන් ඇරඹීය. නිරුදක කාන්තාරය මැද ජලය නොමැතිව ගමන් කොට, අවසාන සියල්ලෝම ක්ලාන්ත වී දුර්වල වී ඒ ඒ තැන වැටී සිටින්නේ රාත්‍රීයෙහි පැමිණෙන යක්ෂයෝ සියලු දෙනා මරා මස් කා ඇටකටු පමණක් ඉතිරිකොට ගියහ.

මාස එකහමාරකින් පසුව සිය ගැල් සමග වෙළඳාමෙහි එන බෝධිසත්වයන් වහන්සේද පළමු ගිය ගැල පරිදිම නිරුදක කාන්තාරයට අවතීර්ණ විය. යක්ෂයා පෙර පරිදිම විත් බෝසතුන් නොමග යවනු පිණිස කරුණු කියන්නේ සෙවනැලි දක්නට නැති රතු ඇස ඇති මොවුන් යක්ෂයින් බව බෝධිසත්වයන් වහන්සේ විගස හඳුනා ගති. පෙර සේම ජලය සහිත අධික බර ගැල් වලින් නිදහස්ව ජලය හැර ගමන් කරන ලෙස කී කල්හි නුවණැති බෝධි සත්වයන් වහන්සේ “තවත් ජලය දකිනා තෙක් මා ළඟ ඇති ජලය ඉවත් නොකරමි”යි කියා කොපමණ බර වුවද මෙලෙසම යන බව දක්වා නැවත ගමන් අරඹන ලදී. බෝධිසත්වයන් වහන්සේගේ ගැලෙහි අනෙක් පිරිස මෙසේ ගැල් ඉදිරියට යන අතර උන්වහන්සේගෙන් “පහසුවෙන් ජලය ලද හැකි බව පෙනෙන්ට තිබියදී, වැසි ඇදහැලෙන පෙදෙස ළඟ තිබියදී මෙසේ මහත් බර රැගෙන ගමන් කරන්නේ කිමදැයි” විමසීය.

එවිට බෝධිසත්වයන් වහන්සේ සහ පිරිස අතර වන සංවාදය ඉතා වැදගත්ය.

ගැල නවතා සියලු පිරිස එක්රැස් කරන බෝසතානන් වහන්සේ මෙසේ විමසයි,

කිසි දිනෙක, මේ මහා නිරුදක කතරෙහි විල් පොකුණු ආදිය ඇති බව අසා තිබේද?

පිරිස: නැත.

බෝසතුන්: වැසි වසින විට වැසි සුළං කොපමද දුර හමනවාද? ශීතල කොපමණ දුරට දැනෙයිද?

පිරිස: යොදුනක් පමණ දුරට.

බෝසතුන්: අකුණු ගසන හඬ කොපමණ දුරට ඇසෙනවාද?

පිරිස: යොදුනක් පමණ.

බෝසතුන්: අඳුරු මේඝ වලාවන් කොපමණ දුරට පෙනේද?

පිරිස: යොදුනක් පමණ.

බෝසතුන්: අකුණු ගසන විට විදුලිය නම් කොපමණ දුරට පෙනේද,

පිරිස: ස්වාමීනී යොදුන් සතර පහක් පමණ පෙනෙයි.

බෝසතුන්: මේඝ ධ්වනිය කොපමණ දුරට ඇසේද?

පිරිස: ස්වාමීනී යොදුනක් පමණ ඇසේ.

බෝසතුන්: කිමෙක්ද, තොපි කිසිවෙහුගේ ඇඟෙහි කවර හෝ ශීත සුළඟක් වැදුණු බව හෝ, කිසිවෙකුට මේඝ ගර්ජනා ඇසුණු බව හෝ අකුණු ගසනු විදුලිය පෙනෙනු බව හෝ යම් දිශාවෙක වැසි වලාවන් දුටු බව හෝ ආදිය මතකද?

පිරිස: නැත ස්වාමීනී.

බෝසතුන්: එසේ නම් පින්වත්නි දැනගනුව, මොවුහු ඒකාන්තයෙන් අමනුෂ්‍යයෝය, යක්ෂයෝය, පළමුව ගිය සාත්තු නායක පුත්‍රයා අනුවණ හෙයින් ඔහු රවටා විපතට පත කරන්නට ඇත. කිසිවෙක් මගේ අනුදැනුමකින් තොරව එක් දිය බිඳක් හෝ ඉවත් නොකළ යුතුය.

අනතුරුව ඉදිරියට යන ඔවුන් පළමු ගිය ගැල් පන්සියය පිරුණු බඩු සහිතව කාන්තාරයෙහි තිබෙනු දිටීය. මනුෂ්‍යයන්ගේත් ගොනුන්ගේත් ඇට ඒ ඒ තැන විසිරී තිබෙනුනුද දක්නා ලදී. ඉක්බිති බෝසතුන් ඒ ගැල්ද එක් කොට ගෙන, වටිනා බඩු දමවා නොවටිනා බඩු ඉවත් කොට, ගෙන යා හැකි බර පමණට සකසා රාත්‍රීයෙහි ගැල් වලින් වට කොටගෙන කඳවුරු බැඳ, ගවයන් මිනිසුන් මධ්‍යයෙහි බැඳ තබා, කඩු ඇති ශක්තිමත් මිනිසුන් විසින් රැකවල් යොදා ආරක්ෂිතව රැය පහන කරණ ලදී.

පසුදින, මැනවින් ගමන් අරඹා සුවසේ ගමනාන්තයට ගොස්, වෙළඳාම් කොට ලාභ ලබා සතුටින් ගැල් පිරිස සමග නැවත බරණැස් පුරයටම පැමිණියහ. මේ සැකෙවින් අපණ්ණක ජාතකයයි. පෙර පර චරිත ගලපා දක්වන භාග්‍යවතුන් වහන්සේ මොබ වෙළෙන්දා වූයේ දෙව්දත්තෙරුන් බවද දක්වා වදාළ සේක.

මේ සැකෙවින් අපණ්ණක ජාතක කථාවයි.

අපණ්ණක සුත්‍රය – (සුත්‍ර පිටකය, මජ්ඣිම නිකාය, මජ්ඣිම පණ්නාසකය(දෙවන කොටස), දස වන සුත්‍රය)

මගේ ස්වාමී වූ මාගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, කේවල පරිපුර්ණ වූ විමුක්ති රස ඇති, මුල මැද අග මැනවින් දේශිත, ශ්‍රී සද්ධර්මයට අයත් අපණ්ණක සුත්‍ර දේශනාවෙහි මුල් කොටසක් සුදුසු පරිදි අපගේ ශක්ති පමණින්, මහත් ධර්ම ගෞරවයෙන් යුතුව, මාගේ මවු බසින් ලියා දක්වනු ලැබේ. මාගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දනිති. මම නොදනිමි. නොදන්නා මම දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මය ලියා දැක්වීමෙහි මා විසින් නොදැන වන අඩුපාඩු වලට මට තෙරුවනින් සමාව ලැබේවා!! එසේ වන අඩුපාඩු වෙතොත් කල්‍යාණ මිතුරෝ අප වෙත අනුකම්පාවෙන් ඒ නිවැරදි කොට දක්වනු ලැබේවා!!

අපණ්ණක ජාතකයට අමතරව අපණ්ණක පතිපදාව ගැන කියවෙන සූත්‍රයක්ද ධර්මයෙහි එයි. බෝධිසත්වයන් වහන්සේ අපණ්ණක ජාතකයෙහි ගත් අපණ්ණක ප්‍රතිපදාවෙන් යම සේ අමනුෂ්‍යයන් අරක් ගත් කාන්තාරයෙන් තමාත් අන්‍යයනුත් තරණය කරවුයේ යම් සේද, අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් වූ නිර්වාණය දක්වාම දිවෙන ශ්‍රේෂ්ඨ අපණ්ණක ප්‍රතිපදාව සුත්‍ර පිටකයෙහි, මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්නාසකයේ (මජ්ඣිම නිකාය දෙවන කොටස) දස වැනියට එන “අපණ්ණක සුත්‍රයෙන්” දක්වා තිබේ.

අපණ්ණක සුත්‍රය විස්තර වශයෙන් ලිවිය යුතු නමුත් එයින් ලිපිය ඉතා දීර්ඝ වන බැවින් වඩා කෙටි කොට එහි පළමු කොටස පමණක් මෙහි දැක්වීමටත් ඒ අනුව කරුණු කිහිපයක් විමසා බැලීමටත් උත්සහ ගනිමි.

භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි යෙදෙන අතර සාලා නම් බමුණු ගමට වැඩිසේක. අප පෙර ලිපියෙහි කාලාම සුත්‍රය විග්‍රහ කරන කල දැක්වූ පරිදි භාග්‍යවතුන් වහන්සේ වැඩි බව ඇසූ සාලා නම් බමුණු ගම බමුණු ගෘහපතීන්ද, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹී සේක. බමුණන් අමතන භාග්‍යවතුන් වහන්සේ , බමුණන් වෙතින් මෙසේ විමසන සේක.

“ගෘහපතීනි, තොප විසින් කරුණු දැන, (ආකාරවතී ශ්‍රද්ධාවෙන්) හේතු සහිතව ශ්‍රද්ධාවට පැමිණි යම් ශාස්තෘ වරයෙක් තොපට සිටීද?”

එවිට බමුණු ගෘහපතීන්, “ස්වාමීනී, අපට විශේෂයෙන් පැහැදුණු, කරුණු සහිතව කරන ඇදහීම් ඇති ශාස්තෘන් වහන්සේ නමක් නැතැ” යි කීහ.

භාග්‍යවතුන් වහන්සේ එවිට, ගෘහපතීනි එසේ කරුණු සහිතව ශ්‍රද්ධාවට පැමිණි ශාස්තෘන් නමක් නොමැති කල්හි තොප විසින් මේ “අපණ්ණක ධර්මය” මැනවින් සමාදන්කොට පිලිපද වාසය කල යුතුය. එසේ “අපණ්ණක ධර්මය” අනුව පිළිපැදීම තොපට බොහෝ කල් හිතසුව පිණිස වේ යයි වදාරා, උතුම් වූ “අපණ්ණක ධර්මය” විස්තර කොට දක්වන සේක.

ගෘහපතියනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති, විශ්වාස ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. ඒ කෙසේද යත්, දානයෙහි විපාක නැත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක නැත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක නැත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක නැත, මෙලොව නැත (පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදෙන බවක් නැත), පරලොව නැත(මරණින් මතු නැවත පරලොවට පැමිණෙන බව නැත), මවක් නැත (විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක නැති බව) , පියෙක් (විශේෂයෙන් පියාට කරන හොඳ නරක වල විපාක නැති බව) නැත, ඕපපාතිකව උපදින සත්වයෝ (දෙවියන්,බඹුන්, ප්‍රේතයන්, අසුරයන් සමහර තිරිසනුන් සහ කලාතුරකින් සමහර මනුෂ්‍යයන් ආදීන් නැත) නැත, මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත, යනුවෙනි (මේ දශ වස්තුක මිත්‍යාදෘෂ්ටියයි).

ගෘහපතියනි, තවත් අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද ඇත. ඔවුහු ඉහත කී පිරිසට සෘජුවම විරුද්ධ වූ වාද ඇත්තේ මෙසේ කියත්.

දානයෙහි විපාක ඇත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක ඇත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක ඇත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක ඇත, මෙලොව ඇත (පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදෙන බවක් ඇත), පරලොව ඇත (මරණින් මතු නැවත පරලොවට පැමිණෙන බව ඇත), මවක් ඇත(විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක ඇති බව), පියෙක් (විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක ඇති බව) ඇත, ඕපපාතිකව උපදින සත්වයෝ(දෙවියන්,බඹුන්, ප්‍රේතයන්, අසුරයන් සමහර තිරිසනුන් සහ කලාතුරකින් සමහර මනුෂ්‍යයන් ආදීන් ඇත) ඇත, මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත, යනුවෙනි (මේ දශ වස්තුක සම්මාදිට්ඨියයි).

යම් ලෙසකින් පලමුවකී දානයෙහි විපාක නැත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක නැත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක නැත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක නැත, ……………….., …………………….., …………….., ………………, …………මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත, යනාදී වශයෙන් ගත් යම් පිරිසක් වේද, ඔවුහු සම්බන්ධයෙන් මේ කරුණු විද්‍යාමාන වෙයි. ඔවුහු කයින්, වචනයෙන්, මනසින් කෙරෙන යම් සුචරිතයක් වේද, කුසල් සමාදානයක් වේද ඉන් බැහැර වෙයි. කයින්, වචනයෙන් මනසින් කෙරෙන යම් දුශ්චරිතයෙක් වේ නම් ඒ තුන් අකුසල් දහම් ගෙන සමාදන්ව එහිම හැසිරෙයි. ඒ කවර හේතුව නිසාද යත්, මේ පිරිස අකුශල ධර්මයන්ගේ ආදීනවය, ලාමක බව, ඉන් වන කෙළසීම නොදකින බැවිනි. කුසලෙහි හැසිරීමෙහිද, අකුසලින් මිදීමෙහිද අනුසස්ද, එහි ව්‍යවදාන පක්ෂයද නොදකින බැවිනි. විද්‍යාමාන(ඇත්තාවූ) වූම පරලොව පිළිබඳව ඔහුට “පරලොව නැතිය” යන දෘෂ්ටියක් ඔහුට වෙයි. මේ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියකි. විද්‍යාමාන වූම පරලොව පිලිබඳ “පරලොව නැතිය” යනුවෙන් ඔහු සංකල්පනා කරයි. මේ ඔහුගේ මිත්‍යාසංකල්පය වෙයි. විද්‍යාමාන වූම පරලොව පිලිබඳ “පරලොව නැත” යි කියයි. මේ ඔහුගේ මිත්‍යා වචනය වෙයි. විද්‍යාමාන වූ පරලොව ගෙන “පරලොව නැතිය” කීමෙන් මොහු, පරලොව දකින උතුම් රහතුන් වෙත්ද ඔවුනට විරුද්ධ වාද කෙරෙයි. ඔහු “පරලොව නැතැයි” අන්‍යයන්ට හගවමින් අභූතධර්මසංඥප්ති (අසද්ධර්මය පැනවීම/පිහිටුවීම) සිදු කරයි. මෙසේ අභූතධර්ම/අසද්ධර්ම පැනවීමෙන් අන්‍යයන් හෙලා දැකීමත්, පහත කිරීමත්, තමන් උසස් කොට දැක්වීමත් සිදු කරයි. මේ නිසා, ඔහුගේ ශීලය පිරිහෙයි, දුශ්ශීල බව තුලම පිහිටයි. වැඩෙයි. මෙසේ මිත්‍යා සංකල්ප, මිත්‍යා වචන, ආර්යයන්ට විරුද්ධ වීම, අභූත/අසද්ධර්ම පැනවීම, තමන් හුවා දැක්වීම, අනුන් හෙලා දැකීම (පහත කොට සැලකීම) ආදී වශයෙන් මිත්‍යාදෘෂ්ටිය නිසා අනේකවිධ පාපක අකුසල් ධර්මයෝ ඔහු තුල රැස් වෙයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුවණැති අය මේ කරුණු ගැන අනුගමනය කල යුතු “අපණ්ණක ප්‍රතිපදාව” දක්වයි.

ගෘහපතීනි, මේ සම්බන්ධයෙන් නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. “යම් හෙයකින් පරලොව නැත්තේ වීනම්, කය බිදීමෙන් මරණින් මතු තමා ස්වස්ති කෙරෙයි. අවසන් වෙයි. යම් හෙයකින් පරලොව ඇත්නම් කය බිදීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ මහා දුක් ඇති, දුගති වූ නිරයෙහි වැටෙයි. පරලොව ඇතැය කියූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනයද සැබෑ වෙයි. පරලොව ඇතද, නැතද, දුශ්චරිත ඇති මේ පුරුෂ තෙම දුෂ්ශීලයෙක, පාපියෙක, මිත්‍යාදෘෂ්ටිකයෙක, නාස්තික වාදියෙක, ආදී වශයෙන් නුවණැතියන්ගේ ගර්හාවට ලක් වෙයි. යම් හෙයකින් පරලොව ඇත්තේ වී නම් මෙබඳු පුරුෂ තෙම දෙලොවින්ම පරාජය වූයේ වෙයි. මෙසේ ඔහු අපණ්ණක ධර්මය වරදවා ගැනීමෙන්, එක් පසෙක දෘෂ්ටියට පැමිණීමත් නිසා කුසලින් බැහැර වුයේ, දුකට පත වූයේ වෙයි.” යනුවෙනි.

ගෘහපතීනි,

යම් ලෙසකින් පලමුවකී දානයෙහි විපාක ඇත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක ඇත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක ඇත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක ඇත, ……………….., …………………….., …………….., ………………, …………මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත, යනාදී වශයෙන් ගත් යම් පිරිසක් වේද, ඔවුහු සම්බන්ධයෙන් මේ කරුණු විද්‍යාමාන වෙයි. ඔවුහු කයින් වචනයෙන් මනසින් කෙරෙන දුෂ්චරිතයෙන් වෙන්ව, සුචරිතයෙහි හැසිරෙයි, කුසල් දහම් සමාදන්කොටගෙන එහි හැසිරෙයි. ඒ කවර හේතුව නිසාද යත්, ඔවුහු අකුසල ධර්මයන්ගේ ආදීනවය, ලාමක බව, කෙලෙසීමද, අකුසලයෙන් වෙන්වීමෙහිත් කුසලයෙහි හැසිරීමෙහිත් ආනිසංස හා ව්‍යවදාන දකිනා බැවිනි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව ඇත” යන දෘෂ්ටියම ඔහුට වෙයි. ඒ ඔහුගේ සම්මා දිට්ඨියයි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව තිබේ” යයි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ සම්‍යග් සංකල්පනාව වෙයි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව ඇත”යි කියයි. ඒ ඔහුගේ සම්‍යග් වචනය වෙයි. පරලොව දන්නා යම් රහත් කෙනෙක් වෙත්ද, මේ ඔහු ඒ රහතුන්ට එරෙහි විරුද්ධ වාද නොකෙරෙයි. විද්‍යාමාන වූ පරලොව ගැන අන්‍යයන්ට හඟවයි. එයින් ඔහු “භූතධර්මසංඥාපනය” (සත්‍ය ලෙස ඇති දැයෙහි පිහිටුවීමක්‌ පිහුටුවීමක්‌) සිදුකරයි. ඒ සැබෑ තතු කීමෙන්ම ඔහු උසස් බවට පැමිණෙයි. අන්‍යයන්ට පරිභව නොකෙරෙයි. අන්‍යයන් හෙලා නොදකී. මෙසේ ඔහුගේ සුශ්ශීල බව දුරු වෙයි. ශීලය වැඩෙයි. මෙසේ සම්‍යග් දෘෂ්ටි, සම්‍යග් සංකල්ප, සම්‍යග් වචන, ආර්යයන්ට විරුද්ධ නොවීම, තමා හුවා නොදැක්වීම, අනුන් හෙලා නොදැකීම, සද්ධර්මයෙහි , සැබෑ ලෙස ඇති දේ පිහුටුවීම සිදුවෙයි. ඒ ලෙසින් සම්‍යග් දෘෂ්ටිය නිසා අනේක විධ කුසල් රැස් වෙයි.

ඉක්බිති නැවතද, භාග්‍යවතුන් වහන්සේ නුවණැති අය මේ කරුණු ගැනද අනුගමනය කල යුතු “අපණ්ණක ප්‍රතිපදාව” දක්වයි.

යම්හෙයකින් පරලොව වෙත් නම් මේ තෙම කය බිදී මරණින් මතු මනා ගති ඇති සැප ඇති සුගතියෙහි පිහිටයි. පරලොව ඇති කී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනයද සත්‍ය වෙයි. මෙලොවද “මොහු සිල්වතෙකි, සම්‍යග් දෘෂ්ටිකයෙකි යි නුවණැතියන්ගේ ප්‍රසංශාවට ලක් වෙයි. එහෙයින් දෙලොවින්ම ජයගත්තේ වෙයි යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ “අපණ්ණක ප්‍රතිපදාව” විස්තර වශයෙන් දේශනා කරන සේක. මෙම උතුම් වූ සම්බුද්ධ දේශනාව කර්ම විපාක පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳව, රූප ලෝක (රූප සහිත බ්‍රහ්ම ලෝක) පිළිබඳව, අරූප ලෝක (රූප නැති බ්‍රහ්ම ලෝක) පිළිබඳව, සහ අවසානයේ උතුම් වූ නිර්වාණය පිළිබඳව වශයෙන් දිගින් දිගටම විග්‍රහ කෙරෙයි. මෙම ලිපියෙහි සියලු සුත්‍රය සම්පුර්ණයෙන් ලිවීමට නොහැකිය. ඒ පිළිබඳව උනන්දුව ඇති පින්වත්හු අප කෙරෙහි කරුණාවෙන් ක්ෂමා කරත්වා. මජ්ඣිමනිකාය දෙවන කොටසින් ඒ කියවීමට උත්සුක වෙත්වා.

විමසුම

දැන් අපි මේ උතුම් ප්‍රතිපදාවෙන් අපට ලබා දී ඇති පණිවිඩයත්, වර්තමානයට අදාලව ඒ අපට වැදගත් වන ආකාරයත් විමසා බලමු. පළමුව “අපණ්ණක ජාතකයෙන් විමසුම අරඹමු.

බෝධිසත්වයන් වහන්සේ ගැල් පන්සියයක් සමග ගමන් කලේ නිරුදක කාන්තාරයකය. උන්වහන්සේ මනා සිහියෙන් යුතුව “අපණ්ණක ප්‍රතිපදාව” අනුගමනය කලේ එහිදීය. අද බෞද්ධ අපද ගමන් කරන්නේ නිරුදක කාන්තාරයක් මැදින් යයි මට සිතෙයි. ඒ අන් කිසිවක් නොව “අධර්මරාගය” නමැති නිරුදක කාන්තාරයයි. බෝධිසත්වයන් වහන්සේ කාන්තාරය මැදින් ගමන් කලේ තම ගමනාන්තයට යාමට එයින් යා යුතුම බැවිනි. උන්වහන්සේටද විකල්පයක් නොතිබෙන්නට ඇත. බෞද්ධ අපටද මේ “අධර්මරාගය” නමැති කාන්තාරය මග හැරීමට නොහැකිය. ඒ ලෝක ස්වභාවයයි. අපි සංස්කෘතියෙන් සද්ධර්මයෙන් පෝෂණය වී ධර්මය නමැති ක්ෂේම භූමියෙහි වසර දහසක් පමණ මැනවින් වාසය කල බවට අතීත සාක්ෂි ඇත. (එයද පහසුවෙන් නම් නොවේ, බොහෝ මාර බලයන්ට, විදෙස් ආක්‍රමණයන්ට මුහුණදෙමිනි). මෝඩ වෙළෙන්දා තම පිහිටට තිබු ජලය ඉවත් කොට විනාශයට ගියා මෙන් සද්ධර්මය නමැති ජලය රැස් කොට ගෙන තිබූ බොහෝ සමාජයන් (බුද්ධ භුමිය වූ දඹදිව -ඉන්දියාව, පකිස්තානය හෙවත් පැරණි ගාන්ධාරය, නේපාලය, බංගලාදේශයේ බොහෝ කොටස්/ ඈත පෙරදිග සමහර රටවල්, අද ඇෆ්ගනිස්ථානය, සුළු ආසියාවේ සමහර කොටස්, වර්තමාන දකුණු කොරියාව ආදී) අධර්ම රාගය නමැති කාන්තාරයෙදී මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාට රැවටී විනාශයට ගියේය. බෝධි සත්වයන් වහන්සේ යක්ෂයාට නොරැවටුණු සේක, තම පිහිටට ඇති දිය බිඳක් වත් ඉවත් නොකළ සේක. සිංහල බෞද්ධ අපද මේ අධර්ම රාග කාන්තාරයෙහි මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාගේ මායම් වලට, මුලාකිරීම් වලට, බිය වැද්දවීම් වලට, පහර දීම් වලට මැදිවී සිටිමු. මේ වන විට යම් යම් පමණින් අප පරාජය වී ඇත්නම් ඒ අප අපේ පිහිටට ඇති ධර්මය අත්හල පමණටය, නමුත් තවමත් අපි මේ කාන්තාරයෙහි ධර්මය නමැති ජලය රක්ෂා කරෙගෙන සිටීමට සමත් වෙමු.

බෝධිසත්වයන් වහන්සේට හමු වූ යක්ෂයා ඉතාම මායාකාරී විය, හේ විසිතුරු වෙස් ගත්තේය, විසිතුරු නෙළුම් මල් දැක්වීය, මිතුරු බවද, කාරුණික බවද පෙන්වීය. මිථ්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාද අතිශය ප්‍රභලය, විසිතුරුය. අධර්ම රාගය නමැති මේ කාන්තාරයෙහි මේ යක්ෂයා අනේකවිධ වෙස් ගනී. හේ විටෙක අපට යන්ත්‍ර සුත්‍ර පෙන්වයි, අහස් යානා පෙන්වයි, ඉර සඳ, තාරකා පෙන්වයි.විටෙක අපට වස විෂ කවයි. මත් කරයි. මිත්‍යාදෘෂ්ටිය නමැති මේ රුදුරු යක්ෂයා පසුගිය වසර පන්සියය පමණ වන කාලය තුල අප ගමන් කරන අධර්ම රාගය නමැති නිරුදක කාන්තාරයෙදී අප බොහෝ සෙයින් දුර්වල කර ඇත. මේ යක්ෂයා කලෙක යටත් කරගනු පිණිස විත් අපට මහා විනාශයක් කළේය. අදද මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයන්ගේ අවි බලයද, සවි බලයද, පිරිස් බලයද ඉදිරියේ අපට බිය වීමට කරුණු ඇත. නිරුදක කාන්තාරයෙදී යක්ෂයාගෙන් ගැලවීම පිණිස බෝධිසත්වයන් වහන්සේ රාත්‍රීයෙහි කඩුගත් සවිමත් පුරුෂයින් ලවා මුරකාවල් යෙදවීය. යක්ෂයාට පහසුවෙන් බිලිගත හැකි ගවයින්ද රැය පහන වන තෙක් ආරක්ෂා කරනු ලැබීය. අධර්ම රාගය නම් නිරුදක කතරෙහිද අපටද බියජනක යුද්ධ, කුමන්ත්‍රණ, සම්බාධක, අසමගිකම්, නියඟ, වසංගත ආදී දහසකුත් එකක් රාත්‍රීන් පැමිණෙයි. එවන් කල අපිද ආරක්ෂා රැකවරණ සලසා ගතයුතු වෙමු. බෝධිසත්වයන් වහන්සේට කඩු අතින් ගත් සවිමත් පුරුෂයින් සිටියා මෙන්ම අපටද උතුම් වූ අරහත් ධජය නොහොත් චීවරය නමැති අසිපත ඇති ත්‍රිපිටක ධර්මය නමැති නෙතින් මිත්‍යාවේ රාත්‍රිය විනිවිද දැකිය හැකි මහා සංඝ රත්නය සිටිති (දුසිල් වූ චීවර දාරීන් නොවේ). අපිද රැය පහන් කරමු. ඒ සිහියෙන් කල යුතුමය.

මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාද අප මරා කන්නේ අප ක්ලාන්ත වී තැන තැන වැටෙන කලය. එවිට යක් පුරයන්ගෙන් බොහෝ යකුන් ගෙන්වාගෙන වහ වහා අප විනාශ කිරීමට මේ යක්ෂයා කටයුතු කරනු ඇත. අධර්ම රාග නමැති නිරුදක කතරෙහි කාලයක් තිස්සේ ගමන් කරන සිංහල බෞද්ධ අපිද බොහෝ දුර්වල වී සිටිමු. නමුත් පෙර විසූ මහා පුරුෂයන්ගේ මහත් පරිශ්‍රමයත්, අප විසින් රැක ගත් සම්‍යග්දෘෂ්ටියේ බලයත් නිසා තවමත් අපට මේ නිරුදක කතර ගෙවා දැමීමට ශක්තියද වාසනාවද ඇත.

ජාතිකත්ව සිහිය

අපි ජාතිය ගැන කථා කරමු. ජාතිකත්වය ගැනද උනන්දු වෙමු. නුවණැත්තන් විසින් අපේ ජාතියද ජාතිකත්වයද ඉතාම අපහසු කාල වකවානු වලදී පවා දියුණු තියුණු කිරීමට කරුණු සලසා ඇත. අපට දැන් සවිමත් ජාතික චින්තනයක් තිබේ. ඊට සබැඳි ආකල්ප, දාර්ශනික පසුබිම අපේ නුවණැති කලණමිතුරන්ගේ පරිශ්‍රමයෙන් (ඔවුන් ඉතා ස්වල්ප දෙනෙකි) තේරුම ගැනීමට අපට හැකි වී ඇත. නමුත් අවාසනාවක මහත!!! අපට තවම මේ නිරුදක කතරෙහි රැය පහන් කළ හැකි වීමට උපකාර වන “ජාතික සිහිය” ගිලිහුණු තරම!!! අකුසලින් මිදී කුසල් වැඩෙනු පිණිස අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ “සතිය” නොහොත් “යෝනිසෝ මනසිකාරය” පිහිටුවා ගතයුතු බව දේශනාකොට වදාළ සේක. මට හැඟෙන්නේ ලෞකික වශයෙන් ගත් කලද ජාතික චින්තනය මත පදනම වූ “ජාතික සිහියක්” අප නිරතුරුව පුහුණු කලයුතු වගයි. සැකෙවින් කියතහොත් සම්‍යග්දෘෂ්ටිය මත පැනනැගුණු “ජාතික චින්තනය” අනුව අප පවත්වන සිහිය ජාතික සිහියයි. (එය ජාතිකත්ව සිහිය ලෙසද හැදින්වියහැක.)

මාගේ දැයේ මහා විරුවාණන් වූ, දුටු ගැමුණු මහා රාජෝත්තමයාණන් අපට ස්වකීය චරිතයෙන් ඒ බව පෙන්වාදී ඇත. තවමත් අප ජාතියේ ඉදිරි ගමන එතුමාගේ ව්‍යායාමයෙහි බලයෙන් දිවෙන බව මගේ වැටහීමයි. මොහොතකට සිතන්න. කුඩා කළ බත් පිඬු තුනක් ගෙන පිය රජතුමා, තමන්ගෙන් පොරොන්දු ලබා ගැනීමට උත්සහ කිරීමේදී, යුද්ධ නොකර සිටීමට ගිවිස ගැනීමට උදහස්ව තම යහනට වන ගැමුණු කුමාරයා කීවේ කුමක්ද?

එතුමාට කුඩාකළම උතුරින් ආ ද්‍රවිඩ ආක්‍රමණය සහ එමගින් බුදු සසුනට වූ බලපෑම ගැන, විනාශය ගැන මහත් සංවේදී බවක් තිබිණ. එමතුද නොවෙයි, “දකුණින් ගොළු මුහුද” යනුවෙන් එතුමා කියා සිටියේද නිකම්ම නොවන බව මාගේ හැගීමයි. ඉතිහාසය විෂයක් ලෙසින් ගැඹුරින් අධ්‍යයනය නොකලද මෙම ප්‍රකාශය පිටුපස දකුණු ලක ජනතාවටත් බුදුසසුනටත් මුහුද ගොඩගැලීමෙන් වූ මහත් විනාශයක් පිළිබඳව ගැමුණු කුමරු තුල වූ සිත් තැවුල සැඟවී ඇති බව මට විටෙක සිතෙයි. කෙසේ හෝ වේවා එතුමාට අවදිමත් සිහියක් තිබුණු බව පැහැදිලිය.

“ජාතික සිහියක්” නොමැති කළ “ජාතික චින්තනයෙන්” ආරක්ෂාව ගෙන නොදෙයි. ජාතික චින්තනය මත පදනම්ව “ජාතික සිහිය” වැඩි දියුණු කරගැනීමට අප උත්සුක විය යුතුය. ජාතික සිහිය සවිමත්ව යෙදෙයි නම්, වස විෂ , මත්පැන්, මත්ද්‍රව්‍ය, සොර මැර කම් දුරලීම අපට අපහසු නොවේ. වස විෂ යොදා කරන ගොවිතැන පිටුදැකීමට කටයුතු කළ යුතු බවත්, එය කළ හැකි බවත් තේරුම ගැනීමට අමුතුවෙන් පර්යේෂණ අවශ්‍ය වන්නේ ධර්මය පිටුදැක මිත්‍යාව නමැති යක්ෂයාට බිලිවූ ක්ලාන්ත වූවෝ බව හඳුනා ගැනීමට එතරම් අපහසු නැත. ජාතික සිහිය තබා “මෙලෝ සිහියක්” නොමැති අඩු තරමින් දස වස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් වත් ගැලවීමට නොහැකි හිස් මිනිසුන් අපේ විඤ්ඤූන් ගේ තැන බලෙන්ම ගෙන අපට බණ පොත පෙරලන කළ අනෙකුත් කරුණු ගැන කවර කථාද?

අපණ්ණක සුත්‍රයේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුව දක්වන්නේ, සුදුසු ශාස්තෘ වරයෙකු සරණ නොගිය කළ අඩුම තරමින් මෙලොව පරලොව කර්ම පල විශ්වාස කොට මහත් මිත්‍යාවෙන් ගැලවීමට නුවණ මෙහෙයවන ආකාරයයි. අපි බෞද්ධයෝ වෙමු. අපේ ශාස්තෘන් වහන්සේ අපි ශ්‍රද්ධාවෙන් සරණ ගිය භාග්‍යවත්අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේය. උන්වහන්සේ සරණ ගිය අප අතරට නානාවිධ භෞතිකවාද, ක්‍රියාවාද, හේතුවාද (ධර්මයෙහි දැක්වෙන හේතු වාද යන අදහසින් නොව), මාක්ස්වාද, ධනවාද සහ නිර්මාණ වාද ආදී වෙස්ගෙන එන මේ අධර්ම රාගය නමැති නිරුදක කතරෙහි අරක්ගත් මිත්‍යාදෘෂ්ටි නමැති යක්ෂයාට රැවටීම අපට තරම් නොවේ. නුවණැත්තෝ උත්සුක වෙත්වා, අපි නිරුදක කතර තරණය කරමු. මිත්‍යාවේ යක්ෂයාට රැවටුණු සමහරෙක් මෙන් සියල්ල හෝ කොටසක් තබා, අපි ධර්මය නමැති (විනය, සුත්‍ර, අභිධර්ම සහිත සකල ත්‍රිපිටකය ප්‍රමුඛව සහ මූලිකවද, අටුවා, ටීකා, ටිප්පනී සහිතව) දිය බිදුවක් හෝ ඉවත් නොකරමු. අප අතර සිටිමින් කොටස් වශයෙන් දහම් දිය මග හලන්නට මාන බලන්නවුනටද අපි ඉදිරියේදී අමතමු.

මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයා අප රැවටීමට පෙන්වන “මාරයාගේ ආර්ථික විද්‍යාව” නමැති මිරිඟුව පිළිබඳව මීළඟ ලිපියෙන් විමසමු.

ඔබට තෙරුවන් සරණයි..!!!

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...