1237611_615324478519639_1234142898_n

කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද වකුගඩු මාරයාට එරෙහිව ජනතාව පෙළගන්වන දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ

මේ යල කන්නයේ වී අස්වනු නෙළන කාලයයි. ලංකාවේ ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්කවල මේ දිනවල සුලභවම කතාබහ කෙරෙන මාතෘකාවලින් එකක් වන්නේ ‘වී’ මිලයි. ගොවියාට සාධාරණ මිලක් තම අස්වැන්නට නියම කරතියි ගොවීහු හැමදාම බලා‍පොරොත්තු සහගත වුවත් හැම කන්නයකදීම පාහේ ගොවියාට නම් සාධාරණ මිලක් ලැබුණ බවක් අසන්නට නොලැබිණ.

එක්කෝ රජයේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය නිසි අන්දමින් ක්‍රියාත්මක නොවේ. එසේත් නැතිනම් වැස්සට අසුවූ වීවලට සාධාරණ මිලක් ඉදිරිපත් නොවෙයි. එවැනි ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් ගොවියා හැමදාමත් බරපතළ ලෙස පීඩා විඳියි. ඉතිහාසයේ ගොවි සටන්වලදී ගොවි අයිතීන් උදෙසා උද්ඝෝෂණ, සත්‍ය ක්‍රියා, පෙළපාළි සහ උපවාස වැනි ක්‍රියාමාර්ගවලට දායකවී ගොවීහු අයිතීන් දිනාගෙන තිබේ. එකල මෙම ගොවි අරගලවලට පණ දුන් ගොවීන් වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද කළ භික්ෂූන් වහන්සේද සිටියහ.

සුප්‍රකට හිඟුරක්ගොඩ ගොවි උපවාසයට ආශිර්වාද කරමින් ගොවියා වෙනුවෙන් මාරාන්තික උපවාසයේ යෙදීමට දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ ඉදිරිපත් වූහ. එකලම ගොවි අරගලවල ඉදිරියෙන්ම සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් සිටියෝය. ඒ ගිනිදමණේ නායක හාමුදුරුවන්ය. එසේත් නැතිනම් සඳුන්පුර නාලකාලංකාර හිමියන්ය.
ගොවි අරගලවල යෙදී ගොවියාට සාධාරණ මිලක් වීවලට ලබා ගැනීමට හඬ නගා එයින් නොනැවතී මුළු රජරටම මාරාන්තික වකුගඩු රෝගයෙන් මරලතෝනි දෙද්දී ඊට එරෙහිව සටන් වැදුණ හිමි නමක් නම් ගිනිදමණේ නාලකාලංකාර හාමුදුරුවන්ය.
අපේ රටේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක සියල්‍ලේම පාහේ දැන් පැතිරී ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වකුගඩු රෝගය පිළිබඳව උන්වහන්සේ නිරන්තරවම සබුද්ධික වූහ.
“අද අපේ මිනිස්සුන්ට ගොඩක් දේවල් ඉක්මනට අමතක වෙලා යනවා. වී මිල සම්බන්ධයෙන් විවිධ අරගල කරා. දැනුත් එහෙමයි. එහෙම අරගල කරලත් ලබාගත්තු මිලෙන් ගොවියාට සෙතක් වෙලා නැහැ. අදත් ගොවියාගෙ අස්වැන්න කඩේට දීලා ණය තුරුස් බේරලා ගෙදර එන්නෙ කඩේ මුදලාලිට තවත් ණය ගෙවන්න ඉතිරි කරගෙන. එතකොට අර සියඹලා ගෙනාපු කතාව වගේමයි. මේක එක කන්නයක් නමෛයි කන්න දහයක් පහළොවක් නමෛයි. අවුරුදු දහයක් පහළොවක් තිස්සේ තියෙන ඛිෙදවාචකයක්. මේ තත්ත්වයට ගොවියා පත්වුණේ එක වර්ගයේ දෙමුහුන් වී වර්ගයක් එක්ක යොදන්න නිර්දේශ කරන රසායනික ‍පොහොර සහ තෙල් බෙහෙත් නිසයි. මේවාට බෙහෙත් කිව්වොත් වැරදියි. වස විස නිසයි. ඊට පස්සෙ අස්වනු නෙළන්න එක එක යන්ත්‍ර සූත්‍ර ආවා. ඒවාටත් අධික පිරිවැයක් දරන්න ඕන” නාලකාලංකාර හිමියන් වදාළේ එලෙසයි.

නාලකාලංකාර හාමුදුරුවෝ වැලිකන්ද, නෙළුම්වැව ගිනිදමන විහාරස්ථානයේ නායක හාමුදුරුවන් පමණක් නොවේ. වැලිකන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ‍ලේඛකාධිකාරී හිමියන්ද වන්නාහ. උන්වහන්සේ ගොවියා මේ මුහුණපාන ගැටලුව හොඳින් තේරුම් ගෙන තිබේ. ණය උගුලෙන් බේරෙන්නට වැඩි අස්වැන්නක් පතා වැඩි ‍පොහොර, වැඩ වස විෂ යෙදූ විට ලැබුණු අස්වැන්නට එකතු වූ වැඩි වස විෂද වසර ගණනාවක් තිස්සේ රටේ ලොකු කුඩා, බාල, මහලු හැමදෙනාටම කැවී හමාරය. තවමත් කමින් සිටින්නෝය.
ලංකාවේ පරිභෝජනය කරන ඇතැම් සහල්වල ‘කැඩ්මියම්’ බැර ලෝහය අන්තර්ගතව පවතින බැව්ද මිනිස් පරිභෝජනයට අහිතකර අන්දමින් එහි විෂ අන්තර්ගව ඇති බවද බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ ඇබර්ඩින් විශ්වවිද්‍යාලය හා මෙරට රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රමුඛ පෙළේ පර්යේෂකයින් කණ්ඩායමක් හෙළිදරව් කළේය.
හැමෝම වස කමින් තවමත් මරණයට ආසන්න වෙමින් සිටිති. නාලක හිමි පවසන්නේ දැන් අවශ්‍ය වන්නේ මාධ්‍ය සංදර්ශන, ප්‍රදර්ශන පූචානම් ඇඳීම් නොවන බවයි. දැන් රජය මේ වස විසට එරෙහිව පෙරමුණ ගත යුතු බවයි. තමන් වහන්සේ ඊට එරෙහිව කන්න ගණනාවක සිට අරගල කරන බවද උන්වහන්සේ පැවැසූහ.

“මම දැන් කන්න කිහිපයක්ම පාරම්පරික දේශීය වී වගා කරන්න පටන් අරගෙන තියෙනවා. කිසිම රසායනික ‍පොහොරක්, විස කෘෂි රසායනික ද්‍රව්‍යක් යොදන්නෙ නෑ. අපි කාලයක් තිස්සේ වස විස පිළිබඳව අපේ ගොවිතැනට යොදන වස විස ගැන හොඳින් තේරුම් අරගෙන, අත්දැකීම් විඳලා තියෙනවා. මෙය තේරුම් ගත් නිසා ගමේ බෞද්ධ සමිතියේ කුඹුර සම්පූර්ණයෙන්ම මම වගා කරනවා. මාස් කන්නයට පන්සල් වත්තේ අක්කර දෙකක විතර වස විෂ නැතිව කාබනික ‍පොහොර යොදලා වගා කරනවා. පච්ච පෙරුමාල්, රත්හැල්, කළු හීනටි, සුවඳැල් යන වී වර්ග මම වගා කරලා තියෙනවා. මේ කන්නයේ වගා කළේ සුවඳැල්. මුලදී මමත් එක්ක ගමේ 150ක් විතර ගොවීන් සම්බන්ධ වෙලා වැඩ කළා. නමුත් කාබනික ‍පොහොර, අමුද්‍රව්‍ය සපයා ගන්න බැරුව අප පුරුදු වෙච්ච වස විස කෘෂිකර්මාන්තයෙන් මිදෙන්න බැරුව ඒ ගොවීන් සමහරක් මේක අත ඇරලා දැම්මා. මම දිගටම වගා කරනවා” යනුවෙන් උන්වහන්සේ වදාළ සේක.
නාලක හිමියෝ සිය කුඹුරට අපවද කැටුව ගියේය. නියර දිගේ ඇවිදගෙන යනවිටත් සුවඳ හමන සුවඳැල් වී කරල් රන්වන් පාටින් බබළන්නේය. මුළු කුඹුර පුරාම පැතිරී ගිය සුවඳින් අපිද ආස්වාදයක් වින්දෙමු.

“පසුගිය කන්නයේ මගේ වී වලින් මම වී කිලෝ 1337ක් කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් හැත්තෑව ගණනේ වික්කා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩබ්.ඩී. ධර්මසිරි මහත්තයා එහෙම ඇවිල්ලා ඒ වී ටික වැලිකන්ද සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මහවැව ගම්මානවලත් ගිනිදමණේ ගොවියන්ටත් නිකං බෙදලා දුන්නා.

නායක හාමුදුරුවෝ කියති. දැන් කුරුණෑගල, අනුරාධපුරය, ‍පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පමණක් නොව ඌව පළාතෙත් දකුණු පළාතෙත් මාත‍ලේ දිස්ත්‍රික්කයේත් වකුගඩු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැව් උන්වහන්සේ පවසති.
“දැන් මහත්තයා අත ගගා බල බලා ඉඳලා වැඩක් නෑ. වැඩිහිටි පරම්පරාව වකුගඩු රෝගයට, දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරොල්, හෘද රෝග, පිළිකා ආදියට ගොදුරු වෙලා ඉවරයි. ඒ ඔක්කොම තව අවුරුදු 20කින් මැරිලා යයි. හැබැයි ඊළඟ පරම්පරාව බේරගන්න ඕනැ. මේ යන විදිහට අපේ ගම්බිම් ජනශුන්‍ය වේවි. රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් ඉන්නෙ මුලින්ම තමන්ට ආදරය කරගන්න. තමන්ගෙ දරුමල්ලන්ට වස විස නැති ආහාර වේලක් දෙන්න පටන් ගන්න ඕනැ.

නාලක හිමියන්ගේ වදන් වේගවත්ය. හැඟුම්බරය. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ගැන කතා කරන අපි ශ්‍රී ලාංකීය ජාතිය වඳවී යාමේ ඛිෙදජනක ඉරණම පිළිබඳව නොසිතා කල්මරමුද?

“මට මුලින්ම පාරම්පරික වී ලබාදුන්නේ දේශීය බිජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ පී. ගුරුසිංහ මහත්තයා අදටත් අපේ ගමේ පනහක් විතර මාත් එක්ක කාබනික ‍පොහොර යොදලා වී වගා කරනවා. මේකට තවම හොඳ වෙළෙඳ‍පොළක් හැදිලා නෑ. හැබැයි ඒක හැදෙයි. අද කොළඹ සුපිරි පන්තියේ මිනිස්සුන්ට කන්න අපේ මිනිස්සු හදන වී, හාල් ගිහින් දෙනවා. සුපර් මාකට්වල රුපියල් 225/-ට 210/-, 195/- වගේ මිලවලට අලෙවි වෙනවා. අපි ඒ ටික විකුණලා ‍පොඩි එවුන්ටත් වසකවමින් අපිත් කනචා.”

වදාරණ නාලක හිමියන්ගේ උදාර පරමාර්ථය කාටත් ආදර්ශ ගත හැකි පරමාර්ථයකි. අක්කර පහළවක් විස්සක් වුවත් උන්වහන්සේ වගාකිරීමට කැමතිය. එහෙත් උන්වහ්නසේ ආගමික හා සමාජීය කටයුතු සියල්ල කරන ගමන් කරන මෙම කටයුත්තට මිලක් තැබිය නොහැකිය. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතාට තම කුඹුරේ අස්වැන්න යවා වස විස අඩංගු දැයි පරීක්ෂා කිරීම උන්වහන්සේ හැම කන්නයකදීම කරන්නේය. උන්වහන්සේ බල කරන්නේ දැන් වී වගා කරන ප්‍රදේශවල හැම කුඹුරකම වීවල විස සාන්ද්‍රණය කොපමණද කියලා සොයාබැලීමේ කඩිනම් වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි. ඒ අනුව සහල් මිටියේ විස සාන්ද්‍රණය සඳහන් කළ යුතු බවයි.
“මම ඊයේ වෙනකල් වකුගඩු රෝගියෙක් නමෛයි. හැබැයි අද මම වකුගඩු රෝගියෙක්. මේ නිසා සමස්ත අපේ හාමුදුරු ගොල්ලන්ටත් කියන්නේ රටේ සියලුම හාමුදුරුවරු ගොවියා බේරාගන්න තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන ගොවියා බේරා ගන්න මේ වැඩේට අතගහන්න කියලායි.”

නාලක හිමියෝ භික්ෂු සමාජයෙන් එසේ විවෘත ඉල්ලීමක් කරන්නේත් ඊයේ වකුගඩු රෝගියෙක් නොවූ අප අද වකුගඩු රෝගියෙක් විය හැකිය යන ගැඹුරු ආස්ථානයේ සිටය. එබැවින් උන්වහ්නසේ දායක, උපාසක උපාසිකාවන්ගෙන්ද විවෘත ඉල්ලීමක් කරති.
“දැන්වත් අපේ හාමුදුරුගොල්ලන්ට වස විස නැති දානයක් පිළියෙල කරන්න. බුද්ධ පුජාවට වස විස නැති දානයක් පිළියෙල කරන්න. ඒක ජාතියටත් ආගමටත් කරන්න පුළුවන් ලොකුම පිංකමයි.”

කන්න ගණනාවක සිට වස විස වලින් තොර ආහාරවේලක බත වෙනුවෙන් දැඩිව වීර්ය වඩන නාලකාලංකාර හිමියන්ට දීර්ඝායුෂ පතමු.

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...