1175473_614194151966005_1786362364_n copy

කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

ලෝකය මැද්දේ තියෙන රටවල් අතරෙන් ශ්‍රී ලංකාව කියන්නේ පුංචිම පුංචි රටක් බව අපි දන්නවා. ඒක කොයි තරම් පුංචි වුණත් රටක් විදියට පිළිගන්නේ ඒකට භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපති බලය යන සංයුතික මූලධර්ම තියෙන නිසා.

භූමිය ඇතුළේ ඉන්න මහජනතාව පාලනය කරන්න ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුවේ කටයුතු කරන්න රාජ්‍යයට ස්වාධිපත්‍ය බලයක් ලැබිලා තියෙනවා. ලෝකේ අනෙක් රටවලට වගේම අපිටත් ස්වාධීනත්වයක් තියෙනවා. ඒ නිසාම ජාත්‍යන්තරයෙන් එන එක එක බලපෑම්වලින් තොරව වැඩකරන්න පුළුවන්. ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ තමයි අපි අපිව පාලනය කරගනිද්දි හිතට එකඟව ඒක කරන එක. හිතට එකඟව කරනවා කියන්නේ අපේ පාලකයන්ට පුළුවන් වෙන්න ඕනි අපිව පාලනය කරනවා කියන්නෙ හරක් ගාලක් බලා ගන්නවට වඩා වෙනස් බව ලෝකයට පෙන්වන්න. අඩුම තරමේ ඒකට සම්බුදු රදුන් දෙසූ දහම් පදයක්වත් එකතු කර ගන්න පුළුවන්නම් ඒක තමයි නේරංජනාවේ බලාපොරොත්තුව. අදත් නේරංජනාවට යන අතරමඟ කියවලාම බලමු….

මීට ශතවර්ෂ ගණනාවකට ඉහත ලොව පහළ වූ සිද්ධාර්ථ කුමාරයාණෝ මේ ලෝකය හැඩගැන්වූ මහා මානව හිතවාදියා විය. මානව සංහතිය මෙන්ම තිරිසන් සත්ත්ව සංහතියටද යන සෑම ජීවී කොටසක් වෙනුවෙන්ම ස්වකීය කරුණාබරිත බැල්ම හෙලූ ඒ උත්තමයාණෝ මෙතෙක් ලොව බිහිවූ ශේ්‍රෂ්ඨතම අයිතිවාසිකම් විශේෂඥයා වූහ. ඒ දාර්ශනිකයාණෝ සම්බුද්ධත්වයට පත් වූයේ භාරතයේ මානව අයිතිවාසිකම් නටබුන් වී තිබූ සමයකය. භාරතය තුළ නොතිබූ අයිතිවාසිකම් ඇති කිරීමට ස්වකීය ජීවිතය කැප කළහ.

අයිතිවාසිකම් අර්ථකතනය කරගතහොත් ඒ පිළිබඳ මෙසේ කිව හැකිය.

“මානව සංහතියේ සියලු සාමාජිකයන්ට උපතේ සිට මරණය දක්වා පරිපූර්ණ ජීවිතයක් ගෙන යෑමට අවශ්‍ය කොන්දේසි අයිතිවාසිකම් ලෙස සරලව හැඳින්විය හැකිය.”

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයක් අදහන ඕනෑම රටක අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ඉතා වැදගත් කොට සලකයි. බෞද්ධ දර්ශනය ලොව පහළවීමට පළමුව ඉන්දියාව මිනිස් අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටින්නට ඇත. එසේම මානව අයිතිවාසිකම් කඩකළ වෙනත් රටක් නැති තරම්ය. ලෝකය තුළ මානව අයිතිවාසිකම් කඩවීමට බලපෑ ප්‍රධාන හේතු 3ක් පෙන්වා දිය හැකිය.

01. කුලවාදය.

02. ආගමික අන්තවාදය.

03. රාජ්‍ය පාලනය

මේ තුනෙන් එකිනෙකට අවශ්‍ය සහයෝගය පවත්වා ගනිමින් ඒ ඒ රටවල සමාජය පාලනය කරමින් මිනිස් අයිතිවාසිකම් කඩකර තිබිණි. මෙය ආසියාකරයේ බොහෝ රටවල දක්නට ලැබුණු ලක්ෂණ බව පෙන්වා දිය හැකිය. එදා ඒ භාරත සමාජය තුළ ජීවත් වූ මානව අයිතිවාසිකම් සුරැකීමේ අභීත පියවර තැබුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය.

වර්තමාන ලෝකය තුළ කුලය මුල් කරගෙන අයිතිවාසිකම් කඩවනු දැකීමට නැති තරම්ය. 17, 18 වැනි සියවස්වල ආසියාකරය බටහිර යුරෝපීන්ගේ බලපෑමට ලක්වීමත් සමඟ කුලවාදය වියැකෙමින් ඇත. ශ්‍රී ලංකාවේ මහනුවර යුගයෙන් පසු එය තදබල ලෙස ක්‍රියාත්මක නොවනු පෙනේ.

නමුත් මෑත කාලීනව ආගමික අන්තවාදය ආසියාවේ මෙන්ම බටහිරද වරින්වර ඉස්මතුවනු පෙනේ. සමහර ආගමික අන්තවාදී කොටස් කරන යම් යම් මානව අයිතීන් කඩකිරීම් සමහර අවස්ථාවල දක්නට ලැබේ. ශ්‍රී ලංකාව එය ගළපා ගැනීමේදී සමහර අන්තවාදී කොටස් කරන සමහර ක්‍රියාකාරකම් ආගමික සහජීවනය වෙනුවෙන් හුදෙකලා සිදුවීම් ලෙස අර්ථ ගන්වා ගැනීමට සිදුවී තිබේ. එසේම එය මෑත කාලීන ප්‍රවණතාවක් ලෙස ජීවන මාර්ගයක් ලෙස හුවා දැක්වීම තරම් කරුණු කාරණා යෙදී තිබේ.

මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ කුල වාදය නිසා හෝ ආගමික අන්තවාදය නිසා හෝ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ නොවේ. වර්තමානය තුළ ලොව පිළිගත් ප්‍රජාතන්තවාදී ප්‍රවාහය තුළ සිදුවන මානව අයිතිවාසිකම් කඩකිරීම් දිනෙන් දින ඉහළ යන නිසාය. කෙසේ වුවත් ඒ දේශපාලන දර්ශනයට බලපෑම් කළ එකම ආගමික දර්ශනය ලෙස බෞද්ධ දර්ශනය හැඳින්විය හැකිය. බෞද්ධ දර්ශනයට අනුව දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, සිවුබඹ විහරණ ආදී වූ සුවිශාල කරුණු රාශියක් පෙන්වා දී ඇත. වජ්ජි රජ දරුවන් වෙනුවෙන් වදාළ සප්ත අපරිහානී ධර්මය වැනි කරුණුවලින් රාජ්‍ය පාලනය හා සම්බන්ධ වත් පිළිවෙත් දක්වා ඇත.

මේ සියලු සංලක්ෂණයන් විමර්ශනය කරන විට රාජ්‍ය පාලන ක්‍රියාවලියේදී කඩවන මිනිස් අයිතීන් පිළිබඳ පසු විපරම් කිරීමට සිදුව ඇත. එය විශේෂයෙන්ම බුදු දහම ආගම කරගත් බෞද්ධයන් සිටින රටක සිදුවන දේශපාලන ක්‍රියාවලීන් පිළිබඳ නැවත නැවත සිතිය යුතු කාලයයි. ශ්‍රී ලංකාව දහම් දිවයිනක් බව සැබෑය. එහෙත් පාලකයන් කාලයෙන් කාලයට වෙනස් වෙමින් පත්වන නිසා ඔවුන්ගේ පාලන ක්‍රියාදාමයන් තුළ බෞද්ධ දර්ශනයේ ලක්ෂණ තියෙනවාද යන්න සැක සහිතය.

සිද්ධාර්ථ කුමාරයන් මාලිගාවෙන් පිටතදී දුටු සතර පෙර නිමිතිවලින් මානව හිතවාදීත්වය පසක් කර ගත් බවක් පෙන්වා දිය හැකිය. මිනිසුන් මහලු වීම, ලෙඩවීම මරණය පත්වීම නිසා මිනිස් ජීවිතය තණ අග පිනි බිඳක් මෙන් අස්ථිර බව වටහා ගනු ලැබීය. මානව සංහතියට අසීමිත ලෙස අනුකම්පා කළ සිද්ධාර්ථ කුමාරයාණෝ කල්පනාවේ නිමග්න විය.

“මට රම්‍ය, සුරම්‍ය, සුබ වශයෙන් ඍතුවලින් ඍතුවල මාරුවන මාලිගා ඇත. ඒවායේ ඕන තරම් කම්සැප තිබේ. එහෙත් මමද යම් දවසක මරණයට පත්වන වග සනාතන සත්‍යයකි. මාගේ මහලුවීම හෝ ලෙඩවීම හෝ මරණය වැළැක්වීම ඒ කිසිවකුට නොහැකිය. මේ යථාර්ථය මෙසේ සිදුවීමට නියමිතව තිබියදී මාගේ සක්විති රජ වීමෙන් පලක් නැත. එසේනම් මා බුදුවැ මිනිස් සංහතියේ උන්නතිය වෙනුවෙන් නැවත නොඉපදෙන්නට නොමැරෙන්නට කටයුතු කරමි.”

මේ අවබෝධ කරගත් යථාර්ථය වත්මන් දේශපාලකයන්ද අවබෝධ කරගත යුතුව ඇත. ඒ වීදාගම මහා මෛත්‍රි හිමියන් කියන පරිදි ලෝවැඩ සඟරාවේ පවා කර්මපල විපාකය පල දෙනු නියත නිසාය.

“කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”

සක්විති රජ වුවත් පලක් නොමැති බව වටහා ගැනීමට තරම් ශාක්‍ය වංසයේ උපන් සිද්ධාර්ථ කුමාරයාට අවබෝධ කරගත හැකි විය. එතුමා ජීවිතයේ දුක් විඳ කලකිරී සත්‍ය සෙව්වා නොව රාජ කුමාරයකුව ඉපිද රාජ කුමාරයකුව සැප විඳ, ඉන් කලකිරී යථාර්ථය සෙවූ උතුමෙකි.

කාෂ්‍යප බණ්ඩාර

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...