njh

ගව ඝාතනය නතර කළ නොහැකි ද?

‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.

එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.

බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත.

එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන.

විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය.

කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය.

‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ.

මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.

– ගෝණදෙණියේ සීවලී හිමි-

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...