dfh

ජීවිතයට බණපදයක්..සැබෑ මවුපිය උපස්ථානය​

ඔයාට මතක ද ඔයා ගේ පුංචි කාලේ ? බඩගින්නට පිපාසෙට, උණුසුමට සීතලට, මේ හැමදේට ම අඬන්න විතර යි අපි ඒ කාලෙ දැන ගෙන හිටියෙ. ඒ කාලෙ දි අපේ පිහිටට හිටියේ ආදරණීය අම්ම යි තාත්ත යි විතර යි. ඔයා වෙනුවෙන් මං වෙනුවෙන් අම්ම ගෙ තාත්ත ගෙ හිතේ තිබුණෙ, අදට ත් තියෙන්නේ අසීමිත කරුණාවක්. ඒ අතරිනුත් සමහර විට අම්ම ඔයාට ගොඩාක් සමීප ඇති. මව් සෙනෙහසේ තරම තේරුම් ගන්න මං ඔයාට එක සිදු වීමක් කියන්නම්.
මේ සිදුවීම සිදු වුනේ මීට ටික කාලෙකට ඉස්සර. එදා මං ඉස්කෝලෙ යන්න සූදානම් වෙලා බෑග් එක ත් කරේ එල්ලගෙන, පාර අයිනෙ තියෙන බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකම් බලාගෙන හිටිය. ඒ බස් හෝල්ට් එක තිබුණේ ලස්සන පුංචි පන්සලක් ළඟ. පන්සල් වැටේ පේලියට හිටවල තිබුණ රතු අරලියා ගස් වල මල් හුළඟින් බිමට වැටිල සුන්දර දර්ශනයක් තමයි මැවිල තිබුණෙ. ඉතින් මං ඒ මල් දිහා ම බලා ගෙන හිටිය නිසා වාහනයක් වේගෙන් ඇවිල්ල පන්සල ඉස්සරහා ම නවත්වනකම් දැක්කෙ නෑ. ඒ වාහනේ පුංචි කැන්ටර් වර්ගයේ එකක්. වාහනෙන් හොඳට ඇඳ පැළඳ ගත්ත මනුස්සයෙක් බිමට බැස්සා. පිටිපස්සෙ දොර ඇරල බැලි කික්කියෙකු යි පුංචි බලු පැටව් තුන් දෙනෙකු යි බිමට දැම්මා. තමන් ව වාහනයෙන් බිමට ඇදල දැම්මත් ඒ බැලි කික්කි අර (බලු) මහත්මයා දිහා බොහෝ ම ලෙන්ගතු විදියට තමයි බැලුවේ. එහෙම බලල නැට්ට වැනුව. ඔලුව පාත් කෙරුව. අර මනුස්සයා ටක් ගාල වාහනේට නැගල වාහනය පණ ගන්ව ගත්තා.
වාහනය ඉස්සරහට යන්ට පටන් ගත්තා විතරයි තමන් ගේ පැටවුන් එක්ක තනි වුන අර අසරණ සතා විලාප තියන්න පටන් ගත්තා. වාහනේ පස්සෙන් දුවගෙන ගියා. ටික දුරයි දුවගෙන ගියේ තමන් ගේ පැටව් ටික මතක් වුනා. ආපහු පැටව් ඉන්න තැනට දුවගෙන ආව. ඒත් එක්ක ම ඒ සතාට තමන් ව පැටව් ටිකත් එක්ක තනි කරල යනව නේ ද කියල හිතෙන්න ඇති. ආයෙමත් වාහනේ යන පැත්තට ටික දුරක් කෑගහගෙන දුවගෙන ගියා. ආයෙමත් පැටව් ඉන්න තැනට ආවා. මේ සිදු වීම දිහා මට නම් තව දුරටත් බලා ගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ. මට වෙන කරන්න දෙයක් තිබුණෙ ත් නෑ. මට එදා ඉස්කෝලෙ ගමන එපා වුනා. එහෙම ම හැරිල ගෙදර ආවා. ඒත් මට මතක් වෙන්නේ ම අර සිදු වීම ම යි. මේක මට මගේ හිතින් අයින් කරගන්න බැරි වුනා. හැන්දෑ වෙනකොට මට හොඳට ම උණ ගත්තා. අදට ත් මේ සිදු වීම මතක් වෙනකොට මට සංවේගයක් ඇති වෙනවා. සමහර විට ඒ බැලි කික්කි තමන් ගේ පැටව් ටික ත් අරගෙන අර පුංචි පන්සලට වත් යන්න ඇති.
ඉතින් යාලුවේ… හොඳට ඇඳ පැලඳගත්ත, මහත්මයෙක් කියල සමාජයේ සම්මත කෙනෙක් දරුවො තුන් දෙනෙක් එක්ක අම්ම කෙනෙක් ව තනි කරලා දාල කිසි දෙයක් නො දන්න කෙනෙක් වගේ ආපහු ගියෙ අන්න එහෙම යි.
දැන් හිතන්න… ඒ බලු පැටව් ටික ගැන. ඒ පැටවුන්ට තමන් ගේ අම්මා නො හිටියා නම් මොන තරම් අසරණ වෙන්න සිද්ධ වෙනව ද?… ඒ අසරණ භාවය ඒ පුංචි පැටවුන්ට එදා තේරුනේ නෑ. නමුත් අම්මට තේරුනා.
අපේ ජීවිත ත් ඒ වගේ ම තමයි .. පුංචි කාලෙ දි අපි කිසි දෙයක් නො දන්න අසරණයො වෙලා ඉද්දි අපිට හැම අතින් ම පිහිට වුනේ, දෙමව්පියෝ. ඒ මව් පිය උණුහුමේ පුදුමාකාර රැකවරණයක් තියෙනවා. අම්ම ළඟ ඉන්නවා නම් කන්න නැතත් ජීවිතේට සතුට තියෙනවා. ඒත් ලොකු වෙනකොට ගොඩාක් දරුවන්ට ඒ හැම දෙයක් ම අමතක යි. පුංචි කාලෙ දි අම්මගෙ ම අතේ එල්ලිලා ඉස්කෝලෙ ගිය දරුව, ටික ටික කර දඬු උස් මහත් වෙනකොට ‘මේ මගේ අම්ම’ කියල තමන් ගෙ අම්ම ව යාලුවන්ට පෙන්නන්නත් ලැජ්ජා වෙනව. අන්තිමේ දී සමහර නො මිනිස් දරුවො තමන් ගේ අම්ම ව තාත්ත ව මහ මග අතෑරල දාල යනවා.
හිතන්න….. කිසි දෙයක් කර කියා ගන්න බැරි ඒ අහිංසක අම්ම තාත්ත එදාට කොයි තරම් නම් අසරණ වෙයි ද? අම්මල තාත්තල අපි පොඩි කාලෙ දි අපේ ජීවිත ගැන හිතුවෙ බොහො ම ලොකු වගකීමක් හිතට අරගෙන. ඒ වගේ ම බොහො ම බැරූරුම් විදියට. ඒක නිසා යාලුවේ… අපිත් අපේ දෙමව්පියො ගැන බොහොම වගකීමෙන් හිතන්න ඕනෙ. බැරූරුම් විදියට හිතන්න ඕනෙ.
කොහොම ද ඒක කරන්නේ. අවරන්ගිර මුදුනේ බබලන හිරු මඬල වගේ මේ මුලු ලෝකය ම ප්‍රඥාවෙන් එළිය කරවන ඒ බුදු රජාණන් වහන්සේ අම්ම ගැන තාත්ත ගැන හිතන්න ඕන විදිය අපිට කියල දුන්නා.
යම් කිසි දරුවෙක් තමන් ගේ අම්ම ව එක උරහිසක ත් තාත්ත ව අනෙක් උරහිසෙත් තබාගෙන, අවුරුදු සීයක් ම බිමට බස්සන්නෙ නැති ව උපස්ථාන කළත්, අම්මට යි තාත්තට යි කෙළෙහි ගුණ සළකළ ඉවර කරන්න බැරි බව තමයි මගේ බුදු මෑණියන් වහන්සේ දේශනා කොට වදාළේ.
එහෙනම් කොහොම ද අම්මට යි තාත්තට යි කෙළෙහි ගුණ සළකල ඉවර කරන්න පුලුවන් වෙන්නේ. ඒක කරන හැටි ත් බුදු පියාණන් වහන්සේ ඔයාට, අපිට පෙන්වලා දුන්න.
ඔයා ගේ අම්මට තාත්තට බුදු රජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන ශ්‍රද්ධාවක් නැත් නම්, ඒ අය ගේ සිත් තුළ ශ්‍රද්ධාව ඇති කරවන්න. ඒ අය සිල්වත් නැත්නම් බලෙන් හරි සිල් පද පහ රක්කවන්න උත්සාහ කරන්න. ඒ වගේ ම ඒ අයට මේ සංසාරේ ගැන, සංසාරෙන් නිදහස් වෙන එක ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන ධර්මය හොඳට කියල දෙන්න. කොහොම හරි ඒ ගොල්ලන් ව බණ භාවනා වලට යොමු කරවන්න. අන්න ඒක තමයි තමන් ගේ අම්ම තාත්ත වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් ලොකු ම උපකාරය. මොකද දන්නව ද?
ඔයාගෙ ඔය අම්ම තාත්ත ම, ඔයා වගේ දරුවො වෙනුවෙන් සංසාරෙදි අඩපු කඳුලු එකතු කෙරුවොත් මේ සිව් මහා සමුදුරේ ජලයට ත් වඩා වැඩියි කියල යි බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තුළින් අපිට දැන ගන්ට ලැබෙන්නෙ. යම් විදියකින් අම්ම ව යි තාත්ත ව යි දහම් මාවතට යොමු කරවල ඒ ඇත්තන්ට මේ සංසාරෙන් නිදහස් වෙන්න අවස්ථාව උදා කරල දුන්නොත්, ඔයා සිද්ධ කරන්නේ තවත් ඉස්සරහට ඒ අය ගේ ඇස් දෙකෙන් කෙළවරක් නැති ව ගලාගෙන යන්න තියෙන කඳුළු ගංඟාව නතර කරන එක යි.
අන්න ඒ නිසා දයාබර යාලුවේ… ඔය ත් බුදු රජාණන් වහන්සේ පෙන්වල දුන්න විදියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ගමන් ම තමන් ගේ අම්ම ව යි තාත්ත ව යි බුදු රජාණන් වහන්සේ පෙන්වල දුන්න ඒ උතුම් දහම් මාවතට කොහොම හරි යොමු කරවන්න. ඒ පින ම ඔයාට මේ දුක්ඛිත සංසාර චාරිකාවෙන් නිදහස් වෙන්න ප්‍රමාණවත් වේවි.
ඉතා ඉක්මණින් ම ජීවිතාවබෝධය වේවා!

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...