fr56n

දේවාකර්ෂණය හිමිවන බුදු පිළිම

දඹරන් බුද්ධ ප්‍රතිමා පිළිබඳව පසුගිය කාලය පුරා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එනිසාම පැරණි විහාරස්ථානවල දීර්ඝ කාලයක් තිස්සේ සුරැකුණු බුද්ධ ප්‍රතිමා රාශියක් නිදන් සොරුන් විසින් පැහැරගන්නා ලදී. ඒ එදා මෙදාතුර අප සමාජය පුරා පැතිර යන දඹරන් පිළිබඳ මිථ්‍යා විශ්වාසයක් නිසාය. අදත් අප රටේ බොහෝ දෙනකු සිතනුයේ දඹරන් යනු පිරිසිදු රන් හෝ පෙරාපු රන් බවය. නමුත් මෙය මුළුමනින්ම වැරදි මතයකි. දඹරන් යනු සමාජ භාවිතයේ පවතින රත්‍රන් නොවේ. සංස්කෘත ශබ්ද කෝෂවල දඹරන් හැඳින්වෙනුයේ “ජාම්බුනද ස්වර්ණ” යනුවෙනි. මෙම ජාම්බුනද ස්වර්ණ පිළිබඳව වැඩිදුරටත් විස්තර දැක්වෙන එම ශබ්දකෝෂවල ඒවා ජාම්බුනද නම් ඔයෙන් හමුවන ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත. ක්‍රිස්තු වර්ෂ දස වන සියවසේ පමණ ලියැවී ඇතැයි සැලකෙන සියබස්ලකර කෘතියෙන් ද එය එපරිද්දෙන්ම දැක්වෙයි.
හුදෙක් රත්‍රන් නොවන මෙම දඹරන්වල උප්පත්ති කතාව බුද්ධ පරිනිර්වාණය තෙක් දිව යන බවක්ද අපගේ ජන විශ්වාසයේ සඳහන්ය. එයට අනුව මෙම දඹරන් උපදිනුයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සහිත චිතකයට ගිනි ඇවිළුණු මොහොතේ ඒ වටා රැස්ව සිටි රජදරුවන් තමන් පැළඳ සිටි රන් ආභරණ ගලවා එම චිතකයට වීසි කළ බවත් පසුව ඒ සියල්ල එකට පිඬුවක් වී එමගින් දඹරන් නිර්මාණය වූ බවත් එම ජන විශ්වාසයට අනුව පැවසෙයි. මේ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය හොවා තිබූ මංජුසාව හෙවත් දෙණ දැවීමෙන් පසු ශේෂ වූ කොටස්වලින් මෙම දඹරන් නිර්මාණය වූ බවට ද යම් විශ්වාසයක් පවතී. ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අන් සියල්ලටම පෙර කිව යුත්තක් ඇත. එනම් මෙම දඹරන් කුමන ක්‍රමයකින් හටගත් ඒවා වුවද මේවායේ වටිනාකම ඇත්තේ ආර්ථිකමය වශයෙන් නොවන බවය. එසේම කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර ග්‍රන්ථයෙහි මෙවන් රන් විශේෂයක් නිපදවා ගන්නා අයුරු විස්තර කෙරේ. එමගින් ද මේවා සාමාන්‍ය රත්‍රන් මෙන්
‍පොළොවින් ලබා ගන්නා ලෝහයක් නොවන බව තහවුරු කර ගත හැක.
ඒ කෙසේ හෝ දඹරන් පිළිම වශයෙන් ප්‍රසිද්ධියට පත් බුද්ධ ප්‍රතිමා සෑහෙන සංඛ්‍යාවක් අප රටේ දැකිය හැක. මේවායින් සමහරක් ජාතික සහ පුරාවිද්‍යා කෞතුකාගාරවල තිබේ. සෙසු බුද්ධ ප්‍රතිමා දැකිය හැක්කේ පැරණි විහාරස්ථානවලය.
නමුදු අප මෙම ලිපි මාලාවෙන් විමසා බලනුයේ එම දඹරන් පිළිම පිළිබඳව නොවේ. අප රටේ තිබූ සහ දැනටත් අප්‍රකටව ඇති හාස්කම් බලයක් ඇතැයි පාරම්පරිකව විශ්වාස කෙරෙන අසිරිමත් බුද්ධ ප්‍රතිමා පිළිබඳවය.
බුද්ධ ප්‍රතිමාව ලොව පුරා බෞද්ධයන්ගේ පූජනීය වස්තුවකි. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ බුද්ධ ප්‍රතිමා වන්දනාව දේවානම්පියතිස්ස යුගයේ සිටම ඇරඹි බවට අපගේ වංශකතා සාක්ෂි දරයි. එමෙන්ම ලොව ප්‍රථම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවෙන් බිහි වූ බවටද ප්‍රබල මතයක් තිබේ. ඒ අනුව වුව ‍පොදුවේ ශ්‍රී ලාංකීය අපට බුද්ධ ප්‍රතිමාව අසිරිමත් පූජනීය වස්තුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, අප මෙහි දී අසිරිමත් බව යනුවෙන් හැඳින්වෙනුයේ එම පූජනීයත්වය පමණක් නොවේ. යම් යම් විශේෂ බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් ඇතැයි ජන විශ්වාසයේ පැවැති හාස්කම් බලයකි. මෙවන් හාස්කම් පිළිම සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද ද බොහොමයකි. අප රටේ මෙතරම් බුද්ධ ප්‍රතිමා සංඛ්‍යාවක් තිබියදී සීමිත සංඛ්‍යාවකට පමණක් මෙලෙස සුවිශේෂ හාස්කම් බලයක් ලැබුණේ කෙසේද ? මේ සම්බන්ධයෙන් සෘජු අදහසක් පළ කිරීම අසීරුය. නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පවතී. පසුගිය කාලය පුරා මම ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදුණෙමි. මේ ලිපි පෙළ සැකසෙනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ප්‍රතිමා නිර්මාණයේ දී නියමිත වාස්තු විද්‍යාත්මක සිද්ධාන්ත අනුගමනය කිරීමෙන් එම ප්‍රතිමාව පරිපූර්ණ ලක්ෂණ සහිත එකක් වන බව පැවසෙයි. ශාරිපුත්ත සූත්‍රය, මංජු ශ්‍රීගේ චිත්‍ර කර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයේ එන සිද්ධාන්ත මුල්කොට නිර්මාණය කෙරෙන ඕනෑම ප්‍රතිමාවක් එසේ පරිපූර්ණ ලක්ෂණ පළ කරන බවත් ඒවා කෙරෙහි මිනිසුන් වශීකෘත වන බවත් පැවසෙයි. මෙම සිද්ධාන්ත මත පිහිටා ප්‍රතිමා නිර්මාණය කිරීම ව්‍යවහාරිකව හැඳින්වෙනුයේ ‘ගණ පිහිටුවීම’ යනුවෙනි. දැනට බොහෝ දුරට අභාවයට ගොස් ඇති මෙම ශාස්ත්‍රය පිළිබඳ යම් විස්තරයක් ආනන්ද කුමාරස්වාමි සූරීන් ලියූ ‘මාධ්‍ය කාලීන සිංහල කලා’ කෘතියෙහි දැක්වෙයි. එමෙන්ම ශාරිපුත්ත සූත්‍රය නමින් හැඳින්වෙන පුරාණ ප්‍රතිමා නිර්මාණය කිරීමේ කලාව සහිත පැරණි පුස්කොළ ‍පොත් කිහිපයක් තවමත් ජාතික කෞතුකාර පුස්තකාලයේ සුරක්ෂිතව පවතින බව අපට දැන ගන්නට ලැබි තිබේ. මෙම ගණ පිහිටුවීම අනුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට අතීතයේ මෙරට විසූ කලාකරුවන් සමත් වන්නට ඇත. නමුත් මෙම ශාස්ත්‍රය බුද්ධ ප්‍රතිමා නෙළීමට පමණක් සීමා නොවන අතර මෙම න්‍යායන් සහ සිද්ධාන්ත අනුගමනය කරමින් ඕනෑම ප්‍රතිමාවක් නිර්මාණය කළ හැකි බව පැවසෙයි.
නමුදු මිනිසුන්ගේ මෙන්ම දෙවියන්ගේ
ආකර්ෂණය යොමුවන අන්දමින් බුද්ධ ප්‍රතිමා නෙළීමේ රහසිගත කලාවක්ද දුරාතීතයේ සිට අප රටේ තිබූ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. එය දිව්‍යමය සම්භවයක් සහිත කලාවක් බව ඇඟවෙන සේ විශ්වකර්ම ශාස්ත්‍රය ලෙසින් හැඳින්වුණු මෙය ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධියත් සමග දඹදිවින් මෙරටට පැමිණි කුල දහ අටක ජනයාගෙන් එක් කුලයක් සතුව තිබූ රහසිගත ශාස්ත්‍රයකැයි සමහරෙක් කියති. මෙම හාස්කම් පිළිමවල ප්‍රධාන
ලක්ෂණයක් වනුයේ මේවායෙහි වර්ෂා උත්පාදන බලයක් තිබිම යැයිද කියනු ලැබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මතු දක්වමි.
ඒ කෙසේ හෝ අප රටේ පැවැති විශේෂ හාස්කම් බලයක් සහිත බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳව මුල්වරට ඓතිහාසික වශයෙන් වාර්තාවන්නේ දහතුන්වන සියවසේ දඹදෙණි රාජධානි සමයේදීය. ලංකාවේ ඇති මෙම අසිරිමත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳ පුවත ජාත්‍යන්තරව ද පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකාව අත්පත් කර හෝ මේ බුද්ධ ප්‍රතිමාව පැහැරගැනීමට විදේශීය නරපතියකු ඉදිරිපත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව අප රටේ තිබූ සහ තවමත් ඇති අසිරිමත් බුද්ධ ප්‍රතිමාවන් හි යටගියාව හුදු මනඃකල්පිතයක් නොවන බව ඉඳුරාම පැහැදිලි වෙයි.

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...