Irangeni1

පුතාගේ වියෝවෙන් පසු මුළුමනින්ම බුදු දහම වැළඳගත්තා – අයිරාංගනී සේරසිංහ

මොර සූරන වැස්ස. විදුලි කොටමින් අහස ගුගුරවමින් මහ වැසි ඒ ගමට ඇද හැ‍ලේ. ඉඩෝරය නිසා වැස්ස බලා සිටි මිනිසුන් උඩ බලමින්, සතුටින් වැස්සට තෙමේ. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉපිලෙයි. කුඩා සේන (සෝමපාල ධර්මප්‍රිය) මහ වැස්සේ තම මව (අයිරාංගනී සේරසිංහ) සොයා පසු පස නොබලාම දුවයි.
කතිරිනාහාමි (අයිරාංගනී) තම පුතු සොයා වැස්සේම දුවයි.
සේන… සේන… සේන…
අනික් අන්තයෙන් සේන දුවගෙන එයි.
අම්මා… අම්මා… මගේ අම්මා…
විදුලි කොටයි. තදින් වහී. ගොරවයි. විදුලි එළියට අම්මා පෙනෙයි. ඔහු අම්මාව වැළඳ ගනී.
ඇය පුතු වැළඳ ගෙන පුතු සනසයි.
සේන මගේ පුතා… දැන් මොකටද අඬන්නේ පුතේ… අඬන්න එපා.
කතිරිනාහාමි පුතු සනසයි. විදුලි කොටන එළියෙන් ඔවුන්ගේ සතුටු කඳුළු වැහි වතුර හා එක් වෙයි.

1956 තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘රේඛාව’ චිත්‍රපටයේ අවසාන දර්ශනයයි මේ. අයිරාංගනී සේරසිංහ නම්
විශිෂ්ට රංගවේදිනියගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයේ ආගමනය මෙසේ සිංහල සිනමා වංශ කතාවට එක්වූවාය.
මගේ චිත්‍රපට ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් මේ. ඉංග්‍රීසි නාට්‍යවල රඟපාලා අත්දැකීම් තිබුණට සිංහල චිත්‍රපටයක රඟපෑම මට විශේෂයි. අලව්ව හා නවතල්වත්ත අතර පිහිටි වෑවල නම් ගමේ රූපගත වූ මේ දර්ශනය සඳහා ලෙස්ටර් කෘත්‍රිම වැස්සක් යොදා ගත්තා. කුඩා සෝමපාල ධර්මප්‍රියත් මමත් මේ වැස්සෙන් තෙමුණා. අපේ ගිනි නිවන හමුදාවේ අඩි 60ක් උසට වතුර ඉසින ‍පොම්පයකින් තමයි මේ කෘත්‍රිම වැස්ස නිර්මාණය වුණේ. ලන්ඩන් රසල් නම් මේ විශේෂ වතුර ‍පොම්පයෙන් විඳින ලද දැඩි වතුර පහරට අපි මුහුණ දුන්නේ අසීරුවෙන්. වතුරෙ තෙමිලා මම අසනීප වුණා.

රේඛාවේ මම රඟපාන විට හොඳින් දෙබස් උච්චාරණය කිරීමට පුළුවන් වුණේ අපේ ගමේ ගැමියන් සමග සිංහලෙන් කතා කළ නිසා. චිත්‍රපටයේදී දෙබස් මතක තියාගන්න අමාරු වුණත්, ඩී.ආර්. නානායක්කාර හා ටයිටස් තොටවත්තගෙන් මට ලැබුණු උපදෙස් ප්‍රයෝජනවත් වුණා ඇය කීවාය. 1956 වසරේ හොඳම නිළිය ලෙස දීපශිඛා සම්මානය දිනාගත්තේ ‘රේඛාවේ’ කතිරිනාහාමිගේ චරිතයටය.
අයිරාංගනී මුලින්ම කෙටි වාර්තා චිත්‍රපටයකට එක්වන්නේ 1955 වසරේදීය. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ Be safe or be Sorry (පරෙස්සම්වන්න, නැත්නම් කනගාටුවන්න) නම් මාර්ග අනතුරු වළක්වා ගැනීම ගැන නිර්මාණය කළ චිත්‍රපටයකි එය.
මම පරණ ඔස්ටින් වර්ගයේ කාර් එකක් පදවාගෙන ලෙස්ටර්ගේ දෙහිවල මහ ගෙදරට මුහුණලා ඇති ගාලු පාරෙයි ගමන් ගත්තේ අයිරාංගනී කීවාය.
අයිරාංගනී මුල් වරට තම කෙටි චිත්‍රපටය සඳහා තෝරා ගත්තේ ඇය ඉංග්‍රීසි වේදිකාවේ ඇන්ටිගනි (Antigone) රඟපාන අයුරු දැකීමෙන් බවත්, තම සොහොයුරු ප්‍රවීණ චිත්‍ර ශිල්පී අයිවන් පීරිස් කලින්ම ඇය හැඳිනගෙන සිටි බවත් ආචාර්ය ලෙස්ටර් අප සමග පැවසුවේය. 1950දී පමණ අයිවන් පීරිස් ඇගේ ආ‍ලේඛ චිත්‍රයක් (Portrait) ඇඳ තිබුණි.

අයිරාංගනී මීදෙනිය පෙට්ට්‍රල් බෝතලයකින් වැඩිම දුරක් මෝටර් රථයක් ධාවනය කිරීමේ තරගයකින් මුල් තැන හිමිකරගත් ජයග්‍රාහිකාව වූවාය. ගාලු පාරේ පදවා ගෙන ඇය පැදවූ රෙනෝල්ඩ් රථය ජය කණුව වෙත ළඟා වෙද්දී මිතුරු මිතුරියන් අත්‍පොළසන් දී ඇත.
ඇයට කුඩා කාලයේ සිටම දඟකාර නිසා චණ්ඩි නමින් නමක් පටබැඳී තිබුණාය. අදත් ඇගේ ඥාතීන් හා සමීප මිතුරු මිතුරියන් ඇයට කතා කරන්නේ ‘චණ්ඩි’ නමිනි.

1927 ජුනි 09 වෙනිදා රුවන්වැල්‍ලේ මූදුගොමුවේ මීදෙනිය වළව්වේ උපත ලැබූ අයිරාංගනී රොක්ෂානා මීදෙනිය ගේ පියාගේ නම ජෝශප් හර්කියුලිස් මීදෙනියයි. ඔහු මීදෙනිය රටේ මහත්තයා ලෙස ප්‍රකටව සිටියේය. සීයා වූයේ 1931 ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනයට නිතරඟයෙන් පත්වූ ජේ.එච්. මීදෙනිය අදිකාරම්ය. අයිරාංගනීගේ මව වූයේ රත්නපුර නන්ද එල්ලාවලගේ පියාගේ සොහායුරියක වූ වයලට් එල්ලාවලය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ හා ‍ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන ඇගේ මාමාවරුන්ය.
මට මතක් වෙනවා තාත්තා එක්ක පුංචි කා‍ලේ බයිසිකලයක බාර් එකේ ඉඳගෙන ගිය හැටි. මගේ ළමා කාලය බොහොම සුන්දරයි. තාත්තා අපිට (අක්කා – ඉන්ද්‍රානි, නංගී – කාමනී හා මල්ලි – මහින්ද) ගෙදර දී කතාකරන්න කිව්වේ සිංහලෙන්. මට සිංහල කතා කරන්න අමාරු නිසා ගුරුවරියක් ගෙදරට ගෙනල්ල ඉගැන්නුව. තාත්තා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. අපේ ගෙදර හොඳ පුස්තකාලයක් තිබුණා. තාත්තා අපට බටහිර සම්භාව්‍ය සාහිත්‍ය කෘති ඇසුරුකිරීම සඳහා පරිසරයක් හදල තිබුණා.

මම පුංචි කා‍ලේ ඉඳලම ගහ කොළවලට ආදරෙයි. ගේ ගාව තියෙන ගුරුගොඩ ඔයට අපි නාන්න යනවා. නිල් කැටේ වගේ වතුරට මම තාම ආදරෙයි. අපිට අලි තුන් දෙනෙක් හිටියා. අපි සත්තුන්ට ආදරෙයි. අපේ ‘වාසනා’ කියන අලිය මැරුණ දවසේ මම දවසක්ම ඇඬුවලු. අපි ගමේ මිනිස්සුන්ට ආදරෙයි. අපේ ගම හරිම නිස්කාන්සුයි. හැන්දෑවට කවුදෝ බණ ‍පොතක් හඬ නගා කියවනවා ඇහෙනවා. ඒ හඬ එන්නේ පන්සල පැත්තෙන්. මම ගෙදර මිදුලට වෙලා ඒක අහගෙන ඉන්නවා.

අපි උපතින්ම ක්‍රිස්තියානි. ඒ වුණාට ගමේ පන්ස‍ලේ නායක හාමුදුරුවෝ අපේ ගෙදරට වඩිනවා. උන්වහන්සේ අපේ තාත්තගේ මිත්‍රයෙක්. හැම මාසෙකම සලාක දානයක් අපි පන්සලට පූජා කරනවා. පුංචි කාලෙ ඉඳලම උඩරට නැටුම්වලට මම කැමතියි. සතියකට සැරයක් බයිස්කෝප් කාරයෙක් අපේ ගමට එනවා. ඔහුගේ බයිසිකලයේ අපූරු පෙට්ටියක් හයිකරල තියෙනවා. එයා වටේ පුංචි
ළමයි රොද බැඳගන්නවා. එයාගේ අපූරු පෙට්ටියෙන් අපිට අපූරු පින්තූර පෙන්වනවා. මම හරි කැමතියි ඒ පෙට්ටියේ තියෙන පුංචි සිදුරෙන් එක ඇහැක් වහගෙන පින්තූර ස්ලයිඩ්ස් බලන්න.අපි ගෙදර ඉඳගන්නේ බිම කොළොම්බු කොට්ට උඩ. ලොකු කළුවර පුටුවල ඉඳගන්නවට වඩා බිම කොට්ටෙක ඉඳගෙන ආත්තම්මාගෙන් කතන්දර, ජනකතා, ජනකවි අහන්න අපි කැමතියි.
මම මුලින්ම ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කොන්වන්ට් එකේ. ඊට පස්සෙ බිෂොප් කො‍ලේජ් එකට ගියා. මම පුංචි කා‍ලේ ඉඳලම කලාවට ආසයි. ඒ කා‍ලේ පාසල් නිවාඩුවට ගෙදර ඉන්නකොට කිරි ගණිත ගුරුන්නාන්සේ එයාගේ පිරිස එක්ක අපේ ගෙදර මිදු‍ලේ එළිවෙනකන් නැටුම් පෙන්වනවා. මම නිදිමරාගෙන ඒ නැටුම් බලන්න ඉන්නවා. නින්ද ගියාම තාත්තා ඇඳට උස්සන් යනවා මට හීනෙන් වගේ මතකයි.

අයිරාංගනී විශ්වවිද්‍යාලයට තේරුණත් එහි යාමට තාත්තාගෙන් අවසර ගත්තේ යුද්ධයක් කොට ජය ලබාගත් අයුරිනි. 1947 වසරේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඇයගේ සමකාලීනයන් වූයේ නිශ්ශංක විජේරත්න, රොනී ද මැල්, ස්ටැන්ලි තිලකරත්න, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ඩී.බි.අයි.එස්.පී. සිරිවර්ධන ආදීන්ය. හිටපු තානාපතිවරයකු වූ තිස්ස විජේරත්න සමග ඇය විවාහවීමටද සූදානම්ව සිටියාය. නමුත් ඇගේ ප්‍රථම සැමියා වූයේ මහාචාර්ය එස්.බි. දිසානායකය. ඔහුද ඇගේ සමකාලීන සරසවි සිසුවෙකි.
1948දී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික් ගේ මෙහෙයවීමෙන් ඉංග්‍රීසි නාට්‍ය සංගමයට බැඳී ආචාර්ය කෝබට් අමරසිංහ
නිෂ්පාදනය කළ The Second Mrs Tanqueray නාට්‍ය හා පුරා කියා චැන්කරේ මහත්මියගේ චරිතය රඟපෑ අතර The Lower Depaths, The Bear, Macbeth, The Caucasian Chalk Circle, The House of Bernada Alba, Kiss me Kate, Antigone ආදී ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල විවිධ චරිත රඟපෑවාය. මහාචාර්ය ලුඩොවයික්ගේ මගපෙන්වීම යටතේ ඇය ලන්ඩනයේ R.A.D.A. (Royal Acadamy of Dramatic Art) ආයතනයට සහ The Bristol Old Vic Theatre School ආයතනයට බැඳී නාට්‍ය කලාව හැදෑරුවාය
1948 ප්‍රථම නිදහස් දිනය නිමිත්තෙන් ඉදිරිපත් කරන ලද Pageant of Lanka සංදර්ශනයට චිත්‍රසේන නිර්මාණය කළ Rama, Ravana and Sita මුද්‍රා නාට්‍යයේ අයිරාංගනී සීතා ලෙසද චිත්‍රසේන රාවණා ලෙසද වජිරා මුවෙකු ලෙසද රඟපෑ අතර අයිරාංගනීගේ සොයුරිය කමනී ද චරිතයක් රඟපෑවාය.

ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අයිරාංගනී විප්ලවවාදී චරිතයක් වූවාය. ඇය මුලින්ම ඇලුම් කළේ කොමියුනිස්ට් පක්ෂයටය. පීටර් කේනමන් නිසා එම පක්ෂයට බැඳුණු ඇය ඉන්පසු සමසමාජ ක්‍රියාකාරිකාවක් වූවාය. බර්නාඩ් සොයිසා හා ඩොරික් ද සූසා තම සමීප මිතුරන්වීම නිසා ඇය ඔවුන්ට හා පක්ෂයට සහාය දැක්වීම මැතිවරණ රැස්වීම් කිහිපයක කතාද පවත්වා ඇත.
කොල්වින් මට කිහිප අවස්ථාවකම බල කළේ ලංකා සම සමාජ පක්ෂයෙන් ආසනයක් තරග කරන්න කියලා. මට ඒක මගේ නිදහසට අවහිරයක් හැටියට හිතල ඒ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළා. කොල්වින්, ඩොරික් ගතකරන දේශපාලන ජීවිතයේ ස්වභාවය දැකල මම දේශපාලනය ගැන කලකිරුණා. කන්න ගියත් මූණ හෝදන්න ගියත් මිනිස්සු ඔවුන් ළඟට ප්‍රශ්න අරන් එනවා. ඒ කුමන මොහොතක වුණත් මේ දෙදෙනාම තරහ නොගෙන මහජන ප්‍රශ්න අහන්න මුළු ජීවිතයම කැප කරලා. ඒත් මේකද ජීවිතය. මම කැමති හුදෙකලාවට. නිස්කාංසු ජීවිතයකට. ‍පොතක් පතක් කියවලා ගහකොළ දිහ බලල තනිවෙන්න මම කැමතියි. එහෙම කෙනෙකුට මොන දේශපාලනයද? ඇය කියන්නීය.
අයිරාංගනීගේ දෙවන විවාහය සිදුවූයේ ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ වින්ස්ටන් සේරසිංහ සමගය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු රගර් ක්‍රීඩකයකි. ඇතැම් හැදෑවක CR&FC ක්‍රීඩා සමාජයට ගොස් මීවිතක් තොළ හා රගර් මැච් බැලීම ඔහුගේ ප්‍රධාන විනෝදාංශයක් බව අයිරාංගනී පවසන්නීය. ඉංග්‍රීසි වේදිකාවේත් සිනමාවේත් පසු කලෙක ඔවුහු එකට රඟපෑහ. ඇයට වඩා වසර 17කින් පමණ වැඩිමහල් 1909 දී ඉපදුණු වින්ස්ටන් සේරසිංහ 1999 මිය ගියේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සන්දේශය” චිත්‍රපටයේ යසෝහාමි නම් බිත්තර වෙළෙන්දියගේ චරිතය රඟපෑම ඇගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් බව අයිරාංගනී සේරසිංහ පවසයි. 1960 තිරගත වුවද 1959 වසරේ මේ චිත්‍රපටයේ රඟපෑ එක් දර්ශනයක් ගැන ඇය අදත් සිහිපත් කරන්නේ බිය මුසු කුතුහලයක් මුවෙහි රඳවමිනි.
“සන්දේශය” චිත්‍රපට ගත කරද්දී මට දියෙන් ගොඩට ඒමට නොහැකිව සිටි අවස්ථාව තිබුණා. එය මට දැන් පෙනෙන්නේ හාස්‍යජනක සිදුවීමක් ලෙසයි. මරණ දඬුවම නියම වූ මාව දියේ ගිල්ලවා මැරීමට ගඟක් ළඟට ගෙනියනවා. වධකයා වන එන්.ආර්.ඩයස් ඒ සඳහා සූදානමින් සිටින්නේ. පෘතුගීසි කපිතාන් ලෙස රඟපෑ ආතර් වැන්ලැන්ගන්බර්ග්, ලයිතාන් ලෙස රඟපෑ රෙග් වැන්ක්‍යුලන්බර්ග් දිසාව වූ ඩේවිඩ් ධර්මකීර්තියන් පිරිසක් ඒ අසල සිටිනවා. මේ දර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් කළේ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියයි. මම මේ දර්ශනය රූපගත කරන අවස්ථාවට අම්මවත් එක්ක ගියා. මගේ අත්දෙක කඹයකින් බැඳලා, අනික් කෙළවරේ කළු ගලක් ගැට ගහලා. මගේ ජීවිතය බේර ගන්න ජීවිත ආරක්ෂකයෝ පස් දෙනෙක් ගඟ ඉවුරේ සීරුවෙන් හිටියා. එක පාරටම වධකයා මාව ගඟට තල්ලු කළා. මම මර ළතෝනි දෙමින් දියට වැටුණා. මට නැවත ගොඩට ඒමට තරම් ශක්තිය නොතිබුණේ, මගේ අතේ බැඳ තිබූ කඹය වතුරට පෙගී තදවී තිබූ නිසා මගේ හුස්ම හිරවෙලා. මම ගොඩට ආවාම ලෙස්ටර් කිව්වා “කෝ……ඒ සීන් එකේ ඔයා ගඟට පැනල ගිලුණාම දිය බුබුළු (Bubbles) ආවේ නෑ” නැවත ගමු කියලා. ගොඩට ආව විතරයි අම්මා හොඳටම බය වෙලා.

“මොන Bubbles ද යමු ගෙදර. උඹ මැරෙන්න හදනවද? ඉක්මනට ඇඳුම් මාරු කර ගනින්. උඹට නිව්මෝනියාව හැදේවි”.
“අම්මා කලබලවෙන්න එපා. කරන්න ආපු වැඩේ ඉවර කරන්න එපායැ. අම්මා බය වෙන්න එපා”. මම කිව්වා.
“උඹ හිතුවක්කාරිනේ. ඕනෑ එකක් කර ගනින්” අම්මා අහක බලා ගත්තා.
දවෛනි පාරත් මම ගඟට පැන්න. ඒ පාර කලින් පාරට වඩා කඹය යන්තම් ගලවා ගත්තා. ඒත් මම අමාරුවෙන් ගොඩට ආවා.
“ඕකේ අයිරාංගනී, මේ පාර සීන් එකේ Bubbles ආවා”. ලෙස්ටර් සිනාමුසුව කීවා.
“Bubbles තමයි…. යමු ඉක්මනට රෙස්ට්හවුස් එකට. කෝපි එකක් බොන්න…..” අම්මා මාවත් ඇද ගෙන ගියා. අයිරාංගනී මහා වික්‍රමයක් කළාක් මෙන් කීවාය.

අයිරාංගනී චිත්‍රපට ගණනාවකම විවිධ චරිත රඟපෑවාය. ඒ අතර දෙලොවක් අතර, රන්සළු, බක් මහ දීගේ, සාගරයක් මැද, දඩයම, දෙවැනි ගමන, පවන රළු විය, ලොකු දුව, කිණිහිරියා මල, සුදු සෙවණැලි, ඔබ දුටුදා, ආදර කතාවක් ඇතුළු චිත්‍රපට වෙයි. හොඳම නිළිය, සහාය නිළියට හිමි සම්මාන රැසක් ඇය හිමිකර ගත්තාය.
“මට තවත් අමතක නොවන අවස්ථාවක් තියෙනවා. දවසක් හවස ගාමිණී ෆොන්සේකා මට ටෙලිෆෝනයෙන් කතා කරල “ඔයාට ගැළපෙන පුංචි චරිතයක් තියෙනවා” කිව්වා. ගාමිණීගේ වචනයට ඒ චරිතය භාර ගත්තා. චිත්‍රපටයේ නම “සාගරයක් මැද”. මොලදණ්ඩ ඇමතිවරයාගේ මවගේ චරිතයයි ඒ. වලව් මානයෙන් ඉදිමුණු තම පුතා හමුවීමට එන ඡන්දදායකයන්ට ගෙදර පුටුවක වාඩිවීමට නොදෙන අහංකාර මහලු කාන්තාවක් ලෙසයි මම රඟපෑවේ. මේ එහි එන දෙබස් ඛණ්ඩයක්.
“බහිනවා…..හුම්…එළියට. ඉස්සර මුන්ව ගේට්ටුවෙන් ඇතුළට ගත්තේ නෑ. මට දහදිය ඉවසන්න බැහැ. මාටින්…..කෝ මේ පිස්සා…… මුන්ව එළවන්න. හුම්………Out…..Out……..get out…..”
මේ චරිතය රඟපෑවට කවුදෝ කිව්වා “ඔයා දන්නවද ඔයා ඔය රඟපෑවේ ෆිලික්ස් ඩයස් ගේ නැන්දම්මාගේ චරිතය” කියලා. මම කිසි දිනක ෆීලික්ස් ගේ නැන්දම්මා දැකලා නැහැ. එහෙම නම් මම ඒ චරිතය රඟපාන්න භාර ගන්නෙත් නෑ. “සාගරයක් මැද” තිර ගත වුණාට පස්සේ මට ෆීලික්ස් හා ඔහුගේ බිරිඳ ලක්ෂමී අපේ පවු‍ලේ උත්සවයකදී මුණ ගැසුණා. මේ දෙදෙනාම මා සමඟ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ එකට. අපි හොඳ යාළුවෝ. මා දැක්කම ෆීලික්ස් ළඟට ඇවිත් සුපුරුදු විදිහට කතා කළා. ලක්ෂ්මි අමනාපයෙන් අහක බලා ගත්තා”.

අයිරාංගනීගේ ජීවිතයේ දුක්මුසුම සිදුවීම වූයේ තම වැඩිමහල් පුතා රවී සේරසිංහ හදිසියේ මෝටර් රථ අනතුරකින් මිය යාමය.
“මගේ පුතාට මෙහෙම කරදරයක් වුණේ කොහොමද? අයිරාංගනී තවමත් දුක්වන්නීය.
“රවී පුතා ගහකොළවලට, සත්තුන්ට ආදරය කළා, පරිසරයට ආදරය කළා, බළල් පැටියෙක් බලුපැටියෙක් වාහනයකට අසුවුණොත් පුතා බය වෙනවා. පණ තිබුණොත් ගෙදර ගෙනල්ලා ප්‍රතිකාර කරනවා. නයි, ‍පොළොන්ගු, මාපිල්ලු වගේ විෂඝෝර සර්පයන් පවා ඔහු ඇති දැඩි කළා. මේ සත්තුත් අපේ ගේ පුරාම නිදැල්‍ලේ ඇවිද්දා. සමහර වෙලාවට සර්පයෙක් මා ළඟට ගෙන්නලා ඌගේ කට ඇරලා “අම්මා මෙයාට කෑම කවන්න. මම ඌගේ කට ඇරලා තියෙන්නේ බයවෙන්න එපා” කියනවා. මුලදී මම භය වුණාට පස්සේ බය ඇරුණා. රවී උන්ට කෑම බිම දුන්නා. එයාගෙ හිත මිතුරෝ සර්පයෝ. නැතිවෙනකොට එයාගේ වයස අවුරුදු 31යි. විවාහ වෙන්න දින නියම කරගෙන හිටියේ”.
රවී මිය ගිය දිනයේම අයිරාංගනී මිත්තණිය ලෙස රඟ පෑ “දූ දරුවෝ” ටෙලි නාට්‍යයේ ඇගේ මිනිබිරියගේ (නිල්මිණි තෙන්කෝන්) සැමියා යතුරු පැදි අනතුරකින් මිය යාමේ පුවත ඇතුළත් කථාංගය විකාශනය වීමට තිබුණේ. රවීගේ හදිසි මරණය සිදුවුණේත් ඒ සතියේ. මිත්තනිය ලෙස අයිරාංගණි එදා දුක් වූවා මෙන් සත්‍ය ජීවිතයේ ඇයට තම පුතු අහිමි වීම ෙදෙවයේ සරදමක්ද?
රවීගේ අභාවයෙන් පසු ඇය බුදු දහමට වඩ වඩාත් සමීප වූවාය. අනිත්‍යතාව, හේතුඵල ධර්ම, පුනරුප්පත්තිය ගැන ඉංග්‍රීසියෙන් ලියූ ‍පොත් කියවමින් හුදෙකලා වූවාය. උපතින් Church of England ආගම ඇදහූ ඇය මේ සිද්ධිය නිසා පූර්ණ වශයෙන්ම බුද්ධාගම වැළඳ ගත්තාය.

පුතුගේ අභාවයෙන් පසු ඇය එතෙක් ගහකොළ රැක ගැනීම සඳහා නිරතුරු කැප වූ “රුක් රකින්නෝ” සංවිධානය ඇය තම සොහොයුරිය කමණිට භාර දුන්නාය. කමණි විවාහ වී සිටින්නේ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සමගය. පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ නිසල පෙදෙසක නිවසක ඇය තම බාල පුත් රංජිත්ගේ පුතුන් දෙදෙනා සුරතල් කරමින් කාලය ගත කරන මිත්තනියකි.
අයිරාංගනීගේ ජීවන තොරතුරු ඇතුළත් “Irangani”නම් කෘතිය කුමාර් ද සිල්වා විසින් ලියා ඇත. හුදෙකලාවට මෙන්ම ඇය රහස් පරීක්ෂක කතා කියවීමටද ඇය ඇලුම් කරන්නීය. මිනිස් සිතේ හැටි ගැන මේ කතා කියවීමෙන් තමා අවබෝධයක් ලබන බව ඇය කීවාය. අප යනවිටත් ඇය කියවමින් සිටියේ Michael Dibdin ලියූ ZEN OMNIBUS RATKING CABEI VENDETTA නම් රහස් පරීක්ෂක ‍පොතය. තම මවගේ උරුමයෙන් ඇයට ලැබුණු බෙලිහුල් ඔය ඉඩමේ තමා විසින් සෑදූ පුංචි නිවසට වී හුදකලාවේ පසුවීමට ඇය බලා‍පොරොත්තුවෙන් සිටින්නීය.

ඒ.ඩී. රන්ජිත් කුමාර
lakbima

Check Also

wanduraba-oic-keerthisinghe

මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.

මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ? හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ...

paboda-sandeepani

පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ...