e1

බුදුන්ගේ විනෝදය – සිරි සමන්තභද්‍ර හිමිගේ දෙසුමක්

තරුණ පරපුර ලස්සනට අඳින්න. විලාසිතා කරන්න කැමැතියි. බුදු දහමෙන් මේ දේවල් ප්‍රතික්‍ෂේප වෙනවද?
ලෝකයේ ලස්සනම රත්තරන් ආභරණය පැලඳුවේ කවුද…? විශාඛාව. කවුරුවත් එපා කිව්වද…? නෑ. තමන්ට කැමැති නම් ඕන විලාසිතාවක් කළාට ප්‍රශ්නයක් නෑ. අද බෞද්ධ සම්ප්‍රදාය නිර්ධන කරලා. ඒක බුද්ධාගමේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි හදාගත්ත පහත් අදහස්වල ප්‍රශ්නයක්. ඕනෑම කෙනකුට ෆැෂන් කරන්න පුළුවන්. ඒකෙ කිසි ගැටලුවක් නෑ.

බුද්ධ ශාසනයට භික්‍ෂුණී ශාසනයත් එකතු වුණාට පස්සේ අඳින පලඳින ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුවුණේ නැද්ද…?
විනය පිටකයේ තියෙනවා ‘භික්ඛුණී චන්ද’ කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී ගැහැනු ළමයිගේ යට ඇඳුම උන්වහන්සේ අනුදැන වැදෑරුවා. ඒ කියන්නේ ශාක්‍ය රාජ්‍ය කුමාරිකාවෝ අඳින්නේ ඒ විදියට. ඒ ඇඳුම සංවර්ධනය වෙලා තමයි අද භාවිත වන ඇඳුම දක්වා ආවේ. බුදුහාමුදුරුවෝ කියන්නේ හැංගිච්ච චරිතයක් නෙවෙයි. ප්‍රශ්න හමුවේ මැදහත්කරුවකු ලෙස පිළිතුරු දුන්නා. බුදුහාමුදුරුවෝ කියන්නේ හරි සමාජශීලී කෙනෙක්. හැම මානුෂීය ප්‍රශ්නයකදීම මානුෂීයව බලපු කෙනෙක්. ත්‍රිපිටකයේ ඉන්න බුදුහාමුදුරුවෝ හරි සුන්දරයි. හැමතිස්සෙම මිනිස්සු එක්ක හිටියේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ රාජකීය පරම්පරාවේ උපත ලබපු කෙනෙක් නිසා ලස්සනට අඳින්නත් ඇති නේද…?
අනිවාර්යයෙන්ම. ශේඛියා ශික්‍ෂා පද කියලා කොටසක් තියෙනවා. ඒකේ ශික්‍ෂා පද 75ක් තියෙනවා. කන බොන විදිය තමයි පෙන්වා දීලා තියෙන්නේ. ඒ ආකාරයටම තමයි අද අපි ආහාර වළඳන්නෙත්. ඇත්තටම භික්‍ෂුව කියන්නේ රජ කෙනෙක්. බුදුහාමුදුරුවන්ට කියන්නේ ‘ධර්ම රාජ’ කියලා. බුද්ධ ශාසනයේ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යුහයක් තියෙනවා.

ඔබවහන්සේ දරා සිටින සිවුරේ පැහැය තීරණය වුණේ කොහොමද…?
මුල් බුදු සමයේ තියෙන්නේ කහ පැහැය කියලා. ඒක පොතපතක තිබිලා හොයාගත්ත දෙයක් නෙවෙයි. පොතපතේ මේ සම්බන්ධයෙන් ඍජු වාර්තාවක් නෑ. ඒත් මට අවබෝධ වුණු දෙයක් තමයි යම් කෙනෙක් ඔය නිවන දකින්න ඕනෑ නම්, රන් පැහැයට පත්විය යුතුයි. golden yellow පැහැය ඇඳිය යුතුයි. ගෞතම බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයට යද්දී පුක්කුස රෙදි දෙකක් දෙනවනේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා ඒ රෙදි දෙක මංගල ඇඳුමක් කියලා. ඒ කිව්වේ උන්වහන්සේ පිරිනිවනට යද්දී ඇඳගෙන හිටියේ රන් කහ පැහැය. බුදුහාමුදුරුවෝ පෙරෙව්වා කියන්නේ බොහෝ විට කසී සළු. බුද්ධවංශ පාලියේ තියෙනවා කෝනාගම බුදුහාමුදුරුවන්ට චීනෙන් ගෙනාපු පට සළුත්, රන් සෙරෙප්පු දෙකකුත් තිබුණා කියලා.

අලුතින් ශාසනයට ඇතුළු වන සාමණේර නමකට චීවර පරම්පරාව කියලා උරුම කරන්නේ ඒ බුද්ධ චීවරයද?
චීවර පරම්පරාව කියලා සාම්ප්‍රදායික අර්ථකථනයෙන් කියැවෙන්නේ ශිෂ්‍යයෙක් පැවිදි කරනකොට ගුරුවරයා කහපාට පටියක් බෙල්ලේ බඳින එකට. ඒක තමයි අපි අහලා තියෙන චීවර පරම්පරාව කියන චාරිත්‍රය. ඒත් මම චීවර පරම්පරාව කියන්නේ ගුරුවරයා නිර්වාණය ගැන දන්න කාරණාවලින් ශිෂ්‍යාව පෝෂණය කරවීම. දැන් ඔබම මොහොතකට හිතලා බලන්න මම කියන චීවර පරම්පරාවද වඩාත් ප්‍රබල ඔබ දන්න චීවර පරම්පරාවද කියලා.

ගුරුවරයෙක් කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය spiritual life එක ලබාදෙන්නෙක්. ඒ කියන්නේ පැවිදි ජීවිතයේ තියෙන සම්ප්‍රදායන් නෙවෙයි. සිවුර පොරවන්න ඕනෑ කොහොමද කියන විදිය නෙවෙයි. පැවිදි ජීවිතය කියන්නේ හිත නිවන ක්‍රමය. කාමාශාවන් නැති කරන විදිය. සියලු වෛර ක්‍රොධ නැති කරලා හිත සුවපත් කරන විදිය. අන්න ඒක කියලා දෙන එක තමයි චීවර පරම්පරාව කියන්නේ.

හාමුදුරුවනේ බුදු දහම තුළ විනෝදය ප්‍රතික්‍ෂේප වෙනවද…?
නෑ… නෑ… එහෙම එකක් නෑ. දීඝ නිකායේ සූත්‍රයක් තියෙනවා ‘සක්ක පඥ’ සූත්‍රය කියලා. පංචසික දිව්‍ය පුත්‍රයා වීණාව අරගෙන තම පෙම්වතිය ගැන බුදුහාමුදුරුවෝ ඉස්සරහ කවියක් කියනවා. ඒක හරිම ශෘංගාරාත්මක කවියක්. ‘ඇයගේ දෙතන මෙලෙසය… ඇයගේ කලව මෙලෙසය… ඇයගේ දෙනෙත මෙලෙසය…’ මේ විදියට වර්ණනා කරද්දී ගෞතම බුදුහාමුදුරුවෝ මොකද කළේ…?

බුදුහාමුදුරුවෝ මේ සේරම අහගෙන ඉඳලා කියනවා ‘ගායනය වාදනයට හරියටම ගැළපුණා, වාදනය ගායනයට හරියටම ගැළපුණා…’ බලන්න කොයිතරම් සුන්දරද කියලා.

මං අහන්නේ ඒ සුන්දර භික්‍ෂුව දැන් කෝ….? ඒ සුන්දර භික්‍ෂුව ආදාහනය කරලා. අපි නැවැත එතැනට යා යුතුයි. ශාක්‍ය වංශයේ රාජකීය භික්‍ෂු වංශය සොයා අප යා යුතුයි. ඒකට දැන් කාලය ඇවිල්ලා.

බුද්ධ චීවරය දරන්න සුදුසු මොනවගේ පුද්ගලයෙක්ද…?
ජීවිතයේ සියල්ල විඳල ඉවර වුණු කෙනෙක් පමණයි සිවුරක් පොරවන්න ඕන. සියල්ල සම්බන්ධයෙන් කලකිරිලා; ජීවිතයේ ඇති අඩුව වහගන්න ලෞකික ලෝකයේ ඇති සියල්ල අත්විඳලා එපා වුණු කෙනෙක් තමයි සිවුරක් පොරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වේ ‘ආස්වාදය-ආදීනව-නිස්සරණය කියන තුන දැනගත්තෝ පමණක් සිවුරු පොරවත්වා’ කියලයි. ආස්වාදය නම් විඳීමයි. ආදීනව නම් විඳින්න ගියාම ඇතිවන බාධක පිළිබඳ තේරුම් ගැනීමයි. නිස්සරණය නම් අතහැර දැමීමයි.

සැබෑවටම සිවුරක අයිතිවාසිකම ගන්න ඕන නිස්සරණයට පත්වන්න කැමැත්තෙන්. නිස්සරණයට පත්වෙන්න නම් ආස්වාදය විඳලා තියෙන්න ඕන. පොඩ්ඩක් හිතන්න. තේ කෝප්පයක රස පිළිබඳ තේ කෝප්පයක් බීලා නැති කෙනකුට කිව්වාට වැඩක් තියෙනවාද…? ඒ වගේම තමයි මේ කාම ලෝකයෙන් ගැලවෙන හැටි කියන්නත් ඕන කාමය විඳපු කෙනෙක්ට විතරයි.

හින්දු දහමේ තියෙනවා අර්ථ, ධම්ම, කාම, මෝක්‍ෂ කියලා 4ක්. අර්ථ කියන්නේ ආර්ථික ශක්තිය. ධර්ම කියන්නේ ධාර්මිකව ජීවත්වීම. කාම කියන්නේ විඳීම. අන්තිමට තමයි මෝක්‍ෂ හෙවත් ගැලවීම. බුද්ධ වචනය මේ කරුණු 4 කරුණු 3ට සම්බන්ධ කරනවා.

අද සිවුරු දරා සිටින භික්‍ෂුන්ට ඔය අවබෝධය තියෙනවද…?
සුත්ත නිපාතයේ සූත්‍රයක් තියෙනවා චුන්දකර්මාර සූත්‍රය කියලා. චුන්දකර්මාරට බුදුහාමුදුරුවෝ කියනවා ‘තුන්දෙනෙක් ඇත ශ්‍රමණයෝ. පස්වැන්නෙක් නැත. පළමුවැනි ශ්‍රමණයා මග්ග ජිනයි. මග්ග ජින යනු නිර්වාණ මාර්ගය සොයාගන්නාය. දෙවැනි ශ්‍රමණයා මග්ග දේශී ය. මග්ග දේශී යනු ඒ සොයාගත් නිර්වාණ මාර්ගය දේශනා කරන්නාය. තුන්වැනි ශ්‍රමණයා මග්ග ජීවී ය. මග්ග ජීවී යනු ඒ නිර්වාණ මාර්ගය තුළ ගමන් කරන්නාය. සිවුවැනි ශ්‍රමණයා මග්ග දූෂක යි. ඒ මාර්ගය දූෂණය කරන්නාය. මහණෙනි, මාර්ගය දූෂණය කරන්නා මෙලෙස හඳුනාගන්න. ඔහු පිළිරූ වෙස් ගෙන ඇවිදිති. බුද්ධාදී ආර්යයන් පෙරවූ සිවුරු දරති. මෙලෙස පිළිරූ වෙස් ගෙන ඇවිද්දාට ඔවුන් මාර්ගය නොදනිති. ඒ අයට මිනිස්සු පෙර පුරුද්දට බුද්ධාදී ආර්යයන් යැයි සිතා සංග්‍රහ කරති. උපස්ථාන කරති. ගෞරව කරති. නමුත් හේ පිළිරූ වෙස් ගෙන ඇවිදින්නෙක් පමණි.’

බුද්ධාගම කියන්නේ හරි අමුතුම මාර්ගයක්. ඒක දේශපාලනය කරන්නවත් ආණ්ඩුවට සුපර්මාකට් යන්නවත් පෙන්නපු මාර්ගයක් නෙවෙයි. නිවන් දකින මාර්ගයක්.

සංජක ප්‍රසාද් ‍දොලේවත්ත (මව්බිම පුවත්පත​)

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...