Budu

බුදුරදුන්ගේ ගොවිතැන​

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දඹදිව මගධ දේශයෙහි ඒකනාලා නම් බමුණුගම දක්‍ෂිණගිරි නම් විහාරයෙහි වැඩ වාසය කරන කාලයේ එම ගමේ එක් ධනවත් බ්‍රාහ්මණයෙක් වාසය කළේ ය.

හෙතෙම තම කෙත් යායේ සී සාන වපුරන මංගල උත්සවයක් පැවැත්වීය. එදා මුළු ගම්මානයටම මහත් සැණකෙළියක් බඳු දිනයක් විය. පන්සියයක් පමණ නඟුල් යොදවා සී සානු ලබන දිනයෙහි ගම්වාසීහු මහත් සතුටෙන් නොයෙක් කටයුතුවල යෙදුණාහ. බ්‍රාහ්මණ කුලීනයන් වාසය කළ මේ ගම එදා දඹදිව ප්‍රසිද්ධ ය.

උදය කාලයේ භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය අතින් ගෙන එම කෙත් යාය දෙසට වැඩිසේක. එම අවස්ථාවේ සියලු දෙනා ආහාර අනුභවයට සූදානම් වෙමින් සිටියහ. එතැනට වැඩි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පසෙකට වී බලාසිටි සේක.පිඬු පිණිස වැඩි උන්වහන්සේ දුටු බ්‍රාහ්මණයා එතැනට පැමිණ මෙසේ කීවේ ය.

“ස්වාමීනී මම සාන්නෙමි. වපුරන්නෙමි. එසේ කොට ඒවා සකස් කර අනුභවයට ගත්නෙමි. ඔබ වහන්සේ ද සීසා වපුරා ඒවා පිළියෙළ කොට ගෙන අනුභව කරන්නැයි කීවේ ය.”

“ඔව් බ්‍රාහ්මණය, මම ද වපුරන්නෙමි. සී සාන්නෙමි. සී සා වපුරා ඒවා සකස් කොට අනුභව කරන්නෙමි යි වදාළ සේක.”

භාග්‍යවතුන් වහන්ස! අපි නම් ඔබ වහන්සේගේ වියදණ්ඩක් හෝ නඟුලක් හෝ හී වැළක් හෝ හරකුන් හෝ නොදුටුවෙමු. ඔබ වහන්සේගේ ඒ කෘෂි උපකරණ අපි නොදුටුවෙමු. ඒවා ගැන දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු..

සධා_ බීජං තපෝ වුට්ඨී
පඤ්ඤා මේ යුගනංගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මේ පාල පාචනං

“බ්‍රාහ්මණය, මගේ ගොවිතැනේ බිජුවට ශ්‍රද්ධාවයි.
නුවණ, නගුල හා විය ගස ය.
නඟුලිස, ලැජ්ජාව ය.
හිත, යොත ය.
හී වැළ හා කෙවිට, සතිය
තපස, වර්ෂා ජලය යි”
“මම කය හා වචනය
රැකගෙන සිටිමි.
ආහාර අනුභවය ද
දැනගෙන කරමි.
යහපත හැඳින ජීවිතය ගෙවමි.
මම සැපත හඳුනා ගෙන සිටිමි.”

අමා නිවන වෙතම විරිය යොමු වී ඇති මගේ මේ සී සෑම කෙළේ මේ ආකාරයෙනි. ඒ සී සෑම තුළ මට ලැබුණේ අමා ඵලය.’

මෙලෙසින් සී සෑම කළ විට සෑම දුකින් ම අත් මිදෙයි. ඉන්පසු කසීභාරද්වාජ බ්‍රාහ්මණයා මහත් වූ රන් තලියක කිරිබත් දමා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. ඔබ වහන්සේ අමා නිවන් ඵල ලබා දෙන්නා වූ සී සෑම කරන නිසා නියම ගොවියෙකි.

“බ්‍රාහ්මණය, මා විසින් ගාථා කියා ලබන ලද මේ (පායාසය) කිරිබත වැළඳිය යුතු නොවේ.” ගීයෙන් ලබන භෝජනය වැළඳීම බුදුවරුන්ට සුදුසු නැත. ඒ නිසා මෙය බුදු සිරිත නොවන බව සළකනු මැනවි.

සන්සුන් ගති ඇත්තා වූ නිකලේශීවු අපට පින්කෙත හඳුනා ගෙන ආහාර පානයෙන් සළකන්නට සුදුසු වේ. එසේ නම් භාග්‍යවතුන් වහන්ස! මේ කිරිබත දෙන්නේ කාට ද?

මේ කිරිබත දෙන්න සුදුස්සකු මම නොදකිමි. එහෙයින් මේ කිරිබත රෑගෙන ගොස් නිල් තණ නොමැති තැනෙක හෝ ප්‍රාණීන් නොමැති ජලයෙහි හෝ පා කර යවන්න.

එවිට බ්‍රාහ්මණයා ඒ කිරිබත ගෙන ගොස් ජලයෙහි පාකර හැරියේ ය. ඒ කිරිබත ජලයට දැමූ විට ‘චිටි චිටි චිටි චිටි’ යන හඬින් දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්න විය. බියෙන් තැතිගෙන සංවේගයට පත් වූ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙතට ගියේ ය. සිරිපතුල් අසළ හිස තබා නැමද මෙසේ කීය. භවත් ගෞතමයාණන් වහන්ස! ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් හොඳ ය. යටිකුරුකොට තබන ලද යම් බඳුනක් උඩුකුරු කරන්නේ ද යම්සේ විවෘත කරන්නේ ද මංමුළාවූවකුට යම්සේ මඟ කියා දෙන්නේ ද යම්සේ තෙල් පහනක් දරන්නේ ද ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය සේ ප්‍රකාශ කරන ලදී.

“මම බුදුරජාණන් වහන්සේ ද ධර්මය ද සංඝයාද සරණ කොට යෙමි. මට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන සේක්වා!”

කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ බුදුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලැබුවේ ය. කෙලෙසුන් තවන වීර්යය ඇති නිවනට සිත් මෙහෙයවන කසීභාරද්වාජ බ්‍රාහ්මණ පුත්‍රයාණෝ නොබෝ කලෙකින් රහතන් වහන්සේ කෙනෙක් වූ හ.

කසීභාරද්වාජ සූත්‍රය ඇසුරෙනි

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...