a

මිය ගිය පසු මේ සිරුර දරකඩක් වගේ

පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

“මිය ගිය පසු මේ සිරුර දරකඩක් වගේ…”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

ජීවිතයක වටිනාකම තියෙන්නේ සිත නිසයි. යම් දවසක අපි මැරුනොත් එදාට මේ ශරීරයෙන් කිසිම වැඩක් නැහැ. වැඩකට ගන්නට බැරි දර කැබැල්ලක් වගේ වීසි කරලා දානවා. මේ ගැන ලොකු අවබෝධයක් ඇති වෙන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය දේශනා කොට වදාළේ ඉතාමත්ම රෝගී තත්වයේ සිටි භික්ෂූන් වහන්සේ නමක් අරභයා. උන්වහන්සේගේ නම පූතිගත්තතිස්ස. උන්වහන්සේ කා සමඟවත් ඇසුරු කළ කෙනෙක් නෙවෙයි. සංඝයාගේ පොදු කටයුතුවලට උදව් උපකාර කළ කෙනෙකුත් නොවෙයි. ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළ කෙනෙකුත් නෙවෙයි. මෙනිසා උන්වහන්සේ වැඩසිටියත්, නැතත් කිසි කෙනෙකුට වෙනසක් තේරුනේ නැහැ. උන්වහන්සේගේ පාඩුවේ කුටියේ හිටියා. කාගෙවත් අවධානයක් යොමු වුනේ නැහැ.

ටික කලක් යද්දී උන්වහන්සේ අසනීප වුනා. ශරීරය පුරා ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුනා. වණ වුනා. පුපුරලා සැරව ගැලූවා. පොරවාගෙන සිටි සිවුර ඒ සැරව නිසා ඇඟට ඇලූනා. උන්වහන්සේ මහා වේදනාවෙන් යුතුව කෙඳිරි ගගා ඇඳේ වැතිර සිටියා. දිනක් කුටි චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට වැඩියා. නැවතුනා. කෙඳිරිලි හඬ අසාගෙන හිටියා. මේ කුටියේ කවුද ඉන්නේ කියා කුටිය තුළට වැඩියා. අනේ, මේ ස්වාමීන් වහන්සේට නැගිට ගන්නටත් අමාරුයි. කෙඳිරි ගගා අඬන්න පටන් ගත්තා. ”අනේ, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මගේමයි වැරැද්ද… මම පැවිදි වෙලා වගක් නැතිව හිටියා මිසක්, ස්වාමීන් වහන්සේලාගේ පොදු කටයුතුවලට සහභාගී වුනේ නැහැ. කොටින්ම ගිලානෝපස්ථානයක් වත් කළේ නැහැ. ඒ නිසා මා කා සමඟවත් ඇසුරකට ගියේ නෑ. මගේ පාඩුවේ හිටියා. මේ අසනීප වෙන බවවත් කවුරුත් දන්නෙ නැත්තෙ ඒ නිසයි.”

බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේව කුටියෙන් එළියට ගත්තා. උණු පැන් එකක් ගෙන්වා ගත්තා. ඇඟට ඇලී තිබුණු සිවුර හෙමිහිට උණු පැන් පොඟවමින් ඉවත් කළා. රෙදි කෑල්ලක් උණු පැන්වල පොඟවමින් ශරීරයේ තෙත මාත්තු කළා. පිරිසිදු රෙද්දකින් මෘදු ලෙස පිහදා දැම්මා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ලේ සැරව තැවරුණු සිවුරු උණුවතුරෙන් සෝදා වේලූවා. උන්වහන්සේගේ ශරීරයට හොඳින් සාත්තු සප්පායම් ලැබෙන නිසා වේදනාව අඩු වුනා. කයට පහසුවක් දැනුනා. එනිසාම සිතට ප‍්‍රීතිය ඇතිවුනා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ යථා ස්වභාවය දකින්නට හැකි ආකාරයෙන් මෙම ගාථාව වදාළා.

අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං

සුළු කලකින්ම මේ කය – පොලොවෙහි වැතිර ගන්නේ
බැහැර වී විඤ්ඤාණය – මරණයට පත් වන්නේ
එවිට කුණුවන මේ කය – කිසිවකට නොගත හැකි ලෙස
දිරාගිය දර කඩක් සේ – පොලොවෙහි දිරා යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මරණයට පත් වෙද්දී විඤ්ඤාණය චුත වෙනවා. එසේ චුත වෙන්නෙ අප විසින් සිත, කය, වචනය යන තුන් දොරින් කරන ලද කර්මයන්ට අනුව සකස් වුණ විඤ්ඤාණයයි. ඊට පස්සේ මේ ශරීරයෙන් කිසි වැඩක් නැහැ. කුණු වෙන්න පටන් ගන්නවා. පණුවො වැගිරෙන්න පටන් ගන්නවා. සතුන්ට ගොදුරු වෙනවා. කිසි වැඩකට ගන්නට බැරි දිරා ගිය දරකඩක් වගේ පොළොවටම දිරලා යනවා. මේ ශරීරයක් බොහෝ කාලයක් පවතින්නෙ නැහැ. මෙවැනි දහම් අවවාද වලින් යුතු අනුශාසනාවට සවන් දුන් ඒ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ උතුම් අරහත්වයට පත්වුනා. පිරිනිවන් පෑවා.

බුදුරජාණන් වහන්සේ මෙම සිදුවීම මුල්කොට භික්ෂු සංඝයා රැස්කොට වදාළා. උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් තම ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේලාට මෙකරුණ වදාළා.

”පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම්, ඒ කෙනා ඒ උපස්ථාන කරන්නේ මටයි. යම් කෙනෙක් මට උපස්ථාන කරනවා නම් එයා කරන්නේ ගිලනුන්ට උපස්ථාන කරන එකයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට හරි ආසයි. අනේ අපටත් පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේට දන් බෙදා ගන්නට අවස්ථාවක් ලැබුනා නම්… අනේ අපටත් සිවුරක් මසා උන්වහන්සේට පූජා කරගන්නට තිබුනා නම්…. අනේ අපටත් කුටියක් තනවා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගන්නට තිබුනා නම්…. කියා සිතෙන්නට පුළුවනි. නමුත් අපට ඉතාම පැහැදිලිව පෙනෙනවා ගිලනුන්ට උපස්ථාන කිරීමෙන් සැබෑම බුද්ධෝපස්ථානයෙන් ලැබෙන පින ලබාගන්නට පුළුවන් බව. එනිසා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට කැමැති කවුරුත් කළ යුත්තේ ගිලනුන්ට උපස්ථාන කිරීමයි.

නමෝ බුද්ධාය​
ලිපි සැකසුම​

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

උපුටා ගැනීම​
මහමෙව්නාව​

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...