divifgh

ලංකාවේ දිනකට එකළොස් දෙනෙක් දිවිනසා ගනති?

ගැහැණුන්ට වඩා පිරිමින් දිවිනසා ගන්නේ ඇයි?
හවස් වරුවට වඩා උදේ කාලයේ දිවිනසා ගැනීම් වැඩියි

මානසික සෞඛ්‍ය ඒකකයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් එකළොස් දෙනෙක් සිය දිවි නසාගති. ඒ අනුව වසරක් තුළදී සියදිවි නසාගන්නා පුද්ගල සංඛ්‍යාව හාරදහසක් පමණ වෙයි. මෙසේ සියදිවි නසාගන්නා අයගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු විස්සත් හතළිස් පහත් අතර අය බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී තිබුණි.
අතීතයේ නම් සමහර සමාජයන්හි සියදිවි නසා ගැනීම උසස් කටයුත්තක් වශයෙන් සැලකුණි. කලකට ඉහත ජපන් ජාතිකයෝ සටනකදී, පරාජයට පත් වන විට, යටත් නොවී “හරා කිරි” යනුවෙන් හැඳින්වෙන සියදිවි නසා ගැනීමේ ක්‍රමය අනුගමනය කළහ.
මෑතක් වනතුරුම ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සැමියා මියගිය විට වැන්දඹු බිරිඳ සැමියාගේ සිරුර දැවෙන දරසෑයට පැන “සති පූජා” යනුවෙන් හැඳින්වෙන සියදිවි නසා ගැනීමේ ක්‍රමය අනුගමනය කළහ.
අවුරුදු තුන්දහස් පන්සියයකට පෙර රචිත යැයි සලකනු ලබන භගවත් ගීතාවේ අටවන පරිච්ජේදයෙහි 22 සහ 23 යන පද්‍යවලින් මෙලොවින් සමුගන්නා ක්‍රම දෙකක් ගැන සඳහන් වෙයි. ඉන් තෝරාගත් දිනයක, තෝරාගත් වේලාවක, තෝරාගත් ක්‍රමයකට මෙලොවින් සමුගැන්ම යහපත් බව සඳහන් කර ඇත.
දෙවියන් ඇතැයි නොඇදහූ පැරණි ස්ටොක්වාදීහු සියදිවි නසා ගැනීම පුද්ගලයෙකු සතු පරම අයිතියකැයි ඇදහූහ.
නමුත් අද ලෝකයේ කිසිම රටක, මොනයම් සමාජයක වුවද, සියදිවි නසා ගැනීම ඥානාන්විත ක්‍රියාවක් වශයෙන් සලකනු නොලැබේ. බොහෝ රටවල සියදිවි නසා ගැනීමට තැත් කරන අයහට නීතියෙන් දඬුවම් කරනු ලැබේ.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ සියදිවි නසා ගැනීමට තැත් කරන අයෙකුහට දඬුවම් කළ හැකි අතර, සියදිවි නසාගැනීමට, අනුබල දෙන, උදව්දෙන හෝ ‍පොළඹවන කෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ දඬුවම් කළ හැක.
එය එසේ වුවද ලංකාවේද දිනෙන් දින සියදිවි නසා ගන්නා අයගේ සංඛ්‍යාව ඉහළයන බව පැහැදිලි වෙයි. මෙහිදී පාදක කරගෙන ඇත්තේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ‍ලේඛන අනුව හදිසි මරණ වශයෙන් ලියාපදිංචි වූ මරණ පමණක්ය. නමුත් අපවාදයෙන් ගැළවීම සඳහා සියදිවි නසාගත් බව සඟවන මරණ සංඛ්‍යාව මෙයට වැඩි බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි.
මිනිස් සිතේ පහළ වන හදිසි ආවේග, සයිකෝසිියාව, විෂාදය හෙවත් මානසික අවපීඩනය, සහ මනෝ ව්‍යාධීන් මිනිසා දිවිනසා ගැනීමට ‍පොළඹවන බව සොයාගෙන ඇත.
මේ අතර සිග්මන් ‍ප්‍රොයිඩ්ගේ මතයක්ද සමහරු සියදිවි නසා ගැනීම කෙරෙහි ආදේශ කරති. ඔහු පවසන ලෙස මිනිසා තුළ ජීවත්වීමේ ආශාව මෙන්ම ජීවිතහරණා ආශාවද ඇත. ඊ රෝස් සහ ලිබ්ඩෝ යනුවෙන් ඔහු පළමු වැන්න හැඳින්වූ අතර මෙරිටිඩෝ සහ තැනටෝස් යනුවෙන් දෙවැන්න හැඳින්වීය.
සමහරුන්ට කිසියම් බලවේගයක් මගින් තමන්ට දිවි හානිකර ගැනීමට බලකරනවාය යන හැඟීම ඇති වෙයි. මෙම රෝග අවස්ථා ඇති සමහරුන් තමන්ගේ ජීවිතයෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිය යන හැඟීම ඇති වී තම ජීවිතය නැති කර ගනිති.
සියදිවි නසා ගැනීම සමාජීය ගැටලුවකි. සියදිවි නසා ගැනීම පෞද්ගලික කරුණක් වශයෙන් පෙනුණත් එය සමාජීය බලපෑම් රාශියක් නිසා සිදු වන්නකි.
ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයකු වූ එමිල් ඩර්කයින් දක්වන ලෙස පුද්ගලයා විසින් යොදා ගන්නා ප්‍රතිජනාත්මක සහ නිශේධනාත්මක ක්‍රියාවකින් සෘජුව හෝ වක්‍රව හෝ සිදුකරගන්නා මරණය සියදිවි නසා ගැනීමක් වෙයි. ඔහු දක්වන ලෙස සියදිවි නසා ගැනීම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක. ආත්මීය සියදිවි නසාගැනීම, පරහිතකාමී සියදිවි නසාගැනීම සහ අනෝමීය සියදිවි නසා ගැනීම එම කොටස් තුන වෙයි.
කෙනෙකු සමාජය විසින් තමන්ට ලබා දිය යුතු දේ පිළිබඳව විවිධ අපේක්ෂා තබාගෙන සිටියි. ඔහුගේ එම අපේක්ෂාවන් සමාජයෙන් ඉටුනොවූ විට ඔහු අපේක්ෂා භංගත්වයට පැමිණෙයි. මෙලෙස සමාජ අනුකූලන ඒකාබද්ධතාවය බිඳ වැටීම නිසා පුද්ගලයා තුළ හුදකලා තත්ත්වයක් ඇති වෙයි. එවිට ඔහු තුළ සියදිවි නසා ගැනීමේ. අපේක්ෂාව ඇති වෙයි. රැකියා අහිමිවීම, ප්‍රේම සම්බන්ධතා සාර්ථක කර ගැනීමට නොහැකිවීම, විවිධ අවමානයන් සමාජයෙන් එල්ලවීම වැනි හේතූන් නිසා සිදු කරගන්නා සියදිවි නසා ගැනීම් ආත්මීය සියදිවි නසා ගැනීමේ කොටසට අයත් වෙයි.
සමාජයේ පවතින විවිධ පිළිගැනීම් කෙරෙහි තදින් බැඳී සිටින පුද්ගලයා එම සමාජ පිළිගැනීම් සහ විශ්වාසයන් තහවුරු කිරීමට තමන්ට ජීවත්වීමට ඇති අයිතිය පවා පූජා කිරීමට සූදානම්ය. ජපානයේ හරාකිරි, ඉන්දියාවේ සතිපූජා එවැනි පරහිතකාමී සියදිවි නසා ගැනීම් සඳහා උදාහරණ වෙයි.
සමාජ පරිවර්තනයට හසුවී, පුද්ගල තරගකාරීත්වය ඉහළ යෑම නිසා සමාජ අනුකූලත්වය උග්‍රවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියදිවි නසා ගැනීම අනෝමීය සියදිවි නසා ගැනීම් වශයෙන් හැඳින්වෙයි.
නූතන අතිශයින් සංකීර්ණ සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙකුට දැඩි ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ පාන්නට නිතැතින් සිදු වෙයි. සමහර විට කෙනෙකුට මෙම සියලුම ප්‍රශ්න මරණයෙන් කෙළවර කර ගත හැකි යැයි සිතිය හැක. එලෙස සිතන සියලු දෙනාම තමන්ගේ ජීවිත නැති කර ගන්නේ නැත. සමහරකුට ඕනෑම ප්‍රශ්නයක් දැඩිව දරාගත හැක. මහා පරාජයකින් හෝ ගොඩඒමට සමහරකුට පුළුවන. නමුත් දුර්වල පෞරුෂයක් ඇති අයකු හට ප්‍රශ්නයක් දරාගැනීමට ඇති ශක්තිය අඩුය. මොවුන් බොහෝ විට ගැටලුවකට ඉක්මන් හා පහසු විසඳුම් සොයන්නෝය. මෙවැනි අය බොහෝ විට ගැටලුවකට ඇති එකම විසඳුම මරණය වශයෙන් සලකති. එවැනි දුර්වල පෞරුෂත්වයක් ඇති අය පහසුවෙන් හඳුනාගත හැක. ඉක්මනින් කලබල වන මෙවැනි අය හදිසි තීරණ ගන්නා අතර ඉතාමත් සුළු දෙයකින් වුවද මහත් කම්පනයට පත්වෙයි.
එවිල් ඩර්කයින් දක්වන ලෙස සමාජ අසාමානත්වය හා සමාජ අසාධාරණත්වය පුද්ගලයන්ගේ සියදිවි නසා ගැනීම කෙරෙහි බලපායි. අසාධාරණ දූෂිත සමාජයක් තුළ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහළ යන බව එමිල් ඩර්කයින් පවසයි.
ඉච්චා භංගත්වය, හෙවත් බලා‍පොරොත්තු කඩවීම, කායික මානසික රෝගාබාධ, මානසික අසහනය, දිළිදුකම, සිත් තැවුල්, සබඳතා කැඩී යාම, අවවාද නොරිස්සීම, අධික ලැජ්ජාව ණය ගැතිවීම ආදී කරුණු රාශියක් නිසා සමහරුන් දිවි නසා ගනිති.
සියදිවි නසා ගැනීමට තැත්කර පසුව බේරාගත් අයගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ජීවිතය නැති කර ගැනීමට වඩා ඔවුන්ට අවශ්‍යව තිබි ඇත්තේ අන් අයව බිය ගැන්වීම බවය. එවැනි සමහරුන් තමන්ගේ දිවිරැක දෙන ලෙස අයාචනා කළ බව වාර්තා වන්නේ වරක් දෙවරක් පමණක් නොවේ.
මිනිස් ජාන සියදිවි නසා ගැනීමට බලපාන බව ඇමෙරිකාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යාලයේ සහ ටෙරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ මානසික විද්‍යා අංශ මගින් සිදුකරන ලද පර්යේෂණයලදී පැහැදිලි වී ඇත. ඒ අනුව සියදිවි නසාගත් කෙනෙකුගේ පවුලක වෙනත් පරම්පරාවක කෙනෙකුගේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය වැඩි විය හැක.
සෙරටොනික් රසායනිකයේ ඌනතාවයද සියදිවි නසා ගැනීමෙහිලා බලපාන බව ස්වීඩනයේ කරලින්ස්කා ආයතනයත් ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයත් රොවෙස්ටර් විශ්ව විද්‍යාලයත් කරන ලද පර්යේෂණවලදී පැහැදිලි වී ඇත.
ඉතාලියේ සිදු කෙරුණ පර්යේෂණයක ප්‍රතිඵල දක්වන බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව දවසේ මධ්‍යාහ්නයට ආසන්න පැය කීපය තුළ වැඩි දෙනෙකු සියදිවි නසාගැනීමට යොමු වන බව පවසයි.
පෙරවරුවේ අවසන් පැය සහ පස්වරුවේ මුල් පැය තුළ සියදිවි නසා ගැනීමට තැත් කරන්නන් බොහෝ විට මරණයට පත්වන අතර, සවස් යාමයේ සියදිවි නසා ගැනීමට තැත් කරන අයගේ ජීවිත සමහරවිට බේරා ගැනීමට හැකියාව ඇත. අප සිරුර තුළ ක්‍රියාත්මක වන ෙජෙව විද්‍යාත්මක ඔරලෝසුව මගින් දිවිතොර කර ගැනීමේ නැඹුරුතාවය තීරණය කරන නිසා මෙලෙස සිදු වන බව වෛද්‍ය විද්‍යාඥයින්ගේ මතයයි. මෙහිදී මතු වූ තවත් කරුණක් නම් පිරිමින්ට වඩා ගැහැනුන් දෙගුණයක ප්‍රමාණයක් ජීවිතය නසා ගැනීමට තැත් කරන බවත්, නමුත් සියදිවි නසා ගැනීම නිසා මියයන පිරිමින්ගේ සංඛ්‍යාව ගැහැනුන්ට වඩා දෙගුණයක් වන බවය.
ලෝකයේ සිදුවන මරණවලට හේතුවන ප්‍රධාන සාධක දහය අතරින් සියදිවි නසා ගැනීමද එකක් බවට පත්ව ඇත. මුළු ලෝකය පිළිබඳ සලකා බැලීමේදී වසරකට ලක්ෂ පහක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් දිවි නසාගන්නේ මානසික අවපීඩන තත්ත්වයේ පසුවන වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ය. මත් ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහිවීමද සුවකළ නොහැකි අසාධ්‍ය රෝගවලින් පසුවීමද මෙලෙස සියදිවි නසාගැනීමට හේතුවයි.
නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගන්නා අයගේ වැඩි සංඛ්‍යාවක් තරුණ පුද්ගලයන්ය.
සාමාන්‍ය ජනප්‍රිය මතය වන්නේ තරුණ අය බොහෝ දෙනෙකුගේ සියදිවි නසා ගැනීමට හේතුවන්නේ ප්‍රේම සබඳතා බවය. නමුත් සමාජ විද්‍යාඥයින් සිදු කර ඇති සමීක්ෂණය අනුව පැහැදිලි වී ඇත්තේ තරුණ පරපුර අතර සිදුවන සියදිවි නසා ගැනීම්වලට ප්‍රේම සබඳතා බලපා ඇත්තේ සියයට දහයක් වැනි සුළු ප්‍රමාණයක් බවය.
සියදිවි නසා ගැනීමට ආගම් ප්‍රබල බලපෑමක් ඇති කරන බවද පෙනී ගොස් ඇත. මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගම්වල සියදිවි නසා ගැනීම කෙරෙහි බලපාන දැඩි ආකල්ප සහ ක්‍රියා පටිපාටියන් නිසා ඔවුන් අතර, හින්දු සහ බෞද්ධාගමිකයින් අතර තරම් සියදිවි නසා ගැනීම් සිදු නොවන බව පැහැදිලි වී ඇත.
දැඩි ආර්ථික ගැටලු සියදිවි නසා ගැනීමට ප්‍රබල සාධකයක් බව ඇතමුන් පැවැසූවත් අප්‍රිකාව ඉතියෝපියාව වැනි අතිශය දරිද්‍රතාව පිරි රටවල සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය ඉතාමත් අඩුය. නොසංසිඳෙන අනාගත ප්‍රාර්ථනා නැති අන්ත දුගීභාවයේ පසුවෙන්නන් අතර සියදිවි නසා ගැනීම් එතරම් දක්නට නැත. ඔවුන්ට අනාගතය පිළිබඳ ඉසුරුමත් ප්‍රාර්ථනාවන් නැත. ඔවුන් වෙහෙසෙන්නේ එදාවේල සරිකර ගැනීමට පමණි නමුත් අන්ත දුගීභාවයෙන් ඉහළ ස්ථරයේ ඇති ගොවි ජනතාව අතර සියදිවි නසා ගැනීම වැඩිය.
සියදිවි නසා ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රම ගැන සලකා බලන විට වර්තමානයේ සිදුවන සියදිවි නසා ගැනීම්වලින් වැඩි සංඛ්‍යාවක් සඳහා උපයෝගී කරගෙන ඇත්තේ කෘමි නාශක හෝ වල් නාශකය. නමුත් 1950 දී සියදිවි නසාගත් අයගෙන් කෘමිනාශක භාවිතා කර ඇත්තේ සියයට තිස් තුනක් පමණි. 1960 දී එම සංඛ්‍යාව හතළිස් දෙකක් විය. කලින් සියදිවි නසා ගැනීම් සඳහා වැඩියෙන් භාවිතා වුණ ගෙළ වැලලාගෙන මියයන ක්‍රමය මෙලෙස වෙනස් වූයේ හරිත විප්ලවය නිසා 1960 ගණන්වල ලංකාවේ සෑම තැනකින්ම පාලනයකින් තොරව පහසුවෙන් කෘමි නාශක, වල්නාශක ලබාගැනීමට හැකිවීම නිසාය. කෘමි නාශක, වල් නාශක, බොහෝ පෙති වර්ග පාවිච්චි කිරීම ගෙළවැලලා ගැනීම, ගිනි අවි, ආයුධ භාවිතා කිරීම, දියේ ගිලීම, ධාවනයවන දුම්රිය රථවාහන ඉදිරියට පැනීම, කනේරු ඇට නියඟලා අල වැනි දෑ ආහාරයට ගැනීම, ගිනි තබාගැනීම වැනි ක්‍රම සියදිවි නසා ගැනීමට ලංකාවේ බහුලව භාවිතා කෙරේ.
කිසියම් පුද්ගලයකු සියදිවි නසා ගැනීමට තීරණය කර ඇත්නම් අප කල්පනාකාරීව කටයුතු කළහොත් ඔහු එම තත්ත්වයෙන් අපට මුදවාගත හැක. මේ සඳහා අප, කෙනෙකු සියදිවි තොරකර ගැනීමේ ච්ෙතනා පළ කරන ලක්ෂණ හඳුනාගෙන තිබිය යුතුය.
පවු‍ලේ අයගෙන් හිත මිතුරන්ගෙන් හා සමාජයෙන් ඉවත්ව හුදකලාව දුක්මුසුව ගත කිරීම වැනි පෞරුෂයෙහි සහ හැසිරීමේ රටාවෙහි ඇති වෙනස්කම්, තමන් අසරණව තනිවී ඇති බව නිතර ප්‍රකාශ කිරීම, බලා‍පොරොත්තු රහිත බව, ආත්මාභිමානය නැතිව තමන් අසාර්ථකව සිටින බව නිතර පැවැසීම. තමා අනුන්ට කරදරයක් යැයි බරක් යැයි නිතර පැවැසීම, දිනපතා සිදු කරන කටයුතු එපාවීම, අධික ලෙස නිදා ගැනීම හෝ නින්ද නොයෑම, ආහාර ගැනීමට රුචියක් නැතිවීම හෝ අධික ලෙස ආහාර ගැනීම, ජීවිතය එපාවී ඇති බව පැවැසීම ඒ ගැන ඉඟියෙන් පවසා ප්‍රියයන්ගෙන් සමුගැනීම, තමා ඉතාමත් ළැදියාවෙන් එකතු කළ භාණ්ඩ අන් අය හට බෙදාදීම, සියදිවි නසා ගැනීම පිළිබඳව ලිපි සටහන් ලියා තැබිම ඔවුන්ගේ ලක්ෂණ වෙයි.
මෙවැනි ගතිගුණ ඇති අයෙකු දුටුවිට ඔහු කලින් සියදිවි නසා ගැනීමට තැත්කළ අයෙකු නම් ඔහු ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඔහු තුළ කිසියම් මානසික රෝග තත්ත්වයක් ඇති දැයි විමසන්න. එම පවු‍ලේ කලින් සියදිවි නසාගත් කෙනෙකු ඇත්නම් ඔහු කෙරෙහි වඩාත් අවධානය යොමු කරන්න.

Check Also

b3c4d881199ca76716925c3be7ac7af2_L

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු ...

Mysterious-640x400

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් ...