vbbg7t

ව්‍යවස්‌ථාව නීතිය නො වේ ද?

සියළු විනිසුරුවෝ ද, නීතිඥයෝ ද, සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති. මෙය බෞද්ධ සම්ප්‍රදායට අයත් වාක්‍යයක්‌ නොවූවත් මේ දිනවල ඒ බව නැවත නැවතත් තහවුරු වෙමින් ඇත. අලුත්කඩේ වසන්තය හේමන්තයක්‌ වන දවස එතරම් ඈත නො වේ. අගවිනිසුරුවරියට අමතරව තවත් විනිසුරුවන් කිහිප දෙනකුට විරුද්ධව දෝෂාභියෝග ගෙන ඒමට ආණ්‌ඩුවට බල කෙරී ඇත්තේ ඒ විනිසුරුවන් විසින්ම ය. විනිසුරුවන් වැරදි කරන විට ඔවුන් ගෙදර යෑවිය යුතු ය. නීතියේ ඊනියා කන්‍යාවියගේ ඇස්‌ බැඳ ඇය දූෂණය කෙරෙන්නේ අධිකරණයේ දී ම නම් කළ යුත්තේ කුමක්‌ ද? අපි නම් කිසි දිනෙක නීතියේ කන්‍යාවියක ගැන විශ්වාසයක්‌ නො තැබුවෙමු. නීතියේ ඇත්තේ කන්‍යාවක්‌ නොව ගණිකාවක්‌ බව කීම වෙන කිසිවක්‌ කර ගැනීමට නොහැකිව තම දරුවන් හදා වඩා ගැනීමට ඒ වෘත්තියෙහි යෙදෙන අසරණ කතුන්ට කරන නිගරුවකි. නීතියේ ඊනියා කන්‍යාවිය බමුණු කුලයේ බමුණන්ට ඇඟ විකුණන ගණිකාවක්‌ පමණකි.

ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියට පළමුවර ගියේ පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට තමාට එරෙහිව ඇති දෝෂාභියෝගය අන්වේෂණය කිරීමට අධිකරණ බලතල නොමැති බව කියමිනි. දෙවැනි වර ඇය ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුව එළඹි ඇති නිගමන නිෂේධ කරන ලෙස ය. දෙවැනි වර අභියාචනාධිකරණය තෝරාගත් කමිටුව ව්‍යවස්‌ථාවේ 4 (ඇ) වගන්තිය යටතේ ව්‍යවස්‌ථාව විසින් පිළිගැනුණු තවත් ආයතනයක්‌ බව තීරණය කළේ ය. අභියාචනාධිකරණය එම කමිටුවේ සාමාජිකයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොතීසි නිකුත් කළේ ඒ පදනමින් ය. එහෙත් පළමු වර අභියාචනාධිකරණය ව්‍යවස්‌ථාවේ අර්ථනිරූපනයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ ස්‌ථාවර නියෝග 78 (අ) සම්බන්ධයෙනි. ප්‍රශ්නය වනුයේ තෝරාගත් කමිටුවට දෝෂාභියෝගය සම්බන්ධයෙන් අන්වේෂණය කිරීමට බලය ඇත් ද යන්න ය. අද ශ්‍රේෂ්ඨාධිකරණය අනුව යමින් අභියාචනාධිකරණය තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලයක්‌ නොමැති බව කියයි. මේ කිසිම අධිකරණයක්‌ නිරපේක්‍ෂ ඊනියා වාස්‌තවික තීරණයක්‌ නොදෙන බව පැහැදිළි ය. අපට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගැනීමට සිදුවන්නේ එහි තීරණ සෑමවිට ම නිවැරැදි නිසා නොව එහි තීන්දු හා තීරණවලට එරෙහිව යැමට එයට වඩා ඉහළ උසාවියක්‌ නැති බැවිනි. සිරකරුවන් මෙන් ම නීතිඥයෝ ද, විනිසුරුවෝද මනුෂ්‍යයෝ වෙති.

මෙහි දී අප නෛතික තත්ත්වයන් ගැන කතාකළ ද අද උද්ගත වී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක්‌ මිස ඊනියා නෛතික ප්‍රශ්නයක්‌ නොවන බව ය. අගවිනිසුරුවරියට ස්‌වාභාවික යුක්‌තිය යටතේ ඇගේ නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්‌ථාවක්‌ තිබිණි ද නැද්ද යන්නවත් මෙහි දී වැදගත් නො වේ. ඇයට තම නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්‌ථාව ලබා දී තිබූ නමුත් ඇය හා ඇගේ නීතිඥයෝ තෝරාගත් කමිටුවේ අන්වේෂණයෙහි දී කාලය කා දමා අභියාචනාධිකරණය බදාදා දුන් තීන්දුව ලැබෙන තෙක්‌ අන්වේෂණය දිග්ගැස්‌සීමට උත්සාහ කළහ. ඔවුන් සිතන්නට ඇත්තේ බදාදා වන තෙක්‌ අන්වේෂණය කල්දමා ගත්තේ නම් ඒ තීන්දුව ඔස්‌සේ තෝරාගත් කමිටුව අහෝසි කිරීමට ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් තෝරාගත් කමිටුව පසුගිය මාසයේ 8 වැනි දා සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඊනියා අර්ථනිරූපණයක්‌ මත පදනම් ව තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලතල නැති බව තීරණය කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව ඒ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. යම් අයුරකින් අගවිනිසුරුවරියගේ නීතිඥයන්ගේ ප්‍රයත්නය සාර්ථක වී අන්වේෂණය පසුගිය බදාදා වන තුරු කල්දමාගත්ත ද පාර්ලිමේන්තුව අභියාචනාධිකරණ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. ඒ අභියාචනාධිකරණ තීරණය වැරැදි නිසා පමණක්‌ නොවේ. අද ඇත්තේ තම වෘත්තිය පිළිබඳව නැති වැදගත්කමකින් සිතන නීතිඥයන් හා බමුණු කුලය හා ඒ කුලයට පැන ගැනීමට උත්සාහ කරන්නන්, දෙමළ ජාතිවාදීන් ඇතුළු විජාතික බලවේග සහ පොදු ජනයා අතර සටනක්‌ වන බැවිනි. ජාතිකවාදීන්ව සිටි ඇතැම් නීතිඥයන් මේ ප්‍රශ්නයේ දී දෝෂාභියෝගයට විරුද්ධ වන්නේ ඔවුන් බමුණු කුලයට ආවඩන බැවිනි. බටහිර අධ්‍යාපනයේ ගැත්තන් වූ මොවුන්ට ප්‍රශ්නයේ දේශපාලනය නො පෙනෙයි. බමුණු කුලයට අවශ්‍ය, අගවිනිසුරුවරිය එම තනතුරෙහි ම තබාගෙන ආණ්‌ඩුව අස්‌ථාවර කර මහින්ද රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත් කර අවසානයේ දී දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟින් දංගෙඩියට යෑවීම ය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුව දී නැත. එය දන්නේ ජනාධිපතිතුමා ය. පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ඇතැම් විට එතුමා අගවිනිසුරුවරිය ඉවත් නොකර සමාව දීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක්‌ දී නොමැති විටක එය නිෂේධ කරන ලෙස අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ ඇයටවත් ඇගේ නීතිඥයන්ටවත් සාමාන්‍ය තර්කනය පිළිබඳ අවබෝධයක්‌ නොමැති බව ය. ඔවුන් නිෂේධ කරන ලෙස ඉල්ලන්නේ තවමත් නොදුන් තීන්දුවකි. නැති තීන්දුවක්‌ නිෂේධ කරන්නේ රෝම ලන්දේසි නීතිය පදනම් වී ඇති ඇරිස්‌ටෝටලීය න්‍යායට එකඟ ව නම් නො වේ. නෛතික තත්ත්වය කෙසේ වෙතත් දැන් දේශපාලනය පැහැදිලි ය. විජාතික බලවේගවලට අවශ්‍ය අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය (විධායකය) අතර ප්‍රශ්නයක්‌ ඇතැයි පෙන්වීම ය. 1978 ව්‍යවස්‌ථාව යටතේ ම 78 (අ) ස්‌ථාවර නියෝග යටතේ ම ගෙනා වෙනත් දෝෂාභියෝග අවස්‌ථාවල නැති වූ තත්ත්වයක්‌ අද ඇතිවන්නේ කෙසේ ද? 1984 සිට අද දක්‌වා නීතියේ වෙනසක්‌ සිදු වී නැත. එහෙත් එදා අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර ඊනියා ගැටුමක්‌ නො විණි. අද ද එවැනි ගැටුමක්‌ නැත. එහෙත් බමුණු කුලය ඇතුළත් විජාතික බලවේග එවැනි ගැටුමක්‌ ඇති බව පෙන්වයි. ඒ අද ඇති දේශපාලනය වසා ගැනීමට ය. සාමාන්‍ය ජනතාව තනි තනිව ගත් කල ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සමඟ එකඟ නොවුණත් එය පිළිගැනීමට සිදුවෙයි. ඒ එයට වඩා ඉහළ උසාවි නැති බැවින් හා තීන්දු නොපිළිගතහොත් හිරේ විලංගුවේ වැටීමට සිදුවන බැවිනි. එහෙත් පාර්ලිමේන්තුව එවැනි තීන්දුවක්‌ නොපිළිගන්නේ නම් වියුක්‌ත ජනතාව පාර්ලිමේන්තුව සමඟ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව හිරේ දැමිය නොහැකි ය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතුවලට බාධා පැමිණවිය නො හැකි ය. පාර්ලිමේන්තුව අවලංගු කළ නො හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. එහෙත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තම බලය පැහැරගැනීමට උත්සාහ කරන විනිසුරුවන් දෝෂාභියෝග මගින් ගෙදර යෑවිය හැකි ය. අද බමුණු කුලයට ජනතාව පාර්ලිමේන්තුවට එරෙහිව පාරට බැස්‌සවිය නොහැකි ය. එය සරත් ෆොන්සේකාටවත්, ශිරානි බණ්‌ඩාරනායකටවත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටවත්, කුමාර සංගක්‌කාරටවත් බමුණු කුලය වෙනුවෙන් කළ නො හැකි ය. විජිත හේරත්ට හා සුමන්තිරම්ට ද ඒ කළ නොහැකි ය. ඔවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද බිඳ දමා ඇත්තේ දැයි සොයා බැලිය යුතු ය.

ඒ දෝෂාභියෝගයෙහි දේශපාලනය ය. නීතිය පැත්තෙන් බැලූ කල අධිකරණය පඹගාලක පැටලී ඇත. පළමුවෙන් ම ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ඒකකයක්‌ ලෙස ගත් කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන අධිකරණ බලතල සහිත ආයතනයකි. 4 (ඇ) වගන්තියෙන් කියෑවෙන්නේ අධිකරණ බලතල පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බවත් එහි දී වෙනත් දේ අතර උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන ආයතන මගින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බවත් ය. 107 (2) වගන්තියෙන් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එකට ගත් කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන ආයතනයක්‌ වෙයි. විවාදයට භාජන වී ඇති 107 (3) වගන්තිය ද නීතිය වෙයි. ඒ වගන්තිය අනුව දෝෂාභියෝග සම්බන්ධයෙන් සියලු කටයුතු සඳහා අවශ්‍ය සැලසීම් පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්‌ථාවර නියෝග හෝ මගින් සම්පාදනය කළ හැකි ය. මෙහි දී වැදගත් වන්නේ ඒ සම්පාදන නීතිය මගින් පමණක්‌ කළ යුතු යෑයි ව්‍යවස්‌ථාවෙහි 107 (3) යටතේ හෝ වෙනත් වගන්තියක්‌ යටතේ හෝ සඳහන් නොවීම ය. ඒ සම්පාදන ස්‌ථාවර නියෝග මගින් පමණක්‌ වුව ද කළ හැකි බව 107 (3) වගන්තියේ හෝ යන්නෙන් පැහැදිලි වෙයි. ස්‌ථාවර නියෝග 78 (අ) හුදු ස්‌ථාවර නියෝග නොවේ. ඒ නියෝග දෝෂාභියෝග සම්බන්ධයෙනි. ඒ නියෝග සම්පාදනය කර ඇත්තේ 107 (3) වගන්තිය අනුව කටයුතු කිරීමට ය. 107 (3) මෙරට නීතියකි. එහි දෝෂාභියෝග කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවට බලතල ඇත. 107 (3) යටතෙහි ස්‌ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම් සම්පාදනය කළ හැකි බව කියෑවෙයි. එය නීතියකි. නීති යනු ව්‍යවස්‌ථාදායක මගින් අණ පනත් මගින් පැනවෙන්නේ වෙයි. 78 (අ) ස්‌ථාවර නියෝග පනවා ඇත්තේ නීතියකට අනුව ය. කෙසේ වෙතත් 107 (3) අනුව නීතියක්‌ වුවත් නැතත්, දෝෂාභියෝගයට අවශ්‍ය සැලසුම් ස්‌ථාවර නියෝග මගින් පමණක්‌ සම්පාදනය කළ හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නො වේ යෑයි කියන්නේ කෙසේ ද? ව්‍යවස්‌ථාවේ 107 (3) හා ස්‌ථාවර නියෝග 78 (අ) අනුව පත්කෙරී ඇති තෝරාගත් කමිටුව කතානායකවරයා විසින් දෝෂාභියෝගයෙහි අන්වේෂණය සඳහා පත්කර ඇති කමිටුවකි. එයට කළ හැක්‌කේ පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම ය. කමිටුවේ නිගමන අවසාන තීරණයක්‌ ද නො වේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බව අමතක කරයි. අවසාන තීන්දුව දෙනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි නම් කළ යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීමය.

ව්‍යවස්‌ථාවෙහි 170 වගන්තිය අනුව නීතිය වනුයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අණ පනත් ය. 107 (3) වගන්තිය ව්‍යවස්‌ථාවෙහි ම කොටසකි. තවද 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 3 වැනි ඡේදය යටතේ පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිදු ක්‍රියාවක්‌ ගැන ප්‍රශ්න කිරීමට කිසිම උසාවියකට බලයක්‌ නැත. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පනත් කෙටුම්පත් ව්‍යවස්‌ථාවට එකඟ ද නැද්ද යන්න ගැන තීරණයක්‌ දීමය. එහෙත් සම්මත වූ පනත් ගැන තීන්දු දීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්‌ථාවේ 80 (3) වගන්තිය යටතේ කිසිදු බලයක්‌ නැත. මෙරට උපරිම නීතිය වූ ව්‍යවස්‌ථාවෙහි 107 (3) වගන්තිය නීතියක්‌ වී බොහෝ කල් ය. ඒ පිළිබඳ තීන්දු දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක්‌ නැත. 107 (3) යටතෙහි 1984 දී පැනවූ 78 (අ) ස්‌ථාවර නියෝග ගැන අද තීන්දුවක්‌ දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට නො හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්‌ථාව හා නීතිය පිළිබඳ අර්ථනිරූපණ දිය හැකි බව සැබෑ ය. එහෙත් පනත් ව්‍යවස්‌ථාවට එකඟ ද නැද්ද යෑයි කල්ගත වී තීරණය කිරීමට එයට බලයක්‌ නැත. 78 (අ) ස්‌ථාවර නියෝග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇත්තේ අර්ථනිරූපණය නො වේ. 78 (අ) නීතියට එකඟ ද නැද්ද යන්න හෝ එය නීතිය ද නැද්ද යන්න හෝ විනිශ්චය කිරීම අර්ථනිරූපණයක්‌ නො වේ. කෙසේ වුවත් 78 (අ) නීතියට එකඟ බව පැහැදිලි ය. අනෙක්‌ අතට විනිසුරුවකු සම්බන්ධ සිද්ධියක දී විනිසුරුවන් ම මැදිහත් වී තීන්දු දීම තමාගේ නඩුව තමාම අසා ගැනීමකි.

– නලින්ද සිල්වා මහතා විසින් ඉරිදා දිවයින පුවත්පතට ලියූවකි-

Check Also

b3c4d881199ca76716925c3be7ac7af2_L

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු ...

Mysterious-640x400

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් ...