ellfjj

සත්‍යාවබෝධය

පෙර දා දැක්ක ජරපත් මහලු ස්වරූපය අර සුරූපි සිරුරු අතරින් උන්වහන්සේට පෙනුනා. මේ සුරූපි බවක් තිබුණට මේ තුළ සැඟවිලා දුකක් තිබෙනවා. වෙව්ල වෙව්ලා යන හිසේ කෙස් පැසුණ ඇස් ගිලුණ දත් හැලුණ හම රැලි වැටුනු කොරපතු හැදුන ජරපත් බව මේ සුරූපි සිරුරුවල සැඟවිලා තිබෙන අයුරු කුමරුවා අවබෝධ කොට ගත්තා

සිද්ධාර්ථ කුමාරයාට රාජ්‍ය ශශ්‍රී වින්දනය කරමින් සිටියදී බණක් අසන්න ලැබුණා. ඒ කුමාරයා උයනට යමින් සිටිය දී දකින දෙයක් අරමුණු කොටගෙන. ඒ තමයි සතර පෙර නිමිති. සතර පෙර නිමිති දකින සිද්ධාර්ථ කුමාරයා විශ්මයට පත්වෙනවා. මෙතෙක් කලක් දැකල, හිතල, විමසල තිබුණේ නැති දෙයක්.

කුමාරයා ඡන්න ඇමැතිගෙන් අහනවා ඡන්න මේ කවුද? ස්වාමිනි, මේ ලෙඩෙක්. ස්වාමිනි මේ මහල්ලෙක්. මේ මලමිනියක්, මේ පැවිදි රුවක්. ඒ කෙටි උත්තරවලින් සෑහීමකට පත්වෙන්න සිද්ධාර්ථ කුමරයාගේ හිත ඉඩ දෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමරුට ලොකු බණක් කියලා දෙන්න ඡන්නට සිදුවෙනවා.

ඡන්නගේ බණ කොතරම් සාර්ථක වූවා ද කියනවානම් රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගාවන් තුළ සුරඟනන් වැනි කතුන් හතලිස් දහසක් පිරිවරාගෙන ඒ ගතකළ කාමසුකල්ලිකානුයෝගි දිවිය එදින ම අතහැර දමා වනාන්තරයට යන්න තරම් සමත් ධර්මයක් වුණා.

ඡන්නගෙන් ඇසුවා කවුද ඡන්න මේ? ස්වාමිනි මේ මහල්ලෙක්. කවුද මහල්ලෙක් කියන්නේ? ස්වාමිනි, යම් කලක ඔබවහන්සේ මම වගේ ම ඉතාම ජවසම්පන්නව රූප ශෝභයෙන් යුක්තව නිරෝගීව බොහෝම සුවසේ, සැපසේ ගතකළ කෙනෙක්. අද මේ තත්වයට පත්වෙලා ඉන්නේ. ඡන්න මහලුවීම මොහුට පමණයි ද? නැහැ ස්වාමිනි, ඔබවහන්සේ අද දෙතිස් මහ පුරුෂ ලකුණින් බැබලෙමින් බොහෝම බලවත් ඇතකු ඔසවා විසි කරන්න තරම් ජව සම්පන්නව සිටියත්, ඔබවහන්සේ කාලයක දී මේ වගේ සැරයටියක ආධාරයෙන් වෙව්ල වෙව්ල යන ජරපත් මහල්ලෙක් බවට පත්වෙනවා.

මේක ඔබවහන්සේට පමණක් නොවේ ලෝකයේ උපන් අප හැමෝටම වන ධර්මතාවයක්. උපන් හැම කෙනෙක්ම ජරපත් වෙනවා. සිද්ධාර්ථ කුමරු කියාදුන් දෙයටත් වඩා ඈතට ගැඹුරට කල්පනා කළා. මහල්ලෙක් පිළිබඳව උන්වහන්සේට ලොකු වැටහීමක් ලැබුණා. පසුවෙනිදා දැකපු ලෙඩා පිළිබඳවත් විමසුවා. ජන්න මේ කවුද? ස්වාමිනි, ඔබවහන්සේ වගේ ම කාලයකට ඉහත දී බොහෝ ම නිරෝගීව රූප ස්වභාවයෙන් යුතුව වාසය කළ කෙනෙක්. අද මළ මුත්‍රා ගොඩේ වැටිලා නැගිටගන්න ඇවිද ගන්න විදිහක් නැහැ.

කවුරුවත් මේ මනුස්සයාට පිහිට වුණේ නැත්නම් මොහු බඩගින්නේ සා පිපාසයෙන් මෙතැනම මිය යනවා. මොහුව කවුරු හරි ඇවිදින් සුද්ධ පවිත්‍ර කළේ නැත්නම් පණ පිටින් පනුවෝ ගහනවා. නැගිටගන්න ඇවිදගන්න බැරි මේ මනුස්සයා ළගට එන්නේ ගිජුලිහිණියන් වැනි සත්තු.ඒ සතුන් පණ පිටින්ම මේ මනුස්සයා කාලා දාන්න පුළුවන්. ඡන්න මේ මොහුට පමණක් වෙන දෙයක් ද? ස්වාමිනි මෙය මොහුට පමණක් නොවේ.

මේ ලෝකයේ උපන් හැම දෙනාටම උරුම දෙයක්. ඔබවහන්සේ කොතරම් දෙතිස්මහ පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වුවත් කොතරම් ජව බල සම්පන්න වුවත් හෙට දිනයේ දී මේ වගේ එකතැනම වැටිල මිය යන තරමේ රෝග පීඩාවන් වලට ගොදුරු වෙන්න පුළුවන්. මේ අනුශාසනයට සවන් දුන් සිද්ධාර්ථ කුමරු ඊළඟ දිනයේ දණ්ඩක ඔතාගෙන සොහොනට ගෙන යන යමක් දැකල විමසනවා ඡන්න මේ කවුද? ස්වාමිනි මේ මළමිනියක්. මොකක්ද මළමිනියක් කියන්නේ? ඔබවහන්සේ වගේම රූපයෙන් ජවයෙන් නොයෙක් කාම සම්පත් විඳීමින් බොහෝම සුවසේ ජීවත් වූ කෙනෙක්. දැන් මේ මියගිහින් දිරපු දර කඩක් වගේ් කිසිම වැඩකට නැහැ. ටික වෙලාවකින් මේක ඉදිමෙනවා. නිල් වෙනවා.

මේ ඇස්, නාස්පුඩු, කට කොනින් ඕජස් ගලන්න පටන් ගන්නවා. තවත් ටික වෙලාවකින් මේ ඇෙඟ් මස් පුපුරලා දිය වෙන්න පටන් ගන්නවා. කුණුගඳ ගහනවා. සත්තු ඇවිත් කාලා දානවා. ටික වෙලාවකින් තැන තැන විසිරුණු ඇටකටු ගොඩක් ඉතිරි වෙනවා. මේ තමයි ස්වාමිනි, මිනිස් ජීවිතයේ අවසානය. ඡන්න මේක මටත් වෙනවා ද? ඔබවහන්සේට පමණක් නොවේ ලෝකයේ උපන් හැම කෙනෙකුටම මේ ධර්මතාවය සිදුවෙනවා.

ඊළඟ දිනයේ පැවිදි රුවක් දුටු සිද්ධාර්ථ කුමරු මේ ගැනත් විමසුවා. අන්න අර ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න මඟක් සොයාගෙන යන ගමනක් එය. ඒ ගමන ගැන සතුටක් උපන්නා.

එහෙනම් මට මොන සැප තිබුණත් චක්‍රවර්ති රාජ්‍යය මට ලැබුණත් සුවිසල් මාලිගා තිබුණත් මහ පරිවාර ස්ත්‍රින් සිටියත් අමාත්‍යවරු සිව්වනක් සේනාවක් සිටියත් ධන නිදාන කොතරම් තිබුණත් මම අසරණයි. තව මොහොතකින් දුකට පත්වෙන්න පුළුවන්. මළ මුත්‍ර ගොඩේ ඇද වැටෙන්න ජරපත් වෙන්න පුළුවන් කෙනෙක්.

මේ දණ්ඩක එල්ලිලා අමු සොහොනක එල්ලි යන මල මිනියක් බවට පත්වෙන්න පුළුවන් කෙනෙක්. එහෙමනම් මේ ලෝකයේ රැෙඳන්න තැනක් තිබෙනවාද? මේ රජමාලිගාව ආරක්ෂිතද? ඒ හැමතැනම අනාරක්ෂිතයි. සිව් රඟ සේනාවෙන්වත් ආරක්ෂාවක් නැහැ. ඒ අවබෝධය මතම එදින රාත්‍රියේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුණා.

උන්වහන්සේ සියලුම දේ ගැන කලකිරිලා ගිය ගමනක්. එදා යශෝධරා, රාහුල දෙස බලා හෝ නාට්‍යාංගනාවන් දෙස බලා සතුටුවුණේ නැහැ. පෙර දා දැක්ක ජරපත් මහලු ස්වරූපය අර සුරූපි සිරුරු අතරින් උන්වහන්සේට පෙනුනා. මේ සුරූපි බවක් තිබුණට මේ තුළ සැඟවිලා දුකක් තිබෙනවා. වෙව්ල වෙව්ලා යන හිසේ කෙස් පැසුණ ඇස් ගිලුණ දත් හැලුණ හම රැලි වැටුනු කොරපතු හැදුන ජරපත් බව මේ සුරූපි සිරුරුවල සැඟවිලා තිබෙන අයුරු කුමරුවා අවබෝධ කොට ගත්තා. මේ සුරූපි සජීව සිරුර තුළ දැක්කා මළමුත්‍ර ගොඩේ වැටිලා අසරණ වෙලා ඉන්න අය. ඒ වගේම ඉදිමිලා නිල්වෙලා පණුවන් ගහල තිබෙන මල මිනියේ ස්වභාවය මේ රූප තුලින් දුටුව. උන්වහන්සේ රූපාධිස්කන්ධයන් පිළිබඳව කලකිරුණා. ඒවායේ නො ඇලුණා.

ඒවායින් මිදිලා ඈතට ගියා. මේ සඳහා පිහිට වුණේ ඡන්නයි. ඡන්න බණක් කිව්වේ. ඡන්නගේ බණ රූපාධියට කලකිරීම පිණිස නො ඇලීම පිණිස මිදීයාම වෙන්ව යාම පිණිස හේතුවුණා. එදා ඡන්න කිවුවේ බණක් තමයි. නමුත් අද වර්තමාන කාලයේ අපි බොහෝ විට මේ කලකිරීම නො ඇලීම මිදීම පිණිස භාවිතා කරන්නේ එදා ඇසතු බෝ රුක මුල වැඩහිඳ “පුබ්බේ අනනුස්සුතේතු ධම්මේසු” පෙර නොඇසූ විරූ දහමක් අවබෝධ කළා කියන තැනින් උන්වහන්සේ දේශනා කළ ධර්මය ද? එහෙම නැත්නම් ඡන්න එදා කියාදුන් ධර්මය ද? අද අප පිළිපදින්නේ කියා විමසා බලන්නට සිදුවෙනවා.

බොහෝ ධර්ම කතිකයන් රූපාධිස්කන්ධයේ කලකිරීම පිණිස බණ කියනවා. නමුත් ඒ කියන බණ ඡන්නගේ බණ සීමාව ඉක්මවා නැත්නම් ඒ තථාගත අනුශාසනා ඒ තුළ එකත වෙලා නැත්නම් නිබ්බිදා, විරාගා, නිරෝධා, අනුපාදා, විමුක්තෝ කියන තැනින් නතර වෙන්න බැහැ. අවසන් කරන්න බැහැ. හැබැයි වර්තමාන ලෝකයට ඡන්නගේ බණත් වටිනවා. එහි විවාදයක් නැහැ.

ඒ බණම අසමින් සිටියට සියල්ල නිමාවට පත් වන්නේ නැහැ සිද්ධාර්ථයන්ට ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් මිදෙන සොඳුරු තැන සොයාගෙන යන්න එය උපකාර වුණා පමණයි. ඒක මාර්ගය වුණේ නැහැ. අද අප ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කියා අපි හැසිරෙන දේ මා විශ්වාස කරන හැටියට ඡන්න කියපු බණ ඉක්මා ගිය බවක් නම් පේන්නෙ නැහැ. ඒ නිසා අපට “පුබ්බේ අනනුස්තේසු ධම්මේසු” ඒ සම්මතය ඉක්මවා ගිය දහමක් බුදුහාමුදුරුවෝ අවබෝධ කළා. පෙර නො ඇසු විරූ දහමක් අවබෝධ කළා කියන කොට අර අනුශාසනාව නිශ්ප්‍රභා වෙලා. උන්වහන්සේ අවබෝධ කළේ ඡන්න කිවූ දේ ම නොවේ. ඊට වැඩි දෙයක්. කාගෙන්වත් ඇසුවේ නැහැ. පෙර නොඇසූ විරූ දෙයක් අවබෝධ කළේ.

පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි.

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...