1ad14910d6fe73dbce70e467c49d9621_XL

අනෙකෙක් පෙරවූ සිවුරක් භාවිතා කර ධර්මපාලතුමා පැවිදි මොහොතේ දුන් ආදර්ශය

ධර්මපාලතුමන්ගේ 150වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගෙන් ලෝක බෞද්ධ ව්‍යාපාරයට සිදුවූ සේවය ගැන නිරන්තරයෙන් අවධානයට ලක් වෙයි. එසේම ඔහුගේ සුවිශේෂ පරමාදර්ශී චරිතය ගැන ද බොහෝ දේ ලියවී ඇත. එනමුත් එතුමන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සදහන්ව ඇත්තේ අල්ප වශයෙනි. සිය ජීවිතයේ අවසාන භාගයේ භික්ෂුත්වය ලැබීම නිසා උන්වහන්සේට බුදු සව්වෙක් වීමට හැකි වූයේ ඉතා කෙටි කලකට පමණි, උන්වහන්සේට උතුම් පැවිද්ද ලබා ගැනීමේ දී බලවත් බාධකයන්ට මුහුණ දීමට සිදුවීය. සිරි දේවමිත්ත හිමියන්ගේ පැවිදි දිවිය ගැන තොරතුරු සටහන් නොවීමට ‍මෙම පසුබිම හේතු විය. ආදර්ශවත් ජීවිතයක් ගත කළ ධර්මපාලතුමාණෝ පැවිද්ද ලබා ගත්තේ ඔහු ගිය මඟ යාමට සැරසුණු පිරිසක් සිටී නම් ඔවුනට ආදර්ශයක් වන පරිදිය.

ආත්මාර්ථය කවරක්දැයි කිසිසේත් නොදත් තම ජීවිතය මුළුමනින්ම පරාර්ථය උදෙසා කැපකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ චරිතය පිළිබඳව සලකන කළ පුදුමාකාර නිහතමානී, නිරහංකාර, කෘතවේදී, අල්පේච්ඡ, ගුරු ගෞරව ආදී ලක්ෂණ රාශියක් දැකිය හැකිය.

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 දින ජාතික, ආගමික, සාමාජික, ව්‍යාපාරික ආදි විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට ස්ථානයක් හිමි කරගත් මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ දම්පතින්ගේ පුත්‍රරත්නය ලෙස මෙලොව එළිය දුටු පින්වත් කුමරු දොන් ඩේවිඩ් නමින් හැදී වැඩුණේය.

එතුමා කිතුදහම ද බුදුදහම ද පිළිබඳ මනා අවබෝධයක් ලද්දේය. සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිසට සිත යොමු කරමින් හේ ලිපිකරු වෘත්තියෙන් ද ඉවත්ව අපරදිග නම ඉවතලා ධර්මපාල නම ලබා ගත්තේය.

එතුමා පළමුව අගාරික බව අත්හළේ ය. පසු කළ තම අනගාරික බවේ වඩාත් දුරදිග යමින් බුදු හිමි සව්වෙක් විය. මව්පියන්ට යැවූ පහත ලිපිය ඔහුගේ අල්පේච්ඡ බවත් උතුම් පරමාර්ථ සඳහා වූ බලවත් කැපවීමත් දක්වයි.

“එක පුද්ගලයකුගේ නොව සියලු ලෝකවාසීන්ගේ සැප ප්‍රාර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි. ලෞකික සැපයක් ඕනෑ නොකරන නිසාත්, බලාපොරොත්තු නොවන නිසාත් මට යමක් ඕනෑ නොකරයි… සම්පූර්ණයෙන් මගේ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි. මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක්වත් ලැබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ඨ කළොත් අප සියල්ලන්ගේම නිවන් මාර්ගය ලේසි වේ… සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්වයන් වහන්සේ ලෝක සත්වයා නිසා දුක් වින්ඳා නම් පුළුවන් පමණක් ලෝක සත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නොහැකි ද?”

එදා බුදු හිමි “චරක භික්ඛවෙ චාරිකං…” යනාදී ලෙසත් වදාළ ප්‍රකාශය මෙහිදී අපට සිහිවෙයි. ජීවිතයට ලෝක සත්වයාගේ දියුණුවට කැපවුණ ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධම්මපාල හාමුදුරුවෝ වූහ.

වර්ෂ 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේදී පැවිදි බිමට පත්වෙද්දී “මිය යාමට පෙර මගේ මේ දෑතින් භික්ෂු පාත්‍රය ගැනීම ආශාවක් විය. එය අද සපිරුණේ ය” යි ප්‍රකාශ කළේ ය.

ගිහියකුගේ වැදගත් අවස්ථා – මංගල්‍ය අවස්ථා දෙස බලන විට නිතැතින්ම පරණ ඇඳුමක් නොව අලුත් ඇඳුමක් ඇදීම සිරිතය. පැවිදිවීම උතුම් මංගල්‍යය කරුණකි. මේ අවස්ථාවේදී යම් අයෙකු පරිභෝග කළ සිවුරක් පැවිදිබිමට පත්වන පුද්ගලයා භාවිතා කළේ යයි කිවහොත් ධර්මපාලතුමාගේ චරිතය ගැන බලනවිට පුදුම විය යුතු නොවේ.

අල්පේච්ඡතාව

ධර්මපාලතුමා පැවිදි බිමට පත්වීමේදී පරිභෝග කළේ අම්බලන්ගොඩ, රන්දොඹේ මහාචේතිය පිරිවෙන ආරම්භ කරමින් දෙස් විදෙස් පතළ කීර්තිධර මහා පඬිරුවන් බිහිකළ මහා‍චේතිය පරිවේණාධිපති හා එම විහාරාධිපති තොටගමුවේ පඤ්ඤා‍මෝලි නාහිමියන් පරිභෝජනය කළ සිවුරකි.

ධර්මපාලතුමා ඒ හිමියන්ගෙන් උන්වහන්සේ පරිභෝග කළ සිවුරක් ඉල්ලා සිටීම නාහිමියන් වහන්සේට ද මහා ගෞරවයක් විය. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අත්‍යුදාර සේවාවක් කළ ධර්මාශෝක මහ රජාණන්ට පමණක් දෙවැනි වන ලෝක ධර්මදූත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා තමන් පරිභෝග කළ සිවුරක් හැඳ පැවිදිවීම යනු කොතරම් ගෞරවයක් දැයි උන්වහන්සේට සිතෙන්නට ඇත. එය ගුරු පරම්පරාවට කළ කෘතගුණ ගෞරව සේම පඤ්ඤාමෝලි නාහිමියන් සමඟ පැවති කුළුපගභාවය, සුහදත්වය, හිතෛෂි භාවය, ගෞරවය මනාව පිළිබිඹු කරන අතරම, ධර්මපාලතුමාගේ අල්පේච්ඡතාවය, නිරහංකාරත්වය වැනි උතුම් ගුණාංග ද පිළිබිඹු කරයි.

තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස නාහිමි‍යෝ එම සිවුර සමඟ පහත දැක්වෙන සුභාශිංසන ආශිර්වාදාත්මක ගාථාව ද සිය අත් අකුරින් ලියා යැවූහ.

“ධම්මපාලො මහා සත්තො
සන්තො සමණ කප්පියං
ඉමං චීවර මාදාය
පබ්බජිත්වා සුඛං වරෙ” යි මුළු හදවතින්ම ධර්මපාලතුමාට ආශිර්වාද කළහ.

ධර්මපාලතුමා පැවිදිවීමේදී අනිකකු පරිහරණය කළ සිවුරක් භාවිතා කළ බව කියැවෙතත් ධර්මපාලතුමා ගැන කියැවෙන ලියැවෙන ‍බොහෝ තැන්හි මේ පිළිබඳව එතරම් සඳහනක් දක්නට නොමැත. මෙම සිවුර කාගේදැයි බොහෝ දෙනා නොදනිති.

මාදම්පේ චේතිය ගිරි විහාරය පෘතුගීසි ආක්‍රමණයෙන් විනාශයට පත්ව නෂ්ට­ාවශේෂ කාගේත් සැලකිල්ලට ලක් නොවී පැවති අවධියේ තොටගමුවේ පඤ්ඤාමෝලි නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් පුනරාරම්භය විය. එම පුනරාරම්භයෙන් වසර සියයක් පිරුණු 2010දී නිකුත් කළ සියවස් සමරු මුද්දරය පිළිබඳව මුද්දර කාර්යාංශයේ මුල් දින ලියුම් කවරය තුළට බහාලන විස්තරයේදී මවිසින් මෙසේ සඳහන් කෙරිණි.

තොටගමුවේ පඤ්ඤා‍මෝලි නාහිමි

“… ප්‍රදේශය ගැන ද ආගමානුකූල දෙවියන් හා ඉතිහාසය ගැන ද මනා දැනුමෙන් යුත් රන්දොඹේ මහාචේතිය පරිවේණාස්ථානය ආරම්භ කොට වදාළ අමරපුර ගුණපාමොක්ඛාචරය ධම්මකිත්ති සිරි තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්සාභිධාන අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක හිමියෝ වර්ෂ 1910දී මේ ස්ථානය යළි බෞද්ධ විහාරස්ථානයක් ලෙසින් පුනරාරම්භ කළහ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හා සමීප සබඳතා පැවති පඤ්ඤාමෝලි තිස්ස මාහිමියන් වහන්සේ පෙරවූ සිවුරක් ධර්මපාලතුමා පැවිදිවීමේදී ලබාගත් අතර එය මිත්‍රත්වය මෙන්ම උන්වහන්සේ කෙරේ පැහැදීමෙන් පැවති ගෞරවනීය පිළිගැනීම ද පෙන්වයි. ශ්‍රීමත් වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිදුන් ද උන්වහන්සේගේ ගිහි ශිෂ්‍යවරයෙකි.”

දිනපොත

මෙම විස්තරය අඩංගු පත්‍රිකාව සහිත මුල් දින මුද්දර කවරය පඤ්ඤාමෝලි මහානායක හිමි පරපුරේ ත්‍රිපිටක පරියන්ති විශාරද වලගෙදර සෝමාලෝකතිස්ස මාහිමි හා පණ්ඩිත මාදම්පේ සෝමසිරි තිස්ස මාහිමියන්ගෙන් අනතුරුව වර්තමාන චේතියගිරි පුරාණ විහාරාධිපතිව කටයුතු කරන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක බම්බලපිටියේ ආනන්දතිස්ස මාහිමියෝ සිය දඹදිව බුද්ධභූමි වන්දනා අවස්ථාවේ බරණැස මූලගන්ධි කුටි විහාරාධිපති පැලවත්තේ සීවලී මාහිමිපාණන් වහන්සේට ප්‍රදානය කෙරිණි.

උන්වහන්සේ ඒ පිළිබඳ මහත් සතුටට පත්ව එහි සඳහන් සිවුර පිළිබඳව බොහෝසේ කථා කළහ. භක්ත්‍යානුමෝදනා වේදීද උන්වහන්සේ මේ පිළිබඳව බලවත් සතුටින් ප්‍රකාශ කළහ. ධර්මපාලතුමාගේ දිනපොතේ ද පැවිදිවීමේදී ලබාගත් සිවුර ගැන සඳහන් වෙතත් පඤ්ඤාමෝලි හිමියන් කවුරුන්දැයි බොහෝ දෙනා නොදත් බව කියැවිණ.

පැවිදිවීම හා සම්බන්ධිත මෙම සිවුර ගැන සඳහන් අතිශය වැදගත් බවත් එය දුන් පඤ්ඤාමෝලිතිස්ස හිමියන් ගැන විස්තර හා ඡායාරූපයක් ලබාදෙන ලෙසත් සීවලී හිමියන් කළ ඉල්ලීම පරිදි ආනන්දතිස්ස හිමියෝ පඤ්ඤාමෝලි තිස්ස හිමියන්ගේ ඡායාරූපයක් යැවූහ. මෙම ඡායාරූපය අද දඹදිව විහාරස්ථානයන්හි දක්නට ලැබීම ධර්මපාලතුමාගේ ජීවන තොරතුරු අගයන සැමට වැදගත් ය.

සිරිපාල මාදුවගේ

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...