10552422_754941054552483_6162609419239272449_n

බෞද්ධ වූ ඔබට කරුණාවෙනි

මාගේ දැක්‌ම

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

කාලය වෙනදාටත් වඩා ඉක්‌මනින් ගෙවී යන බවක්‌ දක්‌නට ලැබේ. ඒ, කාලයේ ඇති ගැටළුවක්‌ නොවේ. එනමුත් මනුෂ්‍යයා කාර්ය බහුල වීමේ ප්‍රතිඵලයකි. එහි අතුරු ප්‍රතිඵල වන්නේ ඇලීම් සහ ගැටීම්ය. එනම්. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස්‌වලට බලවත් ලෙස හසු වී පස්‌ පව්. දස අකුසල්වලට නොදැනුවත්වම යොමුවීමය. මෙම අවස්‌ථාව, බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ නම් සතියෙන් බැහැරව අසතිය ක්‍රියාත්මක වීමයි. මෙහි “සතියෙන් බැහැරව” යනුවෙන් අදහස්‌ කරන්නේ සතර සතිපට්‌ඨානයෙන් තොරවම කටයුතු කිරීමයි. එනම්. තම හොඳ නරක ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයෙන් තොර වෙයි.

බාහිර අරමුණු මුල් කොටගෙන පවත්නා හොඳ නරක සිතුවිලි, පිළිබඳ අවබෝධයෙන් තොරවෙයි. තම සිතේ, ඒ ඒ මොහොතෙහි පවත්නා ස්‌වභාවය පිළිබඳ අවබෝධයෙන් තොරවෙයි. දහම් මගෙහි කුසල්. අකුසල් මාර්ගය පිළිබඳ නිස අවබෝධයෙන් තොර වෙයි. මෙහි අවසන් ප්‍රතිඵලය නම් , තමාට පමණක්‌ නොව අන් අයටද විපත් ගෙන දෙන අඥන පුද්ගලයෙක්‌ බවට පත්වීමය.

වර්තමාන සමාජ පරිසරයෙහි වේගයෙන් සිදුවේගෙන යන්නේ කුමක්‌ද? සංඝ සමාජයේ හෙවත් ශාසනික පිළිවෙත් මාර්ගය පිළිබඳව ශාසනික භාරකාරත්වය ලබා ඇති අතිගරු නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් වහා ඉදිරිපත්ව යම් ක්‍රියා මාර්ගයන් ගත යුතු කාලය එළැඹී ඇත්තේ නොවේද? ඒ සමගම මූලික වශයෙන් ම බෞද්ධ ගිහි සමාජය කෙරේද බලවත් ලෙස සිදුවෙමින් පවතින අධර්මවාදී වැඩපිළිවෙළ නතර කිරීමට හෝ අඩුම තරමේ හීන කිරීමටවත් යම් ධර්ම විනයට අනුව වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට කාලය එළඹ ඇත්තේ නොවේද?

වර්තමානයේ ශාසනයෙහි සිදුවෙමින් පවතින බලවත් ගැටලුකාරී ස්‌වභාවයන් පිළිබඳව සමස්‌ත රටවැසියන්ම අවදියෙන් සිටින බව පෙනේ. සියලුම අන්‍ය ආගමිකයන් නොවුණත් සමහර කොටස්‌ බුදුදහමට සහ සඟ සසුනට නින්දා, අපහාස කරමින් සහ හානි කරමින් සිටිති. අන්තර් ජාලය ඔස්‌සේ ද වේගවත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙයි. ගිහි බෞද්ධ, යම් පුද්ගලයන්ගේ බොහෝ තාඩන පීඩන පමණක්‌ නොව ඝාතනය වීම් වැනි අවස්‌ථාවන්ටද පසුගිය කාලයේ සංඝ සමාජයට මුහුණදීමට සිදු විණි. සංඝ සමාජයට මෙවැනි අවස්‌ථාවන්ට මුහුණ පෑමට සිදුවී ඇත්තේ මුළුමනින්ම ගිහි සමාජයේ වරද නිසාම නොවේ. සංඝ සමාජයට ද එහි වගකීම බාර ගැනීමට සිදු වී තිබේ. බුදුදහමේ උගන්වන ලෙස ශාසනයෙහි පැවැතීමට හේතුවන ධර්ම විනය දෙකින් බැහැර වන විට සසුන පමණක්‌ නොව. දෙවියන්ද කෝපයට පත්වී රටක්‌, ලෝකයක්‌ පිරිහී යැමට අවස්‌ථාව සැලසෙනු ඇත. රට, ජාතිය, ආගම වැනි කුමන කරුණකදී වුවද, ප්‍රශ්න ඇති වූ විට, ඒවාට විසඳුම් සෙවිය යුත්තේ ධර්ම විනයට මුල්තැනක්‌ දීම හා සමගම බව මාගේ බලවත් විශ්වාසයයි. එසේ නොමැතිව විසඳුම් සොයන්නට යැමෙන්. සම්බුදු සසුනට සිදුවන බලවත් හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකි වනු ඇත. විවිධ පුද්ගලයන් සංඝ සමාජයේ පෙනී සිටිමින්, ශාසන විරෝධී කටයුතුවල නිරතවීම නිසා බුදු සසුනට සිදුවන හානියද බොහෝය. මෙවැනි බොහෝ ශාසන විරෝධී කටයුතුවල යෙදෙන අය, හැබෑ ලෙස පැවිදි උපසම්පදා වී යහපත් වූ ගුරු ආශ්‍රයක්‌ ඇතිව නොවෙසෙන්නන් ද විය හැකිය. එයට හේතුව නම් බුදු සසුනෙහි ඇති නිදහස වැරදි ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. කෙසේ වෙතත්, අප රටෙහි වෙසෙන දහස්‌ ගණනක්‌ සිල්වත්, ගුණවත් භික්‍ෂූන් වහන්සේලා සමගින් මේ සම්බුදු සසුන රැකිය යුතුය.

වර්තමාන බෞද්ධ ගිහි සමාජයේ ද වේගවත් වූ පරිහානියක්‌ සිදු වෙමින් පවතින බව පෙනේ. එනමුත් සඳහන් කළ යුතු යමක්‌ ද ඇත. එනම් ලක්‍ෂ ගණනාවක්‌ ගුණ නුවණින් පිරි, බාල තරුණ වැඩිහිටි පිරිස්‌ද සිටින බවය. පින්වත් වූ ස්‌වාමින් වහන්සේලා ද උගත්. සැදැහැති ගිහි බෞද්ධ පිරිස්‌ද එකතුව චරිතාදර්ශනයෙන් යුතුව, ගිහි බෞද්ධ සමාජයේ ලෞකික දියුණුවටද ආධ්‍යාත්මික දියුණුවටද හේතුවන කාලෝචිත වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීම සුදුසු ය. අපට රටක්‌ වශයෙන් එකටම මෙය කළ නොහැකි නම්, ගමක්‌ වශයෙන් ගෙන හෝ මෙය කිරීම අවශ්‍යය. සෑම ගමකම පාහේ බෞද්ධ විහාරස්‌ථානයක්‌ පවතී. මෙය එසේ නොවන්නේ නම් උතුරු නැගෙනහිර පලාත්වලය. එසේ නොවන්නේ බෞද්ධ ජනයා නොමැති ප්‍රදේශවලය. අප පින්වත් ස්‌වාමින් වහන්සේලා තම විහාරස්‌ථානය මුල්කොට පවත්වන්නා වූ දහම් පාසල, දායක සමිතිය, සීල භාවනා පිරිස ආදී ලෙසින් එකතු වී සදහම් වැඩපිළිවෙළ සකස්‌ කර ගැනීම සුදුසුය. ගමේ පළාතේ වෙසෙන සමහර පුද්ගලයන්ගේ බොහෝ අඩුපාඩුකම් පැවතිය හැකිය. යම් විටෙක, විහාරස්‌ථානයේ දේවල් සොරකම් කරන කොපමණ යහපතක්‌ කළත් ඒ ගැන කතා නොකොට අඩුපාඩුම සොය සොයා දොස්‌ කියන පුද්ගලයන් සිටිය හැකිය. එනමුත්. අප බුදු දහම සහ සඟ සසුන, රැක ගතයුතුය. එය නියම ආකාරයෙන් රැක ගත යුත්තේ රණ්‌ඩු දබර කර ගැනීමෙන් ද නොවේ. මේ නිසා මිනිසුන්ගේ අඩුපාඩු දෙස උපේක්‍ෂාවෙන් බලමින්, යහපත් වූ විවිධ මාර්ග ඔස්‌සේ විහාරස්‌ථානයේ නායකත්වයට සමීප කර ගැනීමට උත්සාහ ගත හැකිය. බොහෝ බෞද්ධයන් විහාරස්‌ථානයෙන් මිල මුදල් හෝ බඩු බාහිරාදිය බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේ කරුණාව සහ මෛත්‍රියයි. එනමුත්, අවශ්‍ය පරිදි මෙන්ම, හැකි පරිදි දුප්පත් දායක ඇත්තන්ට හැකියාවක්‌ ඇති දායක පිරිස්‌ මෙහෙයවා උදව් උපකාර කිරීම අගනේය. වර්තමානයේ අන්‍ය ආගමිකයෝ ගම් දනව් පුරා හැසිරෙමින් විවිධ ආකාරයේ උදව් උපකාර කරමින්ද, ලෙඩ දුක්‌ සුව කරනා කියන මුවාවෙන්ද බෞද්ධ පිරිස්‌ තම ආගම්වලට හරවා ගැනීමේ විශාල ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කොට තිබේ. අප පළමු කොට උත්සාහ ගත යුත්තේ, “අන් අය බෞද්ධයන් බවට පත්වීම අගනේය” යන අදහසට පෙර අපගේ සිටින බෞද්ධ ජනයා ධර්මානුකූලව, ආධ්‍යාත්මික වශයෙන් රැක ගැනීමය. ආර්ථිකමය වශයෙන් රැක ගැනීමය. උසස්‌ අධ්‍යාපනයට යොමු කරමින් උගත්කම් සහ නැණ නුවණින් රැක ගැනීමය. මේ සඳහා අප පින්වත් ස්‌වාමින්වහන්සේලා මෙන්ම සැදැහැති, උගත් දායක පිරිස්‌ද එකතුවීම අවශ්‍යය. ගමේ සමහර දායක ඇත්තන්ට සමාජය පිළිගත් උගත්කම් නොමැති වුවද මනා වු ශ්‍රද්ධාවත්. පරිණත බවත් ඇත්තේය. සමහර තරුණ දරුවන්ද ශ්‍රද්ධාවෙන් යුතුව විහාරස්‌ථානවල කටයුතුවලට සම්බන්ධව කටයුතු කරනු පෙනෙන්නට තිබේ. විශාල වශයෙන් උගත් තරුණ දරුවන් බුදුදහමේ පිළිවෙත් මාර්ගයට සමීප වී සිටින බව පෙනේ. එනමුත්, මේ සියලු සංවිධාන සහ එකතුවීම් ශ්‍රද්ධාවෙන් යුතුව ධර්ම විනයට මුල්තැනක්‌ දීමෙන් ම ක්‍රියා කිරීම අවශ්‍යය. එසේ නොමැති වුවොත්, වැරදි ක්‍රියා ඇතිවීම මෙන්ම අසමගිකම් ද ඇතිවිය හැකිය.

ශාසනික ගැටලු ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්‌සේ සාකච්ඡා කිරීම හෝ වාද විවාද කර ගැනීම සුදුසු නොවන්නේ, ඉන් සිදුවන යහපතට වඩා අයහපත වැඩි බැවිනි. හේතුව නම් අන්‍ය ආගමිකයෝ ද ඒවා අසන, බලන බැවිනි. සමහරු ඒවාම බුදුදහටම නින්දා කිරීමට යොදා ගන්නා අයුරු අන්තර් ජාලය ඔස්‌සේ පෙනේ. සමහර දෘෂ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය (රූපවාහිනී, ගුවන් විදුලි, පත්තර) යහපත් දෙයට වඩා අයහපත් දෙයම මතුකොට පෙන්වති. ලියති. මේ රටේ දහස්‌, ගණනක්‌ භික්‍ෂූන් වහන්සේලා විසින් අප රට, ජාතිය සහ දහම වෙනුවෙන් කොපමණ නම් සේවයක්‌ සිදු කරන්නේද? එහෙත්, බොහෝ විටෙක වැරදි පමණක්‌, වඩාත් මතුකොට පුවත්පත්වල මුල්පිටුවලම පළ කරති. සමහරවිට එම වැරදි සිදු කොට ඇත්තේ චීවරයට මුවා වූ පුද්ගලයෙක්‌ විනා හැබෑ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නොවිය හැකිය. “චීවරධාරියෙක්‌ නම් වූ වචනය ද යොදා, සමස්‌ත සඟ සසුනටම මහත් නින්දාවක්‌ ලබා දෙයි. කවරෙක්‌ වුවද සිදු කරන වැරදි සැඟවිය යුතු යෑයි මින් අදහස්‌ නොකෙරේ. එවැනි දෙයට, නායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේලා විසින් සුදුසු ශාසනික වැඩපිලිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුමය. එවැනි වැරදිවලට ශාසනික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග විනයෙහි දක්‌වා තිබේ. විනය නීති පමණක්‌ ප්‍රමාණවත් නොවන්නේ නම්, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළකට යා යුතුය. එසේ නොමැතිව, ඒවා ගැන තීරණ ගැනීමට හෝ විසඳීමට මාධ්‍යයන්ට ඉඩ සැලසීමෙන් සිදුවී තිබෙන්නේ විශාල පරිහානියකි. ශාසන දයාවෙන් යුතු ගිහි පැවිදි දෙපාර්ශ්වයම මේ පිළිබඳව සංවේගයට පත්ව සිටිති.

බෞද්ධ දරු දැරියන් සහ විශේෂයෙන්ම තරුණ දරුවන්ගේ හැදියාව, සංවරය සහ පැවැත්ම කෙරේද අවධානය විශේෂයෙන්ම යොමු කළ යුතු කාලය එළඹ තිබේ. වර්තමාන තරගකාරී අධ්‍යාපනයෙහි විෂය කරුණුවලට පමණක්‌ම මෙන්ම, විභාගම ඉලක්‌ක කරගෙන දරුවන් ඉගෙනීම නිසා බොහෝ දරුවන් වෙතින්. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය, ඔවුනොවුන්ට උපකාර කර ගැනීම, ගුරු දෙමාපියන්. වැඩිහිටියන්ට ගරු කිරීම ආදී බොහෝ සාරගුණ වේගයෙන් ගිලිහී යන බවක්‌ පෙනේ. මේවාට, ව්‍යාපාරික අදහස්‌ පමණක්‌ ඇති, එනමුත් සාරධර්ම කෙරේ සැලකිල්ලක්‌ නොදක්‌වන අධ්‍යාපන ආයතන, විද්යුත් මාධ්‍ය, සඟරා, අන්තර්ජාලය, ජංගම දුරකථන ආදිය විශාල දායකත්වයක්‌ දක්‌වන බව පෙනේ. අන්තර්ජාලය උපකාරී කරගෙන බොහෝ යහපත් දෙය ප්‍රයෝජනයට ගත හැකිය. බොහෝ දරුවෝ යහපත් ප්‍රයෝජන ගනිති. එහෙත්, තවත් යහපතට පෙළැඹී ජීවිතය ද විනාශ කර ගනිති. මේ සඳහා ගුරු දෙමාපියන්ගේ බලවත් සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය. දිනපතා පාසලෙන් මෙන්ම, අපගේ දහම් පාසල් ඔස්‌සේ ද ජීවිතවල ඇති වටිනාකම, දරුවන්ට වඩ වඩාත් මතුකොට දක්‌වා උගන්වමු. හොඳ නරක පෙන්වාදී නරකයෙහි ඇති බලවත් වූ පාපී වූ සහ විනාශකාරී ආදීනවය පෙන්වා දෙමු. වර්තමාන දියුණු ලෝකයේ කිසිවක්‌ සැඟවිය නොහැක. එමනිසා, හොඳ නරක පෙන්වාදී හොඳ අනුගමනය කරන්නටත්, නරකින් වළකින්නටත්, දරුවන්ගේ “හදවත්වලටම” කතා කරමු. සියලුදෙනාම නොවුණත්, බොහොමයක්‌ දෙමාපියෝ දරුවන්ගේ ගුණ නුවණ දියුණු කිරීම අමතක කොට පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පටන්, තරගය ජය ගැනීමට පමණක්‌ පොළඹවති. තරගකාරී විභාගවලින් ද ජයගෙන ඉහළටම ගිය දරුවෙක්‌ වුවද, අම්මා, තාත්තා හෝ අප්පච්චි කියා දෙමාපියන්ට ගරු කරන්නට, වන්දනා කරන්නට නොහැකි නම්, “ඒගොල්ලන් මොනවා ද මට කර තිබෙන්නේ” යනුවෙන් අසමින් දෙමාපියන් පහත් කොට සළකන්නේ නම්, එවැනි දරුවෙක්‌ කොපමණ ලෞකික ඉගෙනීමෙන් ඉහළට ගියත් ඇති ප්‍රයෝජනය කුමක්‌දැයි ඔබම සිතා බලන්න.

ඇඳුම් පැළඳුම් පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වීම අවශ්‍යය. මේ රටේ සංස්‌කෘතියට අනුව විශේෂයෙන්ම සිංහල, බෞද්ධ සංස්‌කෘතියට අනුව දරුවෙක්‌ කුඩා කල සිටම “ලැඡ්ජා බය” ඇතිව හැදිය යුතුය. ඇඳුමෙන් යම් පරිසරයක්‌ “නිවිය” හැකි මෙන්ම නොසන්සුන් කළ හැකිද වන්නේය. වර්තමානයේ සිංහල බෞද්ධ දියණිවරුන් ද ඇඳුම පැළඳුමේ ඇති සංවරය පිළිබඳ සැලකීමක්‌ නොදක්‌වා. අඳින්නට පුරුදු වීම අවාසනාවකි. සියලුම දරුවන් නොවුණත් ඇඳුමේ පැළඳුමේ අසංවරවීම් වැඩිවෙමින් පවතී. සමහරුන් පූජනීය ස්‌ථානවලට යැමේදී පවා මේ ගැන සැලකිල්ලක්‌ නොදක්‌වති. ලාංකික පරිසරයෙහි විහාරස්‌ථානයකට ගිය විට බොහෝ විට බිම හිඳ ගැනීම සිරිතයි. බිම හිඳගන්නා විට මැනවින් දෙපා පටන් ආවරණය විය හැකි ඇඳුමකින් සැරසීම සංවර බව ඉස්‌මතු වී පෙනෙයි. එමෙන්ම හැකිතාක්‌ දුරට සුදු හෝ සුදට හුරු ඇඳුමක්‌ම වීමද විහාරස්‌ථානයකට ගැළපෙන්නකි.

විහාරස්‌ථානයට ගිය විට බුදු මැදුරේදී, දාන ශාලාවේදී, ධර්ම ශාලාවේදී හෝ ස්‌වාමින්වහන්සේලා ඉදිරිපිට වාඩිවෙන විට, ඔබ ගිලන් නොවේ නම් ඉදිරියට දෙපා දිගු කරගෙන වාඩිවීම, අසංවරය, හැකිතාක්‌ දුරට දෙපා නමාගෙන (බද්ධ පර්යංකය හෝ අර්ධ බද්ද පර්යංකය) අගනේය. කුඩා කල සිටම එසේ හිඳ ගැනීමට, අපගේ දරුවන් පුරුදු කළ යුතුය. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල ජනයා පෙළට, ශරීර සෘජුව තබාගෙන සන්සුන්ව වන්දනා කරන අයුරු ඔබ ඡායාරුපවලින් හෝ දැක තිබෙන්නට පුළුවන.

මත්වතුර, මත්ද්‍රව්‍ය, කාන්තාවන් මුදල් සඳහා දුරාචාරයට පෙළැඹීම් ආදියද මහත් ව්‍යසනයකි. බෞද්ධයෝ ද බහුල වශයෙන් මේවාට පෙළැඹී සිටිති. අප කෙසේ හෝ ටික ටිකවත් අපගේ පිරිමි පක්‍ෂය මත් වතුරෙන් සහ මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට හැකිතාක්‌ දුරට උත්සාහ ගත යුතුය. අපි පාසල් දරුවන්ගේ පටන් දරුවන්ට නිතර මේ ගැන කතා කරමු. වැඩිහිටියන්ට කතා කරමු. අපගේ දියණිවරුන්ට, ඉක්‌මන් සහ පහසු මුදලට වඩා ජීවිතයේ සහ චරිතයේ ඇති ශේ්‍රෂ්ඨකම ගැන පෙන්වා දෙමු. එවැනි දෙයකට පෙළඹුණු අයෙක්‌ අම්ම කෙනෙක්‌ ලෙස හෝ චරිතයක්‌ ඇති කාන්තාවක්‌ ලෙස සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? මේ අනිත්‍ය වූ ලෝකයේ සිතට වහල් නොවී, දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් ගැන සිතන්නටත් එමගින් දැහැමි ජීවිතයකට සමීප වීමටත් බුදුදහම උගන්වන පාඩම්, අපි කුඩා කාලයේ පටන් දන්නවා නොවේද? තව බොහෝ දේ ලියන්නට තිබුණත් ලිපිය දීර්ඝ වන බැවින් අවසන් කරමි. මේ සියලු දෑ සඳහන් කළේ කරුණාවෙන් සහ මෛත්‍රියෙනි. අප බෞද්ධයන් ලෙස ලෞකික වශයෙන් දියුණු විය යුතුය. එනමුත් දැහැමි ලෙසය. බුදුදහමෙන් ඈත්ව නොවේ. අප ආධ්‍යාත්මික වශයෙන් දියුණු විය යුතුය. පාපී චරිත නොවිය යුතුය. ධර්ම විනයෙන් තොරව සොයන හෝ ලබන කිසිදු යමක්‌ හැබෑ විසඳුම හෝ සැනසුම නම් නොවේ.

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...