10341615_10152259931358687_2732986468530177727_n copy

ඉංගිරිසින් හමුවේ දළදා වහන්සේ රැකදුන් කිතුල්පේ කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)

වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය.

ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ජල දුර්ග වන දුර්ගයෙන් සුරක්ෂිත වූ කිතුල්පේ කියන ගමෙහි ඒ අවස්ථාවට සුදුසු ලෙස කළ මාළිගා මන්දිරයට වැඩමවා තේවාව ආදී බුද්ධ පූජා පවත්වමින් දිවා රාත්‍රි දෙක්හි අප්‍රමාදත්වයෙන් යෙදී තුන් ලෝ වාසීන්ට වැඩ පිණිස බුදුන් වදාළ උතුම් රුවන් සූත්‍ර සතිපට්ඨාන සූත්‍රාදී වත් පිරිත් නොකඩ කොට පවත්වමින් (දළදා විත්තිය සංස් : පුංචි බණ්ඩාර සන්නස්ගල)

මේ සිද්ධිය ඒ.සී.ලෝරිගේ ‘ගැසටියර් ඔෆ් සෙන්ට්‍රල් ප්‍රොවින්ස්’ කෘතියේ ද සඳහන් කර ඇත. එයට අනුව ඉංග්‍රීසින් පළමු වරට උඩරට ආක්‍රමණය කළ විට දළදා වහන්සේ කෙවුල්ගම සිට කිතුල්පේට වැඩමවා ඇත. (දිගිලිය නුවර – ප්‍රැන්සිස් බුලත්සිංහල 52 පිට)

අනෙක් පළාත්වල මිනිසුන් කෙරෙහි රජුගේ විශ්වාසයක් නොතිබුණු නමුත් හේවාහැට මිනිසුන් කෙරෙහි රජ තුළ විශ්වාසයක් විය. 1813 පමණ කාලයේදී කිතුල්පේ ගම රජු ගේ මුළුතැන්ගේ රාජකාරි සඳහා ගනු ලැබූ බව ද ලෝරි සඳහන් කරයි. (දිගිලිය නුවර – ප්‍රැන්සිස් බුලත්සිංහල 53 පිට)

ඉංග්‍රීසීහු මහනුවර යටත් කරගෙන ඊට පසු රජු සොයා හඟුරන්කෙතට ද පැමිණියහ. ටික දිනකින් නැවත ඉංග්‍රීසීන්ට පහර දුන් සිංහල සේනා ඔවුහු වැඩි පිරිසක් විනාශ කර කොළඹට පලවා හැරියහ. ඉංග්‍රීසිහු හඟුරන්කෙතට පැමිණි බව ආරංචි වූ වහාම දළදා වහන්සේ රහසින් වෑගම රජ මහා විහාරයට රැගෙන ගොස් සඟවා තිබේ.

තෙදිනකට පසු අනතුරු පහව ගිය විට යළිත් කිතුල්පේට රැගෙනවිත් පුද පූජා පවත්වා ඇත. ටික කලකින් නැවත හඟුරන්කෙත අරත්තන රජමහා විහාරයටත් එතැනින් වල්ලිවෙල ගමේ අලුතින් ඉදිකළ දළදා මැදුරකටත් ගෙන ගොස් ඇති බව දළදා විත්තිය සඳහන් කරයි. වල්ලිවෙල සිට යළිත් කිතුල්පේට වැඩම වූ දළදාව යුද බිය තුරන් වූ ඉක්බිති මහ පෙරහරින් කුණ්ඩසාලේ විහාරයට ද එතැනින් 1803 පොසොන් මාසයේ දී මහනුවර දළදා මාළිගයට ද රැගෙන ගොස් ඇත. (දළදා විත්තිය)

දළදා වහන්සේ කිතුල්පේ වැඩ සිටි සමයෙහි උන් වහන්සේට කිතුල්පේ අප්පු නයිදේ නමැත්තා පූජෝපහාර දක්වා ඇත. එමෙන්ම දළදා වහන්සේ රැකබලා ගත් භික්ෂූන් වහන්සේට උපස්ථාන කර ඇත. අප්පු නයිදේ දළදා මාලිගාවේ කංකානම කෙනෙකි. ඊට පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම සේවයට කෘතගුණ සැලකීම සඳහා 1804 දී ඔහුට සන්නසකින් ඉඩකඩම් පිරිනමා තිබේ. එම සන්නස ඒ.සී.ලෝරි පළ කර ඇත. එම සන්නසේ මෙසේ සඳහන් වේ.
”ඉංග්‍රීසින්ගේ අවුල් වියවුල් පැවැති කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ කිතුල්පේට වැඩමකර සිටිද්දී මාළිගාවේ කංකානම කෙනෙක් වූ කිතුල්පේ අප්පු නයිදේ විදානකාරයා නමැත්තෙක් එයට පූජෝපහාර දැක්වීය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරමින් එහි සිටි භික්ෂූන් වහන්සේලාට ඇප උපකාර කරනු ලැබීය.”

ඊට පසු යළිත් කිතුල්පේ දළදා වහන්සේට රැකවරණ සලසන ස්ථානයක් බවට පත්ව ඇත්තේ ඉංග්‍රීසින් යළිත් උඩරටට බැල්ම හෙළන්නට වූ 1814 දී යැ. එම අවස්ථාවේ දී ධාතූ®න් වහන්සේ බඹරගල විහාරයටත් ඉන් සති තුනකින් මැද මහනුවර මාළිගයටත් ඉන් සති හතරකට පසු තලගුණේ විහාරයටත් එහි සිට මැදිවක විහාරයට හා වේඬරුවේ විහාරයටත් රහසේ රැගෙන ගොස් පසුව හේවාහැට කිතුල්පේට වැඩමවා ඇත. මේ බව බඹරගල විහාරයේ ඇති පැරැණි ලිපියක සඳහන් වේ. (කොත්මලේ ඉතිහාසය විමල් රණතුංග 49 පිට)
මෙලෙස තැන් තැන්වල අප්‍රසිද්ධියේ තබන්නට සිදුව ඇත්තේ වැඩි ආරක්ෂාවක් තහවුරු කිරීම සඳහා ය. ජීවමාන බුදුන් හා සමාන දළදා වහන්සේ රැක ගැනීමට එවකට භික්ෂූන් වහන්සේලා කෙතරම් දුක් විඳිමින් කැප වුණා දැයි මෙම සිද්ධින්ගෙන් පැහැදිලි වේ.

කිතුල්පේ යනු කිතුල් ගස් බහුල වනයයි. දැනුදු මේ අවට කිතුල් බහුල ය. දළදා වහන්සේ වැඩ සිටි බවට විශ්වාස කෙරෙන කිතුල්පේ රන්පත්ගේ විහාරය වෙත මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී.15කි. මේ අවට මාර්ගයේදී අවට පිහිටා ඇති කඳු වැටි සහ කෙත් යාය නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි.
කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන් හාරදහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හත්ගොඩ (මල්අස්ගොඩ) කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැඟී සිටී. මල්අස්ගොඩ කන්ද වක්‍රාකාර කඳුගැටයක් වන අතර කිතුල්පේ විහාරයේ එකතු වන මල් අස් කළ තැන ලෙස ද සැලකේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් හත් දෙනා මැරූ තැන ලෙස ද තවත් ජනප්‍රවාදයකි. මාමාලා අස් ගැහූ ගොඩ මල්අස්ගොඩ වී යයි පැවසේ.

උඩරට රාජ්‍යයේ බෙදීම් අනුව කිතුල්පේ හේවාහැට රටට අයත් වූ අතර රටේ මහත්මයකුගේ පාලනය යටතේ පැවතුණි. උඩරට ඉංග්‍රිසි නේවාසික නියෝජිත වශයෙන් සිටි ජෝන් ඩොයිලි තම දිනපොතේ 1815 මාර්තු 22 දාතමින් සඳහන් කරන්නේ කිතුල්පේ ගම අවුරුදු ගණනකට පෙර කන්දේ නුවර (මහනුවර) මහා විහාරයට පූජා කරන ලද ගමක් බවයි. අවුරුදු දෙකක පටන් රජතුමා (ශ්‍රී වික්‍රම රාජසිංහ) දිසාවවල මිනිසුන් සැක කර කිතුල්පේ එම කුඹුර තම තහනමට ගෙන මුළුතැන්ගෙයි ප්‍රයෝජනයට යෙදීය. මෙම ගම නැවත විහාරයට පූජා කිරීමට තමන් කටයුතු කරන බව ඩොයිලි සඳහන් කර ඇත. (ඩොයිලිගේ දින පොත පරි: ධර්ම ශ්‍රී ගුණපාල පිට 253).

කෙත් යායක් අද්දර උස්බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැඟිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින් තැන දැකගත හැකි ය.

මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී. 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංග්‍රීසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය.
ඒ අනුව දළදා වහන්සේ විහාර භූමියේ තැන්පත් කළා වීමට ද ඉඩ තිබේ. මෙහි පැරැණි විහාර මන්දිරය ජරාවාසව තිබී ක්‍රි.ව.1909 දී ප්‍රතිසංස්කරණය කළ බව එහි දොර උළුවස්සට ඉහළින් ඇති සටහනින් පැහැදිලි වේ. එහි දී විහාරයේ පැරණි අංග ලක්ෂණ විනාශ වී ගියා විය හැකි ය.

මෙම ප්‍රතිමා මන්දිරයේ ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් බැගින් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින් මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...