මැලේසියාවේදී ඇල්ලූ කොටි ලංකාවට එවයි

ප්‍රේමලාල් විජේරත්න

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පිළිබඳ ත්‍රස්ත විමර්ශන අංශයට අවශ්‍යව සිටි පසුගියදා ජගත් පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබියදී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනා පෙරේදා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

ඩයස්පෝරාවට සම්බන්ධ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් හෙළිකර ගැනීම සඳහා ඔවුන්ගෙන් දැනටමත් ප්‍රශ්න කිරීම ආරම්භකොට තිබේ.
ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනකු මැලේසියාවට ගොස් එරට රාජකීය පොලිස් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි මේ සැකකරුවන් තිදෙනා පෙරේදා රාත්‍රි මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

පසුගිය 15 දින මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ සන්දලිංග රාජා කුෂාන්තන් නොහොත් එල්.ටී.ටී.ඊ. නමින් හඳුන්වන මුල්ලි චෙල්වම් නමැත්තාත් යාපනයේ නල්ලූර්හි පදිංචි මහාදේවන් කිරුබාකරන් සහ සෙල්වතුරෙයි කිරුබානන්දන් නමැති නල්ලූර්හි පදිංචි සැකකරුවන් තිදෙනායි.
අත්අඩංගුවට ගනු ලැබූ සන්දලිංග රාජා කුෂාන්තන් නමැත්තා 1994 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයට බැඳී හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කිට්ටුවන්තයකු වූ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ පුරෝගාමියා වූ ශංකර්ගේ සහෝදරයාගේ දුව සමඟ විවාහ වීමට ප්‍රභාගේ විශේෂ අවසරය ලබාගත් අයකු බවද පොලිසිය පැවැසීය.

මෙම සැකකරු 2004 වසරේ මැලේසියාවට ගොස් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරී කටයුතු මෙහෙයවා ඇති අතර ප්‍රතිසංවිධානවලටද සහාය වූ අයකු බව හෙළිවී තිබේ.
දෙවැනි සැකකරු වන මහාදේවන් කිරුබාකරන් නමැත්තා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංගීත කණ්ඩාමට බැඳී නෝර්වේ බලාගොස් සංගීත වාදනයේ සහ ගීත කියමින් ලොවපුරා එල්.ටී.ටී.ඊ. ප්‍රචාරක කටයුතු ගෙනගිය අයකු බව හෙළිවී තිබේ.
මේ අතර තුන්වැනි සැකකරු වන සෙල්වතුරෙයි කිරුබානන්දන් නමැත්තා නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 1999 පොට්ටු අම්මාන්ගේ එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයට බැඳී 2006 වසරේ මැලේසියාවට පැනගොස් 2013 මැලේසියාවේ මහවිරු සමරුව සංවිධානය කළ එල්.ටී.ටී.ඊ. ප්‍රතිසංවිධාන කටයුතුවලට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ අයෙකි.

මේ අතර පසුගිය මාර්තු 06දා සිට මේ දක්වා එල්.ටී.ටී.ඊ. ප්‍රතිසංවිධාන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 46 දෙනකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් හයදෙනකු කාන්තාවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවැසීය.
පසුගියදා එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධවී ආරක්‍ෂක හමුදා අතින් වෙඩි කා මියගිය ‘ගෝබි’ නමැත්තාට පැනයෑමට උදවු දී ඇති වවුනියාවේ පදිංචි මුත්තුලිංගම් ගජවර්ධනම් නමැති සැකකරු සහ ඔහුගේ පියා වන ගනේෂ් මුත්තුලිංගම්ද ගෝබිගේ ජංගම දුරකතනයේ සිම්කාඩ් පත හිමිව තිබූ විජේකුමාර් කේදීෂ්වරන් නමැත්තාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...