වෙස්‌ තට්‌ටුව ගලවා පරණ යකඩවලට විකුණන ප්‍රදීපා

වෙස්‌ තට්‌ටුව එක තැනකය. යාත්‍රාව තව තැනකය. සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සඡ්Cධායාන මැදින් මොණර වෙස්‌ ගෙන සුබ මොහොතින් හම්බන්තොට වරායට ඇතුළු වුණු ප්‍රදීපා යාත්‍රාව ආශ්චර්යේ ගමනින් පසු එක තැන්ව ඇත. වසර දෙකකටත් වැඩි කාලයක සිට ගාලු වරායේ කරදියට දිය වෙන්නේය. ඊට යාබදව වෙස්‌ තට්‌ටුව පොළවටම දිරාපත් වන්නේය.

එක පිට එක පෙරළී එන රළ ප්‍රදීපාගේ බඳේ වැදී බිඳී යයි. එක සීරුවට කඩා හැළෙන හිරු ප්‍රදීපාව රත් කරයි. ලණුවකට සිර වී සිටින ප්‍රදීපා එක තැන පැද්දෙයි. අපි බලා හිඳිමු. මේ ලුණු වතුරට දිය වී යන්නේ ජාතියේ සම්පත් යෑයි සිතෙන විට හදවත කීරි ගැසෙන්නේය. ප්‍රථම වරට හම්බන්තොට වරායට ඇතුළු වූ ඓතිහාසික යාත්‍රාව බව හැඟෙන විට තව තවත් සිත හඬා වැළපෙන්නේය. එහෙත් අප කනගාටුවෙන් හෝ ප්‍රදීපා යාත්‍රාවට අත්ව ඇති ඉරණම තේරුම් ගත යුතුය.

කාලයක්‌ ශ්‍රී ලංකා වරායට සේවය කළ ප්‍රදීපා යාත්‍රාව මියෑදෙන්නට පෙර වරාය අධිකාරිය විසින් බලහත්කාරයෙන් මරන්නට සැලසුම් කරන්නේය. එනම් ගාලු වරායේ නැංගුරම් ලා තිබෙන ප්‍රදීපා යාත්‍රාව වරාය අධිකාරිය විසින් පෞද්ගලික සමාගමක්‌ වන රුබි මාර්කටින් සේවා සමාගමට අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දමන්නේය. එම සමාගම ප්‍රදීපා යාත්‍රාව යකඩවලට කුඩු කරන්නේද? එසේ නොමැති නම් නැවත අලුත්වැඩියා කර සේවයේ යොදවන්නේද යන්න වරාය සේවකයන් තුළ ඇත්තේ දෙගිඩියාවකි.

කතාව පෙළ ගැසෙන්නේ මෙසේය. අපි ප්‍රථමයෙන් ප්‍රදීපා යාත්‍රාවේ ඉරණම් කතාව කියවමු. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රදීපා යාත්‍රාවට දැන් වයස අවුරුදු විස්‌සකට වැඩිය. මෙම යාත්‍රාව කිරින්ද ප්‍රදේශයේ පිහිටි කුඩා රාවණා, මහා රාවණා යන ප්‍රදීපාගාර දෙකට (ලයිට්‌ හවුස්‌) සේවය සැපයීමට පමණක්‌ යොදවා තිබූ බැවින් මෙම යාත්‍රාවට ‘ප්‍රදීපා’ යන නම පටබැඳී තිබේ. මෙරට ප්‍රදීපාගාරවල අයිතිය ඇත්තේ එංගලන්තයේ එම්පීරියල් ලයිට්‌ හවුස්‌ ආයතනයටය. ප්‍රදීපා යාත්‍රාව මෙරටට ගෙනැවිත් ඇත්තේ එම ආයතනය විසිනි. එකල මේ යාත්‍රාවටම වෙන් වුණු කාර්ය මණ්‌ඩලයක්‌ ද සිටියේය.

සුනාමි ව්‍යසනයෙන් පසු මේ ප්‍රදීපාගාර දෙකට සුර්ය බලයෙන් ස්‌වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි ක්‍රමවේදයක්‌ (ලයිට්‌ සිස්‌ටම්) හඳුන්වා දුන්නේය. ඒ සමගම ප්‍රදීපා යාත්‍රාවේ සේවය සීමා විය. ඉඳහිට ප්‍රදීපාගාරවල සේවා කටයුතු සඳහා යාත්‍රා කරනවා හැරෙන්නට ප්‍රදීපා යාත්‍රාවෙන් වෙනත් වැඩක්‌ නොගත්තේය. යාත්‍රාව ගාලු වරායේ නැංගුරාම් ලා තිබිණි. ඒ අතරතුර කාලයේදී ආශ්චර්යයේ වරාය වන හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කෙරිණි. මුළු රටම බලා සිටින මේ ආශ්චර්යමත් උත්සවය වර්ණවත් කිරීමේ අදහසින් මොණරකු ලෙස හැඩ කර යාත්‍රාවක්‌ පළමුව හම්බන්තොට වරාය තුළට ඇතුළු කිරීමට හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සව සංවිධාන කමිටුව තීරණය කළේය. ඒ අනුව මොණරකු ලෙස වෙස්‌ පෙරළීමට සුදුසුම යාත්‍රාව ප්‍රදීපා යාත්‍රාව බවට ඔවුහු තීරණය කළහ. ඒ අනුව ගාලු වරායේ නැංගුරම් ලා තිබුණු ප්‍රදීපා යාත්‍රාව කොළඹ වරායට ගෙනාවේය. අනතුරුව සේවා සපයන යාත්‍රාවක්‌ව තිබූ ප්‍රදීපා යාත්‍රාවේ ස්‌වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර මොණරකු ලෙස හැඩ කළේය.

ඉතාම විසිතුරු ලෙස ප්‍රදීපා, මොණරකු ලෙස හැඩ විය. අවසානයේ හැඩ කළ ප්‍රදීපා යාත්‍රාව නැවත ගාලු වරායට ගෙන ගියේය. එහි සිට මහා සංඝයා වහන්සේගේ සෙත් පිරිත් සඡ්Cධායානා මැදින් ආඩම්බර මොණරකු ලෙස ගමන් ගත් ප්‍රදීපා යාත්‍රාව දහස්‌ සංඛ්‍යාත මිනිසුන්ගේ අත් පොළොසන් මැදින් ගරු ගාම්භීරව සුබ මොහොතින් ආශ්චර්යයේ වරායට ඇතුළු විණි. එතැන් සිට හම්බන්තොට වරාය ජාත්‍යන්තර නැව් ගමනාගමනයට විවෘත විය. ප්‍රදීපා නැවත ගාලු වරායට සේන්දු විය. මොණර වෙසින්ම කාලයක්‌ නැංගුරම් ලා තිබුණු ප්‍රදීපා යාත්‍රාවේ එකිනෙක පිල් හැලී ජරාජීර්ණ විය. ප්‍රදීපා යාත්‍රාව මොණරකු ලෙස වෙස්‌ පෙරළීමත් සමග යාත්‍රාවේ තිබූ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම නැති විය. තවදුරටත් වරායකට සැපයුම් යාත්‍රාවත් ලෙස භාවිතා කිරීමට තිබූ ප්‍රදීපා යාත්‍රාව ආශ්චර්යයේ මාගම්පුර චාරිකාවෙන් පසු වැඩකට නැති යාත්‍රාවක්‌ ලෙස ගාලු වරායේ පැත්තකට විණි.

තවමත් මෙම යාත්‍රාව අලුත්වැඩියාවකින් පසු නැවත පණගැන්විය හැකි තත්ත්වයේ තිබේ. එහෙත් සිදුව ඇත්තේ ප්‍රදීපා යාත්‍රාවට නැවත ජීවය දෙනු වෙනුවට අමු අමුවේ මරා දැමීමකට සැලසුම් කිරීමය. එනම් ප්‍රදීපා යාත්‍රාව දෙහිවල ප්‍රදේශයේ පිහිටි රුබි මාර්කටින් සේවා ආයතනයට අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට වරාය අධිකාරිය තීරණය කර ඇත. එමෙන්ම ප්‍රදීපා යාත්‍රාව අදටත් රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමක්‌ ඇති බව තතු දත් වාර්තා පෙන්වා දෙයි. එහෙත් මෙම යාත්‍රාව රුබි මාර්කටින් සේවා ආයතනයට විකුණා ඇත්තේ යකඩ කිලෝවකට රුපියල් 15 ක මිලක්‌ අය කරමින් රුපියල් ලක්‍ෂ විස්‌සකට බව වරාය ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම මෙම ගනුදෙනුව සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යාත්‍රාවක්‌, වාහන යක්‌ හෝ වෙනයම් ඕනෑම සම්පතක්‌ විකුණන සම්මත ක්‍රමවේදයෙන් බැහැරවය.

ප්‍රදීපා යාත්‍රාව සම්බන්ධ වගකීම පැවරී තිබුණේ නාවික කොට්‌ඨා සයටය. යාත්‍රාව සේවයට සුදුසු නොවන්නේ නම් එම යාත්‍රාව භාරව සිටි නිලධාරියා එම කොට්‌ඨාසයේ ප්‍රධානියාට දැනුම් දිය යුතුය. එවිට ඒ බව කොට්‌ඨාස ප්‍රධානියා විසින් සැපයුම් කොට්‌ඨාසයට දැනුම් දිය යුතුය. සැපයුම් කොට්‌ඨාසය විසින් යාත්‍රාව ප්‍රසිද්ධ වෙන්දේසියට ඉදිරිපත් කරන්නැයි කියා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට දැනුම් දිය යුතුය. අනතුරුව යාත්‍රාව සතු ගුණාංග ප්‍රසිද්ධ කරමින් පුවත්පත්වල ටෙන්ඩර් පළ කරන්නේය. අවසානයේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ටෙන්ඩර් පත් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සැපයුම් කොට්‌ඨාසය, කළමනාකාර අධ්‍යක්‍ෂතුමාගේ වගකීම යටතේ මුදල් අධ්‍යක්‍ෂතුමාගේ අධීක්‍ෂණය යටතේ ටෙන්ඩර් පෙට්‌ටිය විවෘත කර වැඩිම ඉල්ලුමට යාත්‍රාව ලබා දිය යුතුය. සම්මත ක්‍රමවේදය නම් එයයි. එහෙත් ප්‍රදීපා යාත්‍රාව විකිණීමේදී මේ සම්මත ක්‍රමවේදය ගිsලිහී ගොස්‌ය. ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු වී නැත. වරාය අධිකාරියේ නිලධාරීන්ගේ හිතුමතේට පමණක්‌ ගනුදෙනුව සිදුව ඇත. කෙසේ හෝ ප්‍රදීපා යාත්‍රාව දැන් යකඩවලට රුබි ආයතනයට විකුණා දමා අවසානය. එම ආයතනය මෙම යාත්‍රාව නිදහස්‌ කර ගැනීමට ගාලු වරායට ගෙවිය යුතු රේගු බදු නොගෙවා යාත්‍රාව ගෙන යැමට උත්සාහ දරන්නේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ද රේගුවට බදු නොගෙවාම මේ යාත්‍රාව ගාල්ල වරායෙන් නිදහස්‌ කර දීමට දැඩි උත්සාහයක නිරතව සිටියි. ඒ අනුව මෙම යාත්‍රාව ගාලු වරායෙන් නිදහස්‌ කර දෙන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ – ගාල්ල වැඩ බලන නේවාසික කළමනාකරු විසින් ගාල්ල වරායේ රේගු අධිකාරි වෙත 2013 අගෝස්‌තු 30 දා වැනිදා ලිපියක්‌ ඉදිරිපත් කරන්නේය. ලිපියේ සඳහන් කරුණු මෙසේය.

දැනට ගාලු වරායේ නැංගුරම් ලා තිබෙන ප්‍රදීපා ෂෂ යාත්‍රාව වරාය අධිකාරිය විසින් රුබි මාර්කටින් සේවා ආයතනයට යකඩ සඳහා පවරා ඇත. මේ අනුව රුබි මාර්කටින් සේවා සමාගමට මෙහෙයුම් කටයුතු ආරම්භ කර මෙම යකඩ ගාලු වරායෙන් ඉවත් කරගැනීමට අවසර දී ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රදීපා යාත්‍රාව රුබි මාර්කටින් සේවා සමාගමට විකුණා තිබුණද යාත්‍රාව ගාලු වරායෙන් නිදහස්‌ කර ගැනීමට රේගුවට බදු ගෙවිය යුතුය. එහෙත් බදු ගෙවූ බවට රේගුවට තවමත් බිල් පතක්‌ ලැබී නොතිබූ හෙයින් ගාලු වරායෙන් යාත්‍රාව නිදහස්‌ කරගැනීමට රේගුව ඉඩ ලබා දී නැත.

නැවතත් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරු සේවා සැපයුම් විසින් ගාල්ල වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෙත 2013. 09. 03 වැනිදා ලිපියක්‌ යොමු කරන්නේය.

2013-08-30 ලිපිය සම්බන්ධවයි. අබලි ද්‍රව්‍ය සහ සේවයට ගත නොහැකි අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කළ යුත්තේ ශ්‍රී ලංකා වරාය කළමනාකාර සහ උපදේශක සේවා සමාගම විසින් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රේගුලාසිවල සඳහන් වේ. එම ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සමාගමකි. ඒ අනුව ගාලු වරායේ ඇති ප්‍රදීපා ෂෂ යාත්‍රාව ඉවත් කළ යුත්තේ ශ්‍රී ලංකා වරාය කළමනාකාර සහ උපදේශක සේවා ආයතනය විසිනි. එහෙයින් මෙම පැරැණි යාත්‍රාව ශ්‍රී ලංකා වරාය කළමනාකාර සහ උපදේශක සේවා ආයතනයට භාරදී එම ආයතනයේ ලියාපදිංචි ගැනුම්කරුවකුට ඉවත් කරගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිමි.

එහෙත් බදු නොගෙවා ගාලු වරායෙන් ප්‍රදීපා යාත්‍රාව නිදහස්‌ කර ගැනීමට රේගුවෙන් අවසර ලැබෙන්නේ නැත. වරාය අධිකාරියේ දෙවැනි පෙළ නිලධාරීන්ට මෙම යාත්‍රාව රේගුවෙන් නිදහස්‌ කරගැනීමට නොහැකි තැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති 2013-11-26 වැනිදා රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට යාත්‍රාව සම්බන්ධව ලිතව දැනුම් දීමක්‌ කරන්නේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රදීපා ෂෂ යාත්‍රාව අබලි ද්‍රව්‍ය ලෙස සලකා ශ්‍රී ලංකා වරාය කළමනාකාර සහ උපදේශක සේවා ආයතනය හරහා ඉවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කර තිබේ. මෙම යාත්‍රාව දැනට ගාලු වරායේ නැංගුරම් ලා තිබෙන අතර මෙහි ගැනුම්කරු ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා ශ්‍රී ලංකා වරාය කළමනාකාර උපදේශක සේවා ආයතනයට අය විය යුතු ගාස්‌තු ගෙවීමෙන් පසු එය ඉවත් කරගැනීමට අවසර ඉල්ලා තිබේ. ඒ නිසා මෙම යෝජිත සැලසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විරුද්ධත්වයක්‌ නොමැති බව කරුණාවෙන් දැනුම් දෙමි.

බදු නොගෙවා යාත්‍රාව ගාලු වරායෙන් පිටතට ගැනීමට නොහැකිය. ශ්‍රී ලංකා රේගුවේ තීරණයේ වෙනසක්‌ නැත. ගනුදෙනු සිදු වී මාස දෙකකටත් වැඩි කාලයක්‌ ගෙවී ගියේය. රුබි මාර්කටින් සේවා ආයතනයට ගාලු වරායෙන් යාත්‍රාව නිදහස්‌ කරගැනීමට නොහැකි විය. තත්ත්වය තරමක්‌ ගැටලු සහිතය. අවසානයේ රුබි මාර්කටින් සේවා ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමා විසින් වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ වෙත ලිතව මෙසේ දැනුම් දෙන්නේය.

ගාලු වරායේ ඇති ප්‍රදීපා ෂෂ දිරාපත් යාත්‍රාව ඉවත් කර ගැනීමට අප සමාගමට බලය පවරා ඇත. කෙසේ වෙතෙත් මෙම යාත්‍රාව ගාලු වරාය ඇතුළත සිට කොටස්‌ කිරීමට විශාල මුදලක්‌ දැරීමට සිදු වේ. ඒ නිසා මෙම දිරා ගිය යාත්‍රාව ගාලු වරායෙන් ඉවතට ගෙන කොටස්‌ කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඊට අදාළ සියලු ගෙවීම් වරාය කළමනාකාර අධිකාරියට ගෙවීමට අප එකඟත්වය පළ කර සිටිමි.

රුබි ආයතනයේ ඉල්ලීම එසේය. එහෙත් එම ආයතනය මෙම යාත්‍රාව නිදහස්‌ කරගැනීමේදී ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු බදු මුදල ගෙවූ බවට තවමත් රිසිට්‌ පතක්‌ ඉදිරිපත් කර නැත. පඹ ගාලක පැටලුණු ප්‍රදීපා යාත්‍රාව තවමත් ගාලු වරායේ කරදියට දිය වෙන්නේය.

කෙසේ හෝ ප්‍රදීපා යාත්‍රාව මිලට ගෙන ඇතැයි කියන රුබි මාර්කටින් සේවා යන නමින් ආයතනයක්‌ මෙරට නැති බවත්, නිර්නාමික නමකින් ජාවාරම්කරුවන් පිරිසක්‌ මෙම යාත්‍රාව මිලට ගෙන නැවත අලුත්වැඩියා කර ඕස්‌ටේ්‍රලියාවට මිනිස්‌සු පැටවීමේ ජාවාරම සඳහා යොදා ගන්න යන බවට ද තතු දන්නෝ සැක පළ කරති. මතුව ඇති සැකය යථාර්ථයක්‌ වන්නේ නම් සමූල ඝාතනයකට නොදැවැනි තුච්ඡ මිනිස්‌ ජාවාරමට නොදැනුවත්ව හෝ මෙරට වරාය අධිකාරිහු ද සම්බන්ධ වන්නාහ. ප්‍රදීපා යාත්‍රාවේ ෙ€දනීය කතාව අවසානය.

මේ රටේ ආර්ථිකය හසුරුවන කරුණාවන්ත මහත්වරු සැලසුම් සකස්‌ කරන්නේ බොහෝම බුද්ධිමත්වය. කොහෙත්ම ජාතියට අයහපතක්‌ වන තීන්දු තීරණ ගන්නේ නැත. තමන්ගේ යහපත තකා රටේ සම්පත් කාබාසිනියා කරන්නේ ද නැත. කාලකණ්‌ණි ජාවාරම්කරුවන්ට හසුවන්නේ ද නැත. රටේ සෑම රාජ්‍ය ආයතනයකම නිලධාරීන් එසේය. වරාය අධිකාරියේ නිලධාරීන් ද එසේය. ගාල්ල වරායේ කරදියට දිය වෙන වැඩකට නැති ප්‍රදීපා යාත්‍රාව කීයකට හෝ විකුණා ගාලු වරායේ නැංව් තටාංගය ඒ යකඩ ගොඩින් නිදහස්‌ කර ගන්නවාට වරාය අධිකාරියේ කුහක මිනිස්‌සු අකමැතිය.

එසේ නොවෙන්න රටේ ආරක්‍ෂක මර්මස්‌ථානයක හෙවත් අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ අතිශය වටිනා කෞතුක භාණ්‌ඩ තොගයක්‌ කිසිදු හෝඩුවාවක්‌ ඉතිරි නොකර ගෙන ගිය රටක වරාය අධිකාරිය තුළ හොරකම් සිදු කෙරෙන්නේ නැත. දේශපාලන බලය ඇති උන් කුඩු කන්ටේනර් ගණන් රට තුළට ගෙන එන කාලයක වරාය අධිකාරිය තුළ දේශපාලන බලය ක්‍රියාත්මක වන්නේ නැත. ශ්‍රී ලංකා වරායේ දියුණුව බලාගෙන සිටින්නට නොහැකි මිනිස්‌සු කුහකකමට බොරු බේගල් ඇද බාන්නේය. එහෙත් බත් කන මිනිස්‌සු මේ කතා පිළිගන්නේ නැත.

අප මේ සටහන තැබුවේ බත් කන ගවයන්ගේ දැන ගැනීම පිණිස පමණි.

තරංග රත්නවීර – ප්‍රභාත් විතාන
(Divaina)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...