yashoda copy

එදා ඔවුන් මට වද දුන් හැටි දැකලා තාත්තා ස්නායු රෝගයකට ගොදුරු වුණා – යශෝධා විමලධර්ම

යශෝධා විමලධර්ම මේ දිනවල කතාබහට ලක්වන රංගන ශිල්පිනියකි. ඊට ආසන්නතම හේතුව වන්නේ ඇය රඟපෑ, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධවනිය’ සිනමාපටය මේ දිනවල ප්‍රේක්ෂක, විචාරක අවධානය දිනාගනිමින් තිරගත වෙමින් පැවතීමයි. “සමනල සංධවනිය” සිනමාපටයේ “පුන්‍යා දිසානායක” වන ඕ එතුළින් තවත් රංගන කඩඉමක් පසු කරන්නේ ඒ හරහා ලබන උණුසුම් ප්‍රතිචාරද භුක්ති විඳිමිනි.
“මගේ රංගන ජීවිතයේ මේ තරම් ප්‍රතිචාර ලැබූ සහ සතුටු වුණු අවස්ථාවක් මට තවත් නැහැ. ඇත්තටම මේක මගේ ජීවිතයේ සුවිශේෂීම කාලයක්.” යශෝධා අපේ කතාබහට එකතු වන්නේ එලෙසිනි.

“මගේ පුංචිම අවධිය ගැන කතා කළොත් මට හොඳට මතකයි අපි පුංචි කාලෙ හිටපු කැලණිය ගෙදර තිබුණ තැන. ඒක ටිකක් උස් බිමක, කඳු ගැටයක තිබුණු ගෙදරක්. ඒ නිසාම ඒ ගෙදර නම් කරලා තිබුණේ “හිල් කොටේජ්” කියලයි.
“මේක පැරණි මෝස්තරයට හදපු සිංහල ගෙයක්. ඒ කියන්නේ අර ලොකු මැද මිදුලක් එහෙම තියලා හදපු ගෙදරක්” “හිල් කොටේජ්” නිවසේ මව්පියන් හැරුණු කොට යශෝධාගේ ආච්චි අම්මා සහ පුංචි අම්මාත් ජීවත් වූ බව යශෝධාට හොඳින් මතකය. මීට අමතරව නිවසේ වැඩ කටයුතුවලට උදව්වට සිටි නාවලපිටියේ සිට ආ කරුණාද යශෝධාගේ සිත් ගත් තැනැත්තියක් බවට පත්වී තිබුණි.
“ඒ කා‍ලේ මම කරුණා සමග හරිම යාළුයි. ඒ කා‍ලේ මම හිතන්නේ එයා මගේ හොඳම යාළුවා කියලයි.
“අපේ ගෙදර තිබුණු වත්තත් හුඟක් ලොකු එකක්. මේ වත්තේ පලතුරු ගස් ගොඩක් තිබුණා. විශේෂයෙන්ම පේර ගස් වැඩිපුර තිබුණා. “මට මතකයි මම මේ වත්ත පුරා කරුණා සමග ඇවිදිනවා, දුවනවා, පනිනවා”.
මේ කාලයේ යශෝධාගේ පියා, රවිලාල් විමලධර්ම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කළේය.
මව බියගම මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කළාය.

“අපේ තාත්තා විශාල ප්‍රතිරූපයක් තිබුණු මනුස්සයෙක්. ඒ ගැන පුංචි කා‍ලේ ඉඳලම මගේ හිතේ තිබුණේ ආඩම්බරයක්. මට මතකයි තාත්තා ගෙදරදී සිතාරය වාදනය කරනවා. ඒ වගේම තාත්තා මුණගැහෙන්න ගෙදරට එන විශේෂිත කලාකරුවන් සමග සතුටු සාමිචියේ යෙදී සිටින අන්දමත් මට මතකයි.
යශෝධාගේ පියා රවිලාල් විමලධර්ම හින්දි භාෂා විශාරදයෙකි. ඔහු මෙරට ගුවන් විදුලිය ඔස්සේ ක්‍රියාත්මකවූ හින්දි සේවයේ පවා පුරෝගාමියා විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කෙරුණු මේ හින්දි සේවය ඉන්දියාවේ අසන්නන් අතර පවා එකල ජනප්‍රිය වී තිබුණි. ‘මේ නිසාම මට මතකයි ඉන්දියානුවන් පවා සමහර අවස්ථාවල තාත්තාව සොයාගෙන ගෙදරට එනවා. ඔවුන් අතරින් මට හුඟක් මතක විජය ලක්ෂමි කියන ආන්ටිවයි. ඇය ඉතාමත් සුරූපී තැනැත්තියක්. ඒ කා‍ලේ මම ඇය සමගත් හුඟක් මිතුරුයි. මේ ඇරුනු කොට අපේ ගෙදරට එන අමරදේව මාමා (පණ්ඩිත් අමරදේවයන්), ලයනල් අල්ගම මාමා වගේ අයත් මට හොඳට පුරුදුයි”.

“මම මුලින්ම ගියේ බම්බලපිටියේ තිබුණු මොන්ටිසෝරියකට. එහිදී මගේ හොඳම මිතුරිය වෙලා හිටියේ දමිළ ළමයෙක්. මම ඇය එක්ක කතා කරලම දමිළ භාෂාවත් තරමක් දුරට කතා කරන්න පටන් ගත්තා කියලා අම්මා පසු කාලයේ මා සමග කිව්වා.” යශෝධා පාසල් ගියේ බම්බලපිටිය, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටය. එහි ගත කළ කාලය ගැන ඇය කතා කරන්නේ බලවත් සතුටකිනි.
“මට ඉන්නේ එකම එක සහෝදරියක් විතරයි. ඇය තුසිතා විමලධර්ම. අක්කා මට වැඩිය අවුරුදු හතක් වැඩිමල්. මේ නිසා අපි දෙන්නා අතර කිසියම් දුරස්ථභාවයක් පුංචි කා‍ලේ තිබුණා. ඇය පාස‍ලේ ඉහළ පන්තියක ඉගෙන ගනිද්දී මම පහළ ශ්‍රේණියක ඉගෙන ගන්නවා. ඉතින් මගේ පාසල් කාල වේලාව ඉවර වුණාම මම ඇගේ පන්තියට ගිහින් දවල් 1.30 වනතුරු වාඩි වෙලා බලා ඉන්නවා. මේ කාලය ඇයට වගේම මටත් හිසරදයක්. අක්කා නිතරම මේ ගැන නෝක්කාඩු කියනවා මට මතකයි.” පාසල් යන කාලයේදී යශෝධාට වඩාත්ම මතක චරිතය චාන්දනී සෙනෙවිරත්නය. ඒ ඇරුණු කොට නිල්මිණි සිගේරා හා කෞෂල්‍යා ප්‍රනාන්දුවත් යශෝධාට හොඳින් මතකය.

“සෝමලතා සුබසිංහ මහත්මිය අපේ පාස‍ලේ ගුරුවරියක්. ඒ නිසාම ඇය පාස‍ලේ ළමයින්වත් එකතු කරගෙන “විකෘති” නාට්‍යය නිර්මාණය කළා. මේ නාට්‍යයේ රඟපෑ නිසා තමයි අර අක්කලා පාසල තුළ ජනප්‍රිය වුණේ. මට මතකයි චාන්දනී අක්කට ලොකු ජනප්‍රියත්වයක් තිබුණා. ඇයගේ ජනප්‍රියත්වය නිසාම පුංචි අපි හැමෝම ඇගේ පන්තියට යනවා ඇය සියැසින් බලලා කතාකරලා එන්න හිතාගෙන.”
පාස‍ලේදී යශෝධාට හොඳම මිතුරියෝ හය දෙනෙක් සිටියහ. ඔවුන් ගෙන් “අදිලා” මුස්ලිම් ජාතික යෙහෙළියකි. එමෙන්ම “නැස්රි” හා “නිකෝලා” මැ‍ලේ ජාතිකයන්ය. මීට අමතරව අනිකුත් යෙහෙළියන් වූයේ “සමන්තා, නිසංසලා, මල්කාන්ති හා චින්තාය”. “මේ හය දෙනා එක්ක මම හුඟක් මිතුරුයි. අපි හත්දෙනා අතර තිබුණෙ වචනයෙන් කිව නොහැකි තරමේ ලොකු ලෙන්ගතුකමක්. අපි කවදාවත් තරහවෙලා නැහැ. අදටත් ඒ යාළුමිත්‍රකම් ඒ විදිහටම තිබෙනවා”. ශාන්ත පාවුළු බාලිකාවේ ගුරුවරුන් ගුරුවරියන් පවා මේ ‘හත්දෙනාගේ කල්ලිය’ පිළිබඳව හොඳින් දැන සිටියේය.

“අපි ප්‍රසිද්ධ වෙලා තිබුණේ දඟ වැඩ, නරක වැඩ කරලානම් නමෛයි. හැම වෙලාවෙම එකට ඉන්න නිසා. මොනදේ කරන්න ගියත් අපි හත් දෙනා එකට. පන්ති කාමරයේ ඇතුළේ එක පේළියකට තියෙන්නේ ඩෙස්ක් පහයි. නමුත් අපි ඩෙස්ක් හයක් දාලා හත් දෙනාම එකට ඉන්නවා. ගුරුවරියෝ ඇවිත් මේක වෙනස් කරන්න හැදුවට අපි වෙනස් වුණේ නැහැ”.
එදා මෙලෙස එකට සිටි හත්දෙනාගේ කල්ලිය හයදෙනාගේ කල්ලිය බවට පත් වූයේ මුස්ලිම් ජාතික යෙහෙළිය මුලින්ම විවාහ දිවියට ඇතුළත් වූ පසුවය. මේ සිදුවීම යශෝධාගේ මෙන්ම අනිකුත් යෙහෙළියන්ගේද සිත්වල විශාල දුකක් වේදනාවක් ඇති කළ සිද්ධියක් විය. ඒ එක් යෙහෙලියක තම කල්ලියෙන් ඈත් වීම නිසාය.

“සාමාන්‍යයෙන් මුස්ලිම් ගැහැනු ළමයි බොහොම පුංචි වයසින් විවාහ වෙනවා. අපේ හත් දෙනාගේ කල්ලියේ සිටි ඇයටත් විවාහ වෙන්න සිද්ධ වුණා. ඒ මව්පියන් බල කළ නිසා. ඇය මේ ආකාරයට විවාහ වුණේ අපි උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දීයි. එදා අපි ඇගේ විවාහ උත්සවයට ගිහින් ආවේ බලවත් සිත් තැවුලෙන්. ඇයගේ දුරස් වීම අපට ඇත්තටම දරා ගන්න බැරි දුකක් වුණා.
කෙසේ හෝ එදා නොවෙනස්ව එකට අධ්‍යාපනය ලැබූ හත් දෙනාගේ කල්ලියෙන් අද විවාහ නොවී සිටින්නේ යශෝධා පමණි.
“දැන් මගේ යාළුවන්ට ලොකු දරුවෝ පවා ඉන්නවා. ඒ දරුවෝ මට නැන්දා කියලා කතා කරනවා. හැබැයි මම ඒ අයට කිව්ව මම කසාද බැඳලා නැති නිසා “අක්කා” කියලා කතා කරන්න කියලා”. යශෝධා පැවසුවේ හඬ නගා සිනාසෙමිනි.

“මම කවදාවත් රඟපාන්න හිතාගෙන සිටි කෙනෙක් නමෛයි. මම ක්‍රීඩාවට පවා ඇළුම් කළේ නැහැ. වැඩිපුරම අවධානය යොමු කළේ අධ්‍යාපන කටයුතුවලට හා විශේෂයෙන්ම ‍පොත පත කියවන්නයි. ඒ කා‍ලේ මම හුඟාක් ඉංග්‍රීසි නවකතා කියෙව්වා. ඒ වගේම පුංචි කා‍ලේ ඉඳලම ගෙදර තිබුණු පරිසරයත් එක්ක හින්දි භාෂාව ගැන වැඩිපුර අවධානය යොමු කළා.”
මේ ඇරුණු කොට යශෝධා බාලදක්ෂිකාවක් ලෙස ස්වේච්ඡා සේවයේද යෙදුණාය. “මම හුඟක් වැඩිහිටි නිවාස හා පුංචි දරුවෝ ඉන්න ළමා නිවාසවලට ගිහින් හෙදියක් වගේ සාත්තු සප්පායම් කරන්න වැඩි කැමැත්තක් දැක්වූවා. කොහොම හරි මේ විදිහට 8 පන්තියේ ඉගෙන ගන්න කා‍ලේ තමයි මට අපේ මාමා කෙනෙක් වන බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ “අත්ත බිඳෙයි” ටෙලි නාට්‍යයේ රඟපාන්න ඇරයුම් කළේ”. මේ ඇරයුම ආ හැටියේ යශෝධා එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ රඟපෑමට තිබූ අකමැත්ත නිසාය.
“අන්තිමට ගෙදර අයගේ බලවත් බලකිරීම නිසා මම එහි රඟපාන්න කැමති වුණා. මේ නිසාම පාසල තුළ මටත් සුවිශේෂී ප්‍රසිද්ධියක් ලැබුණා. අන්තිමට එදා චාන්දනී අක්කව බලන්න අපි ගියා වගේ මාව බලන්නත් අපේ පන්තියට ඉස්කෝ‍ලේ ළමයි ආවා”.
යශෝධා ඉන් අනතුරුව “හිරු දහසක්” වේදිකා නාට්‍යයේ හා විජය ධර්මශ්‍රීගේ “ගුරු ගෙදර” චිත්‍රපටයෙත් රඟපෑවාය. ඇගේ රංගන ජීවිතය වඩාත් ස්ථාවරව ඇරඹෙන්නේ මේ ආකාරයටය.

“රංගන ක්‍ෂේත්‍රයට යොමු වුණාට පස්සේ මම ඉස්කෝ‍ලේ වැඩයි මේ වැඩයි අතර හුඟක් කාර්යබහුල වුණා. ඒ නිසාම මට සාමාන්‍ය ජීවිතයේදී අත් විඳින බොහෝ දේවල්වලින් ඈත් වෙන්න සිද්ධ වුණා.
තරුණ යුවතියක වූ යශෝධා බොහෝ විට තමා ඇසුරු කළ මිතුරියන්ටත් හැකි අයුරින් උදව් කළාය. විශේෂයෙන්ම ඔවුන්ගේ ආදර සබඳතා ආදියේදී පවා දැනමුතුකම් ලබා දෙමින්, හොඳ දේට සහයෝගය දක්වා උදව් කරන්නටත්, නරක දේ පෙන්වා දෙන්නටත් කටයුතු කළාය. “හැබැයි මට කවදාවත් මේ වගේ සබඳතා ඇති කරගන්න තරම් මාර්ගයක් ඇති වුණේ නැහැ. මොකද ඒ තරමට ජීවිතේ කාර්යබහුලයි. අනිත් කාරණය තමයි මම මගේ මව්පියන් සමග තිබුණු සම්බන්ධතාවය. මට මගේ දෙමව්පියන්ගෙන් වගේම අක්කාගෙනුත් ලොකු ආදරයක් හා සෙනෙහසක් ලැබුණා. මේ නිසා තරුණ කාලයේදී මගේ හිත වෙන පැත්තකට යොමු වුණේ නැහැ. කොටින්ම ආදර සබඳතා වගේ දේකට පවා මගේ හිත යොමු වුණේ නැහැ.”

පාසල් ජීවිතයෙන් පසුව යශෝධා උසස් අධ්‍යාපනය ලැබිම සඳහා ඇතුළත් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයටය. ඒ හින්දි භාෂාව පිළිබඳව උපාධියක් ලබා ගැනීමේ අරමුණිනි. එහෙත් යශෝධාගේ ජීවිතයේ අතිශය දුක්මුසු හා වේදනාකාරී සමය ඇරඹෙන්නේ ඒත් සමගිනි.
“ඒ වෙද්දිත් මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇත්තටම තාත්තාගේ ජීවිතයේ වගේම මගේ ජීවිතයේත් බොහෝ සිත් තැවුල් ඇතිවෙන්න පටන් ගත්තේ මේ කාලයේදීයි.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ නවක වදය ක්‍රියාත්මක වෙන කාලය මාස තුනක් විතර. ඒත් මා වෙනුවෙන් එහෙම නිශ්චිත කාල පරිජේදයක් තිබුණේ නැහැ. අවුරුද්දකටත් වැඩි කාලයක් මාව ඔවුන් හිංසාවට ලක් කළා. මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙනුත් හිංසාවට ලක් කළා. මේ වදවේදනා හා ශාරීරික හිංසා කොයි තරම්ද කිව්වොත් ඒවා දරාගන්න බැරි තරම්. ඔවුන් මේ විදිහට මට වද දෙන්න හේතු දෙකක් තිබුණා. එකක් මා ජනප්‍රිය නිළියක් වීම. දෙවැන්න මගේ තාත්තා ඒ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස සිටීම. ඔවුන් හිතුවා මට මේ නිසා වැඩි සහයෝගයක් කාර්ය මණ්ඩලය පැත්තෙන් ලැබෙනවා ඇති කියලා.

එක වතාවක් මේ සිසුවියන් මට දරුණු විදියට වද දෙද්දී තාත්තා ඈත ඉඳගෙන වේදනාවෙන් බලා සිටිනවා මම දැක්කා. එදා තාත්තා විශාල මානසික කම්පනයකට පත් වුණා. අන්තිමට තාත්තා විශ්වවිද්‍යාලයට ආයුබෝවන් කියලා රස්සාවෙන් නතර වුණා.
ඇත්තටම කිව්වොත් දවසින් දවස මට විඳින්න වෙන දරුණු හිංසාවන් ගැන ආරංචි වෙලා මං ගැන හිතලම තාත්තා ලෙඩ වුණා. තාත්තා ස්නායු රෝගයකට ගොදුරු වෙන්න මූලිකම හේතුව වුණෙත් ඒකයි.” අවසානයේ ලංකාවේ විසූ හින්දි භාෂා විශාරදයෙකු වූ රවිලාල් විමලධර්ම මහතා ඒ රෝගයෙන් පීඩා විඳ ජීවිතයෙන් සමුගත්තේය.
තාත්තා ලෙඩ වුණ එකත් ඒ නිසාම මිය ගිය ආකාරයත් ඇත්තටම මා තුළ ඇති කළේ විශාල කම්පනයක්. ඒ වේදනාව හා ඒ අඳුරු අතීතය කවදාවත් මගේ හිතින් ඈත් වෙන එකක් නැහැ. අමතක වෙන එකක් නැහැ. ඒක තමයි මම මගේ ජීවිතයේ මුහුණ දුන්න දරුණුම අත්දැකීම.”
යශෝධා තවමත් අවිවාහකය. ඇය අවිවාහකව සිටින්නේ තම පෞද්ගලික ජීවිතය තුළ තිබූ විවිධ හැල හැප්පීම් නිසාද? වේදනාබර් අත්දැකීම් නිසාද? යශෝධා මේ පිළිබඳව පවසන අවංක අදහස කුමක්ද?
සමහර විට ඒක එහෙම වෙන්නත් පුළුවන්… මට කවදාවත් විශ්ව විද්‍යාලයට යන්න කලින් පාළුවක් දුකක් දැනුණේ නැහැ. ඒ නිසාම මට යොවුන් ආදරය ගැන හිතන්න ඉඩක් තිබුණේ නැහැ. ඇත්තටම ඕනෑකමක්් තිබුණේ නැහැ.
නමුත් මම හිතනවා මගේ විවාහය ප්‍රමාද වෙන්න ඒක තදින් බලපෑවා කියලා. මම විශ්වාස කරන දෙයක් තිබෙනවා. ඒ තමයි මේ හැමදේකටම සුදුසු වේලාවක් එනවා කියලා. අපි කවුරුත් ඒ වෙලාව එනතුරු බලා සිටිය යුතුයි. අනික අපි කාටහරි ආදරය කරනවා නම් ඒ ආදරය අපේ හිතට තදින් දැනෙන්න ඕන. මට එහෙම දැනිලා නැහැ.

අනික මම මගේ තාත්තාගෙන් ඉගෙන ගත්ත දෙයක් තිබෙනවා. ඒ තමයි ලද දෙයින් අපි සතුටු වෙන්න ඕන කියන එක.
යශෝධා පවසන්නේ තමන් ජීවිතය ගෙවන්නේ දැඩි තෘප්තියෙන් බවය. කොයි ආකාරයකින්වත් තම ජීවිතය පිළිබඳ පසුතැවිලි නොවන බවය.
මම ජීවිතය බොහොම හොඳට සැලසුම් කරන කෙනෙක්. ලැබෙන හැම චරිතයක්ම බාර අරගෙන මුදල් හොයන්න මම උත්සහ ගන්නේ නැහැ. ජීවිතයට මුදල් අවශ්‍යයයි. නමුත් ලැබෙන දේ හොඳින් කළමනාකාරණයකර ගන්න පුළුවන් නම් ලොකු ගැටලු මතුවෙන්නේ නැහැ. මම සරල ගැහැනියක්. බොහොම අර පරිස්සමින් අඳින පලඳින තැනැත්තියක්. ඉහළ මිල ගණන් දීලා ඇඳුම් පැළඳුම් ගන්න මම පෙළඹෙන්නේ නැහැ.
මේ නිසාම මට විය හියදම් අඩුයි. උපයා ගන්න දේ වියදම් කරන්නේ අත්‍යවශ්‍ය දෙයකට පමණයි. හැබැයි මම මගේ අම්මා, ඒ වගේම පුංචි අම්මා ආදරයෙන් බලාගන්නවා. ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම ඉටු කරනවා. මගේ ජීවිතේ සුන්දරව ගවෛන්නේ ඒ විදිහටයි.” ඇය අවසන් වශයෙන් පැවසුවාය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
lakbima

Check Also

12019991_1038928426159240_1013099426706470936_n

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

12188171_1038882942830455_3632985509014271508_o

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...