අකුරැස්‌ස විල්පිට කැලෑවෙන් සරසවි පෙම් යුවළගේ අබිරහස්‌ මරණයේ සුලමුල හෙළිවේ

risa

අකුරැස්‌ස විල්පිට කැලෑවේදි මීට මාස හතකට පෙර එනම්, 2013 ජනවාරි 18 වැනිදා සිට අතුරුදන් වූ පේරාදෙණිය සරසවියේ මානව ශාස්‌ත්‍ර පීඨයේ තෙවැනි වසර ශිෂ්‍ය අලදෙණියගෙදර රිෂාන් සජිත් මේනක නමැති 23 හැවිරිදි තරුණයා හා ඔහුගේ පෙම්වතිය බව කියන සරසවි භූමියේම පුද්ගලික සංනිවේදන ආයතනයක සේවය කළ තිළිණි අබේධීර නමැති 26 හැවිරිදි තරුණියගේ අබිරහස්‌ මරණයේ තොරතුරු අනාවරණය වූයේ රටම ආන්දොaලනයට පත් කරමිනි.

විල්පිට ඔලියගන් රක්‍ෂිතයේ දී ඉකුත් 21 වැනිදා මෙම පෙම්වතුන්ගේ සිරුරු කොටස්‌ සොයාගෙන තිබිණි. එම ස්‌ථානයේ තිබී ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් ලියකියවිලි හා දිරාපත් වෙමින් තිබූ ගමන් මලුද, පොලිසිය සොයාගෙන තිබිණි. ඔවුන්ගේ ශරීරයේ බොහෝ කොටස්‌ සතුන් විසින් ඇදගෙන ගොස්‌ ඇති බවත්, කොණ්‌ඩා කොටස්‌ හමු වූ බවත් පොලිසිය පවසයි. මොවුන් සියදිවි හානිකර ගත්තා දැයි තවමත් අබිරහසකි.

මෙම සිද්ධිය හෙළිවන්නේ සුවිශේෂී වූ ආකාරයකටය. මෙම රක්‍ෂිතයේ පිහිටි ධර්මරක්‌ෂිත ආරණ්‍ය සේනාසනයේ, වැඩවාසය කරන, හිමිවරුන් දෙනමක්‌ විසින් මෙම සිද්ධිය දැක ඇත්තේ කැලෑවේ සක්‌මන් කරමින් සිටියදීය. ගසක එල්ලෙමින් තිබූ කඹ දෙපොටක්‌ දුටු හිමිවරුන් මේ ගැන විමසිලිමත්වීමේදී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබේ.

කුරුණෑගල ගල්ගමුවේ මහනාන්නේරිය සුන්දර ගම්මානයේ ඒ. පී. පද්මසිරි හා ඩබ්ලිව්. නිරෝෂා යුවළගේ එකම පුතු වූයේ රිෂාන්ය. පුතුගේ උපතින් වසර එකහමාරකට පමණ පසුව පියා වූ පද්මසිරි කුවේට්‌ බලා ගියේ රන් කහවනු ගෙනවිත් තම කැදැල්ල සුන්දර කරන්නටය. එහෙත් රිෂාන්ට සිදුවන්නේ වසර එකහමාරක්‌ පමණ වයසේදී තනි වෙන්නටය. පියා සයුරෙන් එතෙර ගිය අතරේ රිෂාන් ආත්තම්මාගේ තුරුලේ තනිවූයේ මවද ඔහු අතහැර ගිය නිසාය.

එතැන් පටන් පද්මසිරි මහතාගේ මෑණියන් වන නැන්සිනා කල්පගේ මාතාව රිෂාන්ට මව වූවාය. ඒ නිසා රිෂාන් ආදරයට කිරි අම්මායෑයි ඇයට කියන්නට හුරු වූයේය. රිෂාන්ට කවුරුත් ආදරයට කීවේ ශෂී කියාය.

ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලෙන් අකුරු කරවූ රිෂාන් පේරාදෙණිය සරසවියේ මානව ශාස්‌ත්‍ර පීඨයට ඇතුළත් වන්නේ සියල්ලන්ගේම දහසක්‌ බලාපොරොත්තු ඉටුකරමිනි. නොබෝ කලකින්ම ඔහු පේරාදෙණියේ හන්තාන කඳුයායේ සුන්දරත්වය සිසිලස සමගින් සරසවියේ සිසුන් අතර දක්‍ෂයෙක්‌ වූයේය.

මෙම ආදරණීය චරිතයට ආලය එකතු කරන්නට සරසවි බිමේම සන්නිවේදන ආයතනයක සේවය කළ තිළිණි අබේධීර හවුල් වන්නේ මේ කාලයේය. මේ ආදරවන්තයන්ගේ ආදරයට පෙර තවත් ආදරයක පැටලී සිටි තිළිණිගේ මුල් ආදරවන්තයා මේ දෙපළට හරහට සිටි බව ඥතීහු පවසති. ඔවුහු මෙසේ කාලය ගත කරන්නට වූහ. එනම් සරසවියේ තෙවැනි වසර පසුකරද්දී රිෂාන් සහ තිළිණි ඔවුන්ගේම කැදැල්ලක්‌ තනන්නට සිතුවා විය හැකිය.

2013 ජනවාරි මස 17 වැනි දින ඉමදුව තෙපුදෙණියේ රිෂාන්ගේ නැන්දණියගේ නිවසට මෙම නව යුවළ පැමිණියහ. කුඩා කල පුතු අතහැර ගිය රිෂාන්ගේ අම්මාට අයත් බව කියන කනංකේ ප්‍රදේශයේ නිවසට තිළිණි හා ආත්තම්මා සමග රිෂාන් එම නිවසේ පදිංචියට ගියේය. කිරි උතුරුවා සුබ නැකතින් නව නිවසට ගෙවැදුනේය. සතුට ඔවුන් සොයා ආවේ නැත. පසුදිනම තෙපුදෙණියේ නැන්දාගේ නිවසින් තිළිණි හා රිෂාන් පිටව යන්නේ තිළිණිගේ ඥතියකුගේ නිවසට යන බව පවසමිනි.

මොවුන් එසේ යන්නේ මරණය සොයා බව කිසිවකු දැන සිටියේ නැත. එය තිළිණි හෝ රිෂාන් ද දැන නොසිටින්නට ඇත. ඥතියකුගේ නිවසට යැම වෙනුවට ඔවුන් දෙදෙනා විල්පිට ඔලියගන් රක්‍ෂිතයට ගියේ ඇයි දැයි යන්න තවමත් අබිරහසකි.

මියගිය සිසුවාගේ ආච්චී වූ කල්පගේ මහත්මිය (67) අකුරැස්‌ස පොලිසියට ලබා දුන් සාක්‍ෂි මෙසේය.

මියගිය රිෂාන් සජිත් මේනක පුතා ගලිගමුව මහ විදුහලට ගියා. ඊට පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. එහි ගැහැනු ළමයෙක්‌ සමග යාළු වූ බව දැනගන්න ලැබුණා. පසුව විවාහ වූ බව ද දැනගන්න ලැබුණා. 2013-01-18 දින අකුරැස්‌ස තෙපුදෙණිය ගෙදරින් පිටත්ව ගියා. ඊට පසු කිසිම තොරතුරක්‌ ලැබුණේ නෑ. මේ මරණය ගැන සැක සහිත බැවින් පරික්‍ෂණයක්‌ පවත්වන මෙන් ඉල්ලා සිsටිනවා යෑයි මියගිය තරුණයාගේ නැන්දණිය වන චන්ද්‍රිකා ප්‍රියදර්ශනී විසින් තම ඥති පුතුගේ භාණ්‌ඩ හඳුනා ගන්නා ලදී. මෙම මරණ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මාතර අතිරේක මහෙස්‌ත්‍රාත් හා අධිකරණ වෛද්‍ය නිලධාරියා සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරික්‍ෂණ කර එම ස්‌ථානයේ තිබූ අස්‌ථි හා භාණ්‌ඩ විශේෂඥ පරීක්‍ෂණය සඳහා රැගෙන යනු ලැබීය.

මෙය ගෙල වැලලා ගැනීමක්‌ද කිසිවකු මොවුන් ඊට යොමු කළේද යන්න පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණ මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.

රිෂාන්ගේ ඥාතීහු පවසන්නේ තිළිණිගේ පැරැණි පෙම්වතා දිගින් දිගටම මොවුනට කරදර කළ බවයි. මේ සියල්ලම ඔවුන් ඥාතීන්ට පවසා තිබේ. මොවුන් මේ අවසාන ගමන යන්නට පෙර තම ඇඳුම් බෑග් හා ලැප්ටොප් පරිගණකයද නැන්දණියගේ නිවසේ තබා ගොස්‌ ඇත. මේ ආදරවන්තයන්ගේ ජීවිත ඉරණම පිළිබඳව යම් තොරතුරක්‌ මේ පරිගණකය සතුව ඇද්දැයි යථා කාලයේදී හෙළිවනු ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පරිදි අකුරැස්‌ස සහකාර පොලිස්‌ අධිකාරී රංජිත් ද සිල්වා, අකුරැස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපති ධම්මික අමරසේන, අකුරැස්‌ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සී. කේ. වේරගොඩ, පො. සැ. ලලිත් නුපෙහේවා, කා. පො. සැ. රූපා යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...