අගමැති පුතයි බර්ටිගෙ පුතයි කැරැලි ගසති…

අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රි අනුරාධ ජයරත්න සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක ආණ්ඩුව අභ්‍යන්තරයේ තරුණ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

හිටපු මහ ඇමැතිවරයාගේ අවමංගල්‍ය උත්සවයේදී දුමින්ද දිසානායක ඇමැතිවරයා විසින් ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවෙන් තම පියාට සිදුවූ අසාධාරණකම් පිළිබඳ බරපතළ විවේචනයක් ඉදිරිපත් කරන ලදී.

එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ තම පියාට සැලකූ ආකාරයත්, ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය දේශපාලන වශයෙන් අසීරු අඩියකට වැටී තිබුණු අවස්ථාවලදී තම පියා සිදුකළ කැපවීම් සම්බන්ධයෙනුත් මෙහිදී ඇමැතිවරයා දීර්ඝ වශයෙන් කතා කෙළේය.

හිටපු මහ ඇමැතිවරයාගේ අවමංගල්‍ය උත්සවයේදී ඇමැතිවරයා විසින් සිදුකරන ලද මේ ප්‍රහාරාත්මක කතාව පිළිබඳ ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වී ඇති අතර එය කිසිවකුගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

එසේම ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඇමැතිවරයාට කැබිනට් ඇමැති ධුරය සම්බන්ධයෙන් දැඩි අවවාද කිහිපයක් ලබාදීමට නියමිත බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා ලෙස සරත් ඒකනායක මහතා දිවුරුම් දීමෙන් පසු ඊට විරෝධය දක්වමින් අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් මහනුවර නගරයේ පෙළපාළි යෑමද ආණ්ඩුවේ දැඩි කතාබහට ලක්වී තිබේ.

එසේම මේ පෙළපාළිවලට ආණ්ඩුවේ ප්‍රධානියකු මෙන්ම ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨතමයකු වන අගමැතිවරයාද සහභාගි වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එමඟින් මධ්‍යම පළාත් මහ ඇමැති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කර ඇති බවත් ආණ්ඩුවේ මතය වී තිබේ.
පසුගිය කාලය පුරා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡා පැවැති බවට අනාවරණය වී ඇති තොරතුරු සහ මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාප අතර යම් සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳ ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වී තිබේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...