ආචාර්ය පා ගමනට රනිල් බනිස් දෙනකොට සම්බන්ධන් තේ දෙනවා
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවය පිටුපස අතැම් විදේශ බලවේග ක්‍රියාත්මකවන බවත් ඒ පිළිබඳ ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කිසිම ආකාරයකින් නිදහස් අධ්‍යාපනය විනාශ වීමට ඉඩ නොතබන බවත් අධ්‍යාපනය වැනි ජනතාවට සංවේදී මාතෘකා ගෙන මේ රට අස්ථාවර කිරීමට ඇතැමුන් මාන බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවති කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් 500 ක් සඳහා රුපියල් මිලියන 214 ක් වටිනා රාජ්‍ය සේවක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “අධ්‍යාපනය සඳහා 6% ක් වෙන්කරන්න කියලා අද උගත් බුද්ධිමත් ආචාර්යවරුන් පා ගමන් යනවා. පා ගමන් යන එක හොඳයි. අපිත් පාගමන් ගිහින් තියෙනවා. නමුත් අධ්‍යාපනය සඳහා කොතරම් මුදලක් වෙන් කරනවාද කියලා තීරණය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි, උසසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි වෙන්කරන මුදල්වල වැය ශීර්ෂය එකතු කරල විතරක් නෙවෙයි. අධ්‍යාපනය සඳහා පළාත් සභා කොතරම් මුදලක් වැය කරනවාද? මැති ඇමතිවරු තමන්ගේ විමධ්‍යගත අරමුදලෙන් කෙතරම් මුදලක් වැය කරනවාද? වෘත්තීය පුහුණු අධිකාරිය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වෙනත් අමාත්‍යාංශ කොතරම් මුදලක් වැය කරනවාද කියන කාරණය මතයි. ඒ වියදම් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ හරි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ හරි නෑ. ඒවා අධ්‍යාපනය සඳහා යොදවන මුදල් නොවෙයිද? ඒවා සියල්ල එකතු කරලා බැලුවද 6% තියෙනවාද කියලා. කවුරුත් ඒවා බැලුවේ නෑ. කඩා වැටිච්ච විපක්ෂය ජනතාවට සංවේදී සටන් පාඨ ගෙනල්ලා මේ රජය වට්ටලා, මේ රට අස්ථාවර කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අද පා ගමනේ යන ආචාර්යවරුන්ට කෑම දෙනවා. දෙයියනේ මේ කෑම කාලා කොහොමද දිරවන්නේ කියලා මට තෙරෙන්නේ නෑ. එදා අධ්‍යාපනය විනාශ කරන්න ධවල පත්‍රිකාව ගෙනාපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අධ්‍යාපනය රකින්න කියලා ආචාර්යවරුන්ට කන්න දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාසියක් තියෙනවා නම් ඕනෑම මිනිසෙකුට කන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි සම්බන්ධන් මහත්තයා තේ අල්ලනවා, සරත් ෆොන්සේකා මහත්තයා හකුරු දෙනවා. සෝමවංශ මහත්තයාට මුකුත් දෙන්න නැති නිසා ඔය කවුරුත් දෙන දේ කාලා වැඩිම දුරක් ඇවිදලා හරි සෝමවංශ මහත්තයා ලකුණු දාගන්නවා. මෙයින් පැහැදිලියි මොකක්ද කියලා මේ බලවේගය. මේ අධ්‍යාපනයට තිබෙන ආදරය නෙවෙයි. බලයට තිබෙන කෑදරකම. අධ්‍යාපනයට අවංක ආදරයක් මෙයාලා ළඟ නෑ. අධ්‍යාපනය විනාශ කරන්න කුමන්ත්‍රණ කරපු අය තමයි මේ එකතුවෙලා ඉන්නේ.
කොටි ත්‍රස්තවාදීන් මේ රටට එරෙහිව යුද්ධ කරන කාළේ එදා යුද්ධය වළක්වන්න එන්.ජී.ඕ. කාරයෝ එක්ක එකට හිටගත්තු ආචාර්යවරයෙක් තමයි අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට නායකත්වය දෙන්නේ. ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට මුවාවෙලා මේ ප්‍රශ්නය ඉවර කරන්න නෙමෙයි මෙතුමා කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නය ඉස්සරහට ඇඳගෙන යන්නයි. මෙතුමා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගරු කරන කෙනෙක් නෙමෙයි. මෙතුමා එදා පත්තරවලට ලිපි ලිව්වේ “ විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්යවරු වනාහී අමු මැට්ටන්” කියලා. එක කාලයක උගත් බුද්ධිමත් ආචාර්යවරුන්ට අමු මැට්ටන් කියපු මෙයා දැන් මැට්ටෝ ටිකත් එක්ක පාගමනක් යනවා. එතකොට මැට්ටෝ කව්ද කියලා මං අහන්න කැමතියි. මේකෙන් පේනවා න්‍යාය පත්‍රය මොකක්ද කියලා. මේ රටේ ස්ථාවරභාවයට අකමැති ඇතැම් තානාපති කාර්යාලවල න්‍යාය පත්‍රය තමයි මේ. බටහිර බලවේග වලට අවශ්‍ය සිංහල ජන සමාජය දෙකඩ කරන්නයි. බහුතර ජනතාව එක පක්ෂයකට ඡන්දයදෙන එක වළක්වන්නයි මේ හදන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාවගේ බහුතර ඡන්දය ලැබුණු නිසා මේ රටේ බෙදුම්වාදී කල්ලි විනාශ කරන්න, රටේ ඒකීයභාවය රැකගන්න එම බහුතර ජනතාවගේ ඡන්දයෙන් පුළුවන් වුණ නිසා තමයි මේ සියලු අභියෝග. ඉදිරියට මොන ආණ්ඩුවක් ආවත් බහුතර බලයක් නැති කරන්නයි මේ වෑයම.සිංහල සමාජය දෙපැත්තට බෙදුවාම හැදෙන ආණ්ඩුව මොක වුණත් දෙමළ ජාතික සන්ධානයේ හා අනිත් ජාතිවාදී බලවේගවල සහයෝගය අරගෙන දොල පිදේනි දීලා ඔවුන්ගේ කොන්දේසි වලට යටත්වෙලා හදන ආණ්ඩුව බටහිර වලවේගවලට රෑකඩයක් වගේ නටවන්න අවස්ථාව උදාවෙනවා. ඒක තමයි මේ සිංහල ජනයාට සංවේදී සටන් පාඨ අරගෙන සිංහල ජනයා දෙකඩ කරන්න හදන්නේ. ලස්සනට ජීවත්වෙන්න ගෙයක් හදාගන්න මේ ණය ගත්තා වගේ රට ජාතිය ගැන තමුන්නාන්සේලා හිතන්න ඕන. මේ බලවේගවල කුමන්ත්‍රණ ගැන අවධානයෙන් ඉන්න ඕන ඒවා හඳුනාගෙන එදා කොටියා පැරද්දලා සාමය දිනාදුන්නා වගේ මේ දේශපාලන කොටියාට නැගිටින්න ඉඩ නොදී තමුන්නාන්සේලා නැඟී සිටින්න අවශ්‍ය කාලය දැන් උදාවෙලා” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
නිවාස ණය ප්‍රදානය කිරීම ගැනද විමල් වීරවංශ අමාත්‍යරවයා අදහස් පළ කළේය. “අද අපි පක්ෂ, පාඨ බේද බලන්නේ නැතුව සමහරක් විට අපිට විරුද්ධව වැඩ කරපු අයට පවා අපි අද නිවාස ණය ලබාදෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. රටක් ඉදිරියට යනකොට එක ජනකොටසක් කොන්කරලා , මුළු ගන්වලා යන ගමනක් අපේ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි මේ වැඩ පිළිවෙල යටතේ ණය ආධාර ලබාගන්න එක පුද්ගලයෙක් තමයි කඩුවෙල මහ නගර සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මැතිතුමා. එතුමා කඩුවෙල විපක්ෂ නායකතුමා වුණයි කියලා එතුමට සුදුසුකම තිබුණ නිසා තමයි අපි නිවාස ණය ආධාර ලබාදෙන්නේ. එතුමා විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා අපෙන් නිවාස ණය ඉල්ලුවොත් සුදුසුකම් සපුරලා තියෙනවා නම් එතුමාටත් අපි නිවාස ණය ආධාර ලබාදෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ණය ලබාගන්න ආවොත් ඉතා ඉක්මනින් ඒ කටයුත්ත ඉටුකරදෙන්න කියලා මං නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීතුමාට කියනවා. පටු දේශපාලන තීරණ අරගෙන රටකට ඉදිරියට යන්න පුළුවන් කමක් නෑ. 2006 දී කොළඹ දිස්ත්‍රික්කයට වෙන්වුනේ රුපියල් මිලියන 131 යි. 2007 දි රුපියල් මිලියන 125 දක්වාත් 2008 දී රුපියල් මිලියන 331 දක්වාත් වැඩිවුණා. නමුත් 2010 දී එම අගය රුපියල් මිලියන 82 ක දක්වා පහළ බැහැලා තියෙනකොට තමයි 2011 දී එය රුපියල් මිලියන 332 දක්වා අපි වැඩි කළේ. 2012 දී අපට පුළුවන් වුණා රුපියල් මිලියන 523 දක්වා වැඩි කරන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගන්වන්නයි අපි මේ සියලු කටයුතු සිදුකළේ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
- Advertisement -