ආසනික්, රසදිය සහ සයනයිඩ් කතා නවතා වැඩ අරඹමු

ආසනික් සහ රසදිය පමණක් නොව සයනයිඩ්ද කෘෂි රසායනවල අඩංගු බව පසුගිය දා මැ‍ලේසියාවේදී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත. ශ්‍රී ලංකාවේදී මහාචාර්ය නලින්ද සිල්වා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ පර්යේෂණවල ප්‍රතිඵලවල සත්‍යතාවය මින් තවත් තහවුරු විය.
එසේම කැළණිය විශ්ව විද්‍යාලයේ රසායනාගාරයේ පරීක්ෂණ පිළිගත නොහැකි බව වූ මතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. ඒ වෙනුවට එම රසායනාගාරයේ පර්යේෂණ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතියට අනුකූල බව සියලු දෙනාම පිළිගත යුතු වේ.
ආසනික් කෘෂි රසායනවල අඩංගු බව මුලින්ම හඳුනාගත් අවස්ථාවේ ඇතැමුන් පැවසූවේ එය අවිද්‍යාත්මක සොයාගැනීමක් ලෙසය. විද්‍යාව සහ අවිද්‍යාව අතර වෙනස අද සිටින විද්වතුන් හඳුනන්නේ දැයි ප්‍රශ්නාර්ථයක් නිරන්තරයෙන්ම වාගේ මාගේ මනසට නැගෙන බැවින් මෙසේ ලියන්නට සිතුවෙමි.
අද ලෝකයේ විද්‍යාව යනුවෙන් සහ විද්‍යාත්මක තාක්ෂණය යනුවෙන් සමාජය පිළිගෙන ඇත්තේ බටහිර ලෝකය විසින් හඳුන්වා දී ඇති වැඩිදියුණු කරන ලද සිද්ධාන්තික මත සමූහයකි. එමගින් යම් පර්යේෂණයක් සිදුකර එය පර්යේෂණාගාර මට්ටමේ සාධනය කළ නොහැකි විට එය අවිද්‍යාව හෝ මිත්‍යාව ලෙස හැඳින්වීමට ඔවුහු පුරුදු වී සිටිති. ආසනික්, රසදිය හා සයනයිඩ් කෘෂිරසායන වල ඇති බව මුලින්ම හඳුනා ගැනුණේ මෙලෙස අධ්‍යාත්මික බවින් යුතු විද්‍යාත්මක පදනමකිනි.
ආසනික් කතා බහේදී ඇතැම් විද්වතුන් අද කරනු ලබන ප්‍රකාශ ඉතා හාස්‍යය ජනකය. පසුගිය දිනක සති අන්ත පුවත්පතක රසායන විද්‍යා මහාචාර්යවරයෙකු වන ඩී.ඒ. ඉ‍ලේපෙරුම මහතා විසින් රජරට වකුගඩු රෝගීන්ගේ ආසනික් විෂ ලක්ෂණ නොමැති බව ප්‍රකාශ කර තිබුණි. එයින් ගම්‍ය වූයේ ඒ පිළිබඳ ඔහුගේ නොදැනුවත් භාවයයි. තමන් නොදන්නා ක්‍ෂේත්‍රයන් පිළිබඳව කතා නොකිරීමට වග බලා ගන්නේ නම් එයද සමාජය වෙනුවෙන් කරන මෙහෙවරකි.
වෛද්‍යවරයෙකු වශයෙන් මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක පිහිටි වාහල්කඩ රෝහ‍ලේ සේවය කළ කාලයේ එනම්, 2003 සිට 2005 අතර කාලයේ කොතරම් වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් සිටින්නේද යන වග මට පැහැදිලි විය. එසේම සියුම්ව පරීක්ෂා කර බැලුවහොත් බොහෝ රෝගීන් තුළ ආසනික් විෂ වූ විට එම ලක්ෂණ විද්‍යාමාන වේ. මා හට වකුගඩු රෝගය සහ කෘෂි රසායන අතර සම්බන්ධතාවයක් ඇති බව සැකයක් පැවතුනද එය ස්ථිර කර ගැනීමට මගක් නොවීය. නමුත් දැන් එයට හේතුව කෘෂි රසායන බව නිත්‍ය වශයෙන් පැහැදිලිය.
මෙම කෘෂි රසායන ගෙන්වනුයේ බහුජාතික සමාගම් මගිනි. මෙකී සමාගම් වල ප්‍රධානීන් වනුයේ මෙරට උපන් මෙරට බත් පත ආහාරයට ගන්නා ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන් ආහාර පිටරටින් ඇනවුම් කරනු ඇතැයි සිතිය නොහැක. ඔවුන් ආහාරයට ගන්නේද ඔවුන්ගේ බිරිඳ, දරුවන්, මාපියන්, නෑදෑයින්, හිතමිතුරන් ආහාරයට ගන්නේද එම සමාගම විසින්ම බෙදා හරිනු ලබන කෘෂි රසායන මගින් වස විෂ මුසු කර නිෂ්පාදනය කළ ආහාර බව අවබෝධ කර ගත යුතුය. එවන් කෘෂි රසායන ගෙන්වා බෙදා හැරීම පිළිබඳව එම සමාගම් ප්‍රධානීන් වන ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් මේ පිළිබඳව නැවත විමසා බැලිය යුතුය.
මෙම අවස්ථාවේදී කාෂි රසායන සමාගම් වලටද විවෘත ආරාධනයක් කරමි. එනම් වස විෂ නැති හෙළ ගොවි තැන ප්‍රචාරය කර එය ව්‍යාප්ත කිරීමට ඔබට ද මූලිකත්වය ගෙන කටයුතු කළ හැක. දේශීයව ඉතා පහසුවෙන් සකසා ගත හැකි විෂ නැති සරල ගොවිතැන් ක්‍රමයක් මේ වන විට පර්යේෂණ කණ්ඩායම විසින් හඳුන්වා දී ඇති බැවින් අවශ්‍ය නම් එය වැඩිදියුණු කර ගොවීන් අතර ප්‍රචලිත කළ හැකිවේ. එසේම පැරණි සහල් වර්ග වගා කර බෙදා හැරීම ද සිදුකළ හැක.
අප සමාජය අනිකුත් ආසියානු ජන සමාජ මෙන් නොව ඉතා උසස් මනසකින් යුතු බුදු දහම හා බැඳුණු ජන සමාජයක් බැවින් කෘමිනාශක වල ආසනික් සහ සයනයිඩ් නොමැති බවට කරනු ලබන මිත්‍යාව දිගටම සිදුකරගෙන යා නොහැකිය.
සත්‍ය පෙනි පෙනී සත්‍ය දැක දැකම අසත්‍ය ප්‍රකාශ කළ නොහැක. යමෙකු එසේ කරන්නේ නම් එය මුළු ජාතියම නොමග යැවීමකි. දේශයට ද්‍රෝහි වීමකි.
මෙම ආසනික්, රසදිය හා සයනයිඩ් විෂ වීම ඇතැමෙකුට සුළුවෙන් පෙනුනත් මෙහි ඇතුළාන්තය. ඉතා භයානකය. කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා සෑම තරාතිරකම අය රෝගී වීම ඉතා භයානකය. කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම, නිතර නිතර උණ වැළඳීම, රෝගී ළමා පරපුරක් බිහිවීම සැබැවින්ම ශෝචනීය වේ. එසේම වකුගඩු රෝගීන් වැඩි වීම, දියවැඩියාව බහුල වීම, පිළිකා බහුල වීම, වඳ භාවය, ප්‍රජනක හෝමෝන වෙනස් වීම, ස්නායු ආබාධ ප්‍රමුඛය.
මෙහිදී ඖෂධ සහ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රජයට දරන්නට වන පිරිවැය ඉතා අධිකය. වකුගඩු පෙරන ඒකකය සඳහා දැනුදු රජය අතිවිශාල මුදලක් වැය කරනු ලබයි.
එසේම සිදුවන පරිසර විනාශය සුලුපටු නොවේ. අද පදවිය ශ්‍රී පුර ප්‍රදේශයේ පසේ ගැඩවිලකු සොයාගත නොහැක. කපුටෙකු සොයාගත නොහැක. පරිසර අසමතුලිත භාවය එතරම්ම වැඩි වී ඇත.
රජයේ පාර්ශ්වයෙන් මෙහිදී ගත හැකි ක්‍රියාමාර්ග කීපයකි. පළමුව රජය පැහැදිලිවම මෙහි භයානක කම අවබෝධ කරගත යුතුවේ. එය මහජනයා වෙත වටහා දිය යුතු වේ. සාමූහික කැබිනට් තීරණයක් ගෙන රජය මෙම ප්‍රශ්නයට සෘජුව මැදිහත් විය යුතුය. කෘෂි රසායන විෂ වලින් තොර වූ හෙල ගොවිකම ගොවීන්ට හඳුන්වා දිය යුතුය. ගොවි සංවිධාන, ගොවි ජන සේවා ආයතන හරහා මෙය සිදු කළ හැක. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයද මෙහිදී වැඩි වශයෙන් දායක කරගත යුතුය. පර්යේෂණ කණ්ඩායම විසින් හඳුන්වා දී ඇති වගා ක්‍රමය මෙහිදී භාවිතා කළ හැකිවේ.
විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මෙසේ කාබනික ප්‍රමාණය වැඩි වන විට වී ගසට උරාගන්නා ආසනික් ප්‍රමාණය අඩු වී යනු ඇත.
කෘෂි රසායන ආනයනයේදී දැඩි නීති රීති සම්පාදනය අත්‍යවශ්‍යය. ආසනික් උග්‍රතම පිළිකා ජනකයක් බැවින් ඇමරිකාවේ ආසනික් භාවිතය 2008 වසරේදී සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. ශ්‍රී ලංකාවේද රජය මැදිහත් වී අවශ්‍ය නීති සම්පාදනය කර වස විෂ අඩංගු කෘෂි රසායන ගෙන්වීම තහනම් කළ යුතුය.
අද අපට බත සපයන ගොවියාගේ ශරීර සෞඛ්‍ය ඉතා දුර්වල තත්ත්වයකට පත්වෙමින් පවතී. ඔවුන්ගේ දරුවන්ද රෝගීන්ය. අනාගත ගොවි පරම්පරාවට කුමක් වනු ඇත්ද? අපට බත සපයන ගොවීන් වකුගඩු හා පිළිකා ලෙඩුන් බවට පත් වන විට අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වන කෘෂිකර්මයට කුමක් වනු ඇත්ද? මෙයට වහ වහා පියවරක් ගත යුතුමය.
රජයේ පාර්ශ්වයෙන් මෙම කාෂි රසායන වලින් තොර වූ ගොවිතැන රජයට ඉතා ලාභදායී ව්‍යාපාරයකි. වසරකට රජය වැය කරන ‍පොහොර සහනාධාරයත්, කෘෂි රසායන ආනයනය සඳහා වැය කරන අධික මුදලත් රටට ඉතිරි කර ගත හැකිය. එසේම දීර්ඝකාලීනව වකුගඩු රෝගීන්, දියවැඩියාව රෝගීන්, පිළිකා රෝගීන් අඩු වීම මගින් එම රෝගීන් සුවපත් කිරීම සඳහා වැය කරන අධික වියදම ඉතිරි කරගත හැකිය.
ඒ සැමටම වඩා වටිනුයේ, උතුම්ම ලාභය වන නිරෝගී සැපතත් අධ්‍යාත්මිකව ‍පෝෂණය වූ සමාජයකුත් මේ ධර්මද්වීපය තුළ බිහිවීමයි.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...