ඇමැතිවරයෙක්, දෙමළ ජාතිකයෙක් සහ දේශපාලන පොලීසිය

සුනන්ද දේශප‍්‍රිය
ආසියාවේ ආශ්චර්යක් වශයෙන් දැන් අපට ඇමැතිවරු 102ක් සිටින බැවින් මෙම සැසදීම සඳහා කුමන ඇමැතිවරයා ගත යුතු දැයි යන්න ගැටළුවක් බවට පත් වෙයි. මහාචාර්්‍ය වජිර වැනි බහුශ‍්‍රැත බෞද්ධ යතිවරයකුගේ ද ආශීර්වාදය ලබන දීරඝ දේශපාලන ඉතිහාසයකට උරුම කියන ආචාර්්‍ය මර්වින් සිල්වා ඇමැති වරයා තෝරා ගනිමු. ඔහු ජනාධිපතිවරයාගේ ද සමීපතමයකු වන ඔහු වන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිවරියගේ ද සමීපතමයකු ලෙස සේවය කළේ ය..
පුවත් මවන්නකු වශයෙන් ප‍්‍රසිද්ධියක් ද උසුලන ඒ මහතා කලක් එජාපයේ ද නායකයකු ලෙස ද හතර අතටම බැට දුන්නේ ය.

ඊළගට අප දෙමළ පුරවැසියකු ද තෝරා ගත යුතු ය. දෙමළ වීම නිසා මෑත කාලයෙහි ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ නිමලරූබන් එවැන්නෙකි. වවුනියා සිර ගෙදර දී ඔහුට පහරදී මරන දඩුවම දුන්නේ කිසිදු වරදකට දඩුවමක් ලෙස නොව සිය අයිතිය ඉල්ලීම නිසා ය. ශ‍්‍රී ලංකාවේ දරණූතම සමාජ අසාධාරණයට ලක්වන කඳුරට දෙමළ ප‍්‍රජාවට ස්ත‍්‍රියක් වීම නිසා විසි වසරක් සිර ගතව සිට පසුගිය දා කොළඹ මහ රෝහලේ දී මියගිය කාත්ති මුත්තුසාමි ද තවත් මතකයකි.
එසේ නමුත් නොනිල මරණ දඩුවම නිසා ජීවිතය හැර යාාමට සිදු වූ නිමලරූබන් හෝ කාත්ති වෙනුවට වඩා සමාජය පිලිගන්නා තත්ත්වයක් සහිත රජයේ රේගු දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂකවරයකු වන කනගසබෙයි රාජන් මහතා තෝරා ගනිමු.

කනගසබෙයි රාජන් මහතා රුපියල් මිලියනයක අල්ලසක් ගත්තේ යැයි චෝදනා කොට පසුගිය ජනවාරි 03 දා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඬංඟුවට ගන්නා ලදී. වහාම සිරගත කරන ලද ඔහු ඇප ලබා නිදහස් වීමෙන් පසු දෙමළ ජාතිකයකු වීම නිසා මුහුණ දුන් අභාග්‍ය සම්පන්න තත්ත්වය ජනමාධ්‍යට ප‍්‍රකාශ කළේ ය. ඔහු අත් අඬංඟුවට ගැනුනේ ජාවාරම්කරුවන් සමඟ කඳ බැද ගත් පොලිස් නිලධාරීන් විසින් බව ඒ වන විටත් අන්තර් ජාල ජනමාධ්‍ය කරුණූ ඇතිව පෙන්වා දී තිබුණි.

අත් අඬංඟුවට ගැනුනු කනගසබේයි මහතාට සිංහල බසින් සිය ප‍්‍රකාශය කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් බල කළේ ය. තමාට සිංහල බස හොදින් හැසිරවිය නොහැකි බව කී විට ‘එහෙම නම් ඉර පායනකම් ඔහොමම ඉදපන්’ යැයි පොලිස් නිලධාරීන් කෑ ගසා තර්ජනය කළේ ය. ඒ සවස හතරට පමණය. 30 වසරක් රජයේ සේවය කර තිබූ නමුත් කනගසබේයි දෙමළකු විය. එබැවින්ම ඔහු පොලිස් නිලධාරීන්ගේ නොසරුප් බසෙහි ගොදුරක් බවට පත්විය.
පොලිස් පරීක්ෂක අබේසිංහ සිංහල බසින් ප‍්‍රකාශය නොකළ හොත් කනගසබේයිගේ ජංගම දුරකථනය පොලවේ ගසන බවට තර්ජනය කලේ ය. සිය සැමියාට දෙමළ බසින් සිය ප‍්‍රකාශය කරන්නට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි ඒ මහතාගේ බිරිදට බැන වැදුණූ පොලිස් නිලධාරීහු ඇය එලවා ගත්හ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සාම ලේකම් කාර්්‍යාලයේ නියෝජ්‍ය ලේකම්ව සිටියදී ඝාතනය කරන ලද දෙමළ ජාතික බුද්ධිමතකු වූ කේතීශ්වරන් ලෝගනාදන්ගේ මරනය පිළිබඳව ඔහුගේ බිරිදගෙන් ප‍්‍රකාශයක් ගැනීමේදී ඇය ද මුහුණ දුන්නේ මෙවැනිම කටුක යථාර්තයකට ය. ඒ 2006 දී ය. දැන් ඉන් වසර 8ක් ගතවීමෙන් පසුත් තත්ත්වයේ වෙනසක් නැත.

අත් අඬංඟුවට ගැනීමෙන් පසු කොළඹ කොටුවේ ගපූර් ගොඩ නැගිල්ල අසළ පැය ගණනාවක්ම වාහනයක ඔහු රඳවා ගෙන සිටියේ ජාවාරම්කරුවන්ට පැමිණ යළි යළි අවමන් කිරීමට ඉඩ දෙමිනි. පොලීසිය සහ ජාවාරම්කරුවන් අතර වූ අශුද්ධ හාදකම කළ එළියේම ප‍්‍රදර්ශනය කෙරුණි. ජාවාරම්කරුවෝ පැමින අල්ලස් කොමිසමේ නිලධාරීන් සමඟ සිටි කනගසබේයි මහතා ජායාරුපයට ද නැඟූහ.

පැය ගණනාවක් වාහනයේ රඳවා සිටි කනගසබේයි මහතාට මුත‍්‍රා බරක් ඇති වීය. ඒ බව අල්ලස් දෙපාර්ථමේන්තුවේ පොලිස් නිලධාරීන්ට කී විට ‘එහෙනම් පාරට ගිහින් කරපන්’ යැයි කීහ. ගරු කටයුතු නිලයක් දැරූ ඒ මහතාට සිදු වූයේ පදික වේදිකාවේ මුත‍්‍රා කිරීමට ය.

රාත‍්‍රි 10.30ට පමණ තමාට බඩගිනි බව දන්වන තුරු ඔහුට රාත‍්‍රී ආහාරය ලැබුනේ නැත. එනමුත් ප‍්‍රකාශය කරන තුරු එලෙස ගෙන එන ලද බත් පාර්සලය කෑමට ඉඩ නොදුන් අතර කනගසබේයි මහතාට සිදු වූයේ කන ගමන්ම කතා කිරීමට ය. (පොලිස් සිර කූඩුවල දී සහ කට උත්තර දීමට පැය ගනන් හතර වැනි තටුට්වේ රඳවා තිබිය දී පවා කැම කෑමට නිදහස දී තිබූ බව මේ ලියුම්කරු අත්දැකීමෙන්ම දනී).

අල්ලස් ගැනීම පිළිබඳ මෙම නාටකයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ ශිරාන් ධම්මික සුබසිංහ ජනමාධ්‍යට කියා සිටියේ , සිය ප‍්‍රකාශය පොලීසියට දීමට ගිය විට අල්ලස් දෙපාර්ථමෙන්තුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කනගසබේ රංජන්ට පක්ෂව ප‍්‍රකාශක් කළ හොත් වැඩ වරදිනු ඇති බවට තමාට තර්ජනය කළ බව ය. සුබසිංහට අනුව අල්ලස් කතාව නිර්මානයකි. කනගසබේයි එවැනි මුදලක් නොගත් අතර මුදල් සහිත බෑගය බිම දමා ඔහුගේ දෙපා මුලට තල්ලූ තරන ලද්දේ අදාල ජාවාරම්කරුවා විසිනි. වාහන ජාවාරමට අයත් කෝටි ප‍්‍රකෝටි ගණනාවක වංචාවක් අල්ලා ගැනීම සම්බන්ධයෙක් ජාවාරම්කරුවෝ කනගසබේයි සමඟ උරණ වී සිටියහ. කනගසබේයිට පක්ෂව ප‍්‍රකාශයක් කළ හොත් සිය ව්‍යපාර බංකොලොත් කරන බවට පමණක් නොව ජීවිතයට අනතුරක් විය හැකි බවට අල්ලස් දෙපාර්ථමේන්තුවේ පොලිස්පරීක්ෂකවරයා සුබසිංහට ‘‘ළඟදීම උඹට වෙන දේ බලා ගනින් ’’ යැයි තර්ජනය කළ බවත් සුබසිංහ තවදුරටත් මාධ්‍යට ප‍්‍රකාශ කළේ ය.

මේ වනාහී සමාජයේ පිළිගැනීමක් සහිත 30 වසරක රාජ්‍ය සේවයේ සිටි කනගසබේයි දෙමළකු වීම නිසා දේශපාලන පොලීසියෙන් සහ අල්ලස් නිලධාරීන්ගෙන් ලද විශම සැළකිල්ලයි.

දැන් ආචාර්්‍ය මර්වින් සිල්වා ඇමැතිවරයා දෙසට හැරෙමු. ඔහු ගැන කතා කරන්නේ කලක් ඔහුගේ දේශපාලන සගයකුව සිටි කැළනිය ප‍්‍රාදේශීය සහාවේ සභාපති ප‍්‍රසන්න රණවීර ඇතුලූ ප‍්‍රාදේශීය සභා මංත‍්‍රීන් ය.

ඇමැතිවරයගේ හෙංචයන් විසින් කැළනිය කුඩු ජාවාරමේ, වෛශ්‍යා වෘත්තියේ සහ කප්පම් ගැනීමේ තොතැන්නක් බවට පෙරළි ඇති බවත් කැළනියෙහි නීත්‍යනුකූලව ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම අද ප‍්‍රශ්ණයක් බවට පත්ව ඇති බවත් ප‍්‍රසන්න රණවීර පවසයි. මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද පැමිණිළි වලට කිසිදු ප‍්‍රතිචාරයක් මේ තාක් පොලිසියෙන් ලැබී නැත. එපමණක් නොවේ. එම ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී හසිත මඩවලගේ සැකකාර මිනීමරුවා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සමඟ පෙරදින ගතකර ඇති නමුත් ඒ පිළිබඳව හෝ පොලීසිය කිසිවක් ඇමැතිවරයාගෙන් විමසා නැත.

සමහර විට මෙම සැසැදීමට අදාළ වැදගත්ම කරුණ වෙනත් එකකි. එනම් අල්ලස් දෙපාර්ථමේන්තුව පිළිබඳව ය.

ප‍්‍රසන්න රණවීර පවසන්නේ අමාත්‍ය සිල්වා පිළිබඳ විශාල ලිපි ගොනුවක් තමන් ඇතුළු මංත‍්‍රිවරුන් අල්ලස් කොමිසමට ලබා දී වසරක්ම ගත වි ඇතත් කිසිදු පියවරක් ගෙන නැති බවයි. රියැදුරකු ලෙස සිය ජිවිතය ඇරඹූ කිසි දිනෙක අධික වැටුප් සහිත රැකියාවක නොයෙදුනු අමාත්‍ය සිල්වා අද කොල්ලූපිටියේ නිවසක, කොළඹ 02 පිත්තල හන්දියේ සුවිසල් මහමැදුරක, නාවල නාරාහ්න්පිට පාර අසළ තවත් ඉඩමක සහ උතුරු මැද පළාතෙහි අක්කර 150ක ඉඩමක හිමිකරු බව ප‍්‍රසන්න රණවීර පවසයි. ඇමැතිවරයගේ නිවෙසේ ඇති වාහන වටිනාකම රුපියල් මිලියන 200කට වැඩි ය. තමන් මෙම සියළු තොරතුරු රහස් පොලීසියට සහ අල්ලස් කොමිෂමට දුන් නමුත් කිසිදු පරීක්ෂනයක් කර නැතැයි රණවීර මහතා චෝදනා කරයි.

එක්කෝ මෙම චෝදනා ප‍්‍රසිද්ධියේ කරන ප‍්‍රසන්න රණවීර මහතාට එරෙහිව පොලීසිය පියවර ගත යුතුය. නැත්නම් ඇමැතිවරයාට එරෙහිව පියවර ගත යුතු ය. දේශපාලනකරණය වී ඇති පොලීසිය පන්නන්නේ දේශපාලන හයියක් නැති මිනිසුන් පසුපස පමණය. ප‍්‍රසන්න රණවීර ජනමාධ්‍යට කියා ඇති ජනාධිපතිවරයාගේ 67වන උපන්දිනයට ගවයින් 67 දෙනෙකු නිදහස් කිරීම පිළිබඳ කතාව ඇදහිය නොහැකි තරම් ය. ඔහුට අනුව ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ 67 වන උපන් දිනය වෙනුවෙන් මසට විකුණා ඇති ගවයින් 67 දෙනෙකු නිදහස් කරන බව ප‍්‍රකාශ කොට දැන් හසිත් මඩවල මිනිමැරුවට පටලැවී ඇති සිංගප්පූරු සරත්ට ඒ වෙනුවෙන් මුදල් එක් කිරීම බාර දුන්නේ ය. කැළණියේ ව්‍යාපාරිකයින්ගෙන් මේ සඳහා රුපියල් ලක්ෂ දොළහමාරක් එක් කරන ලදී. ඒ අතර වාරයේ බූරු තිලක් නම් සිය සහචරයකු ලවා ඇමැතිවරයා වවුනියාවෙන් සහ අම්පාරෙන් ගවයින් ප‍්‍රවාහණය කර ගත්තේ ය. පොලීසිය එම නීති විරෝධි ගව ප‍්‍රවාහණයට විරුද්ධව පියවර ගත්තේ නැත. ගවයින් නිදහස් කිරීමේ ‘පුන්‍ය කර්මය’ පිනිස ජනාධිපතිවරයා ද පැමිණි බවත් වැඩිපුර සිටි ගවයින් මස් මඩුවට විකුණන ලද බවත් ප‍්‍රසන්න රණවීර ප‍්‍රකාශ කරයි. අන්තිමේ දී සිදු වුයේ මස් පිනිස මරා දැමීමට සිටි ගවයින් නිදහස් කිරීම නොව තවත් ගවයින් මස් මඩුවට විකිනීම ය.

මෙම සිදුවීම් සිදුවන සමයේ මෙම කැළණිය ප‍්‍රදේශිය සභා සභාපතිවරයා අමාත්‍ය සිල්වාගේ කණ්ඩායමේ අයකු වූ බැවින් මෙම කතා ගොතන ලද ඒවා යැයි බැහැර කල නොහැක. පොලීසිය කල යුත්තේ ඒ පිළිබඳ නිසි පරීක්ෂන කිරීමයි. 67 වන උපන්දින පුන්‍යකර්මය පාපායක් වි නම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමක් ජනාධිපතිවරයාට ද තිබේ. නමුත් එවැනි කිසිවක් සිදුවන පාටක් නැත.

ශ‍්‍රී ලංකාවේ වත්මන් යථාර්තය මෙය යි. ජාවාරම්කරුවන් සමඟ කල්ලි ගැසෙන පොලීසිය ගරුකටයුතු රජයේ සේවකයකු කුදලා ගෙන ගොස් ඔහු දෙමළකු වීම නිසා අමතර හිංසාවන්ටද පත් කරයි. එනමුත් සාක්ෂි සහිතව රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් කැරෙන සාක්ෂි කුණු කූඩයට යයි. මේ අපේ රට ය. මෙවැනි කතා තව කොතෙකුත් නම් ඇත් ද? අසරණ නිර්දෝශි පුරවැසියන් කුදලා සිර ගත කරති. වංචාවෙන් සහ දූෂණයෙන් අගතැන් පත් දේශපාලනඥයෝ රට කරවති.

ඉදින් අපි කුමක් කරමුද?

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...