ඉන්දියානු ජාතික ‘ඔත්තුකාර කුමරිය’ ලන්ඩනයේ උපදී…
November 11, 2012
58 Views
දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාවට අසුවී ඔවුන‍්ගේ වධ බන්ධන මැද පවා රහස් එළිදරව් නොකිරිමෙන් වීරත්වයට පත් ‘ඔත්තුකාර කුමරිය’ ලෙස අන්වර්ථ නාමයකින් හැඳින්වෙන ඉන්දීයානු ජාතික නූර් ඉනායත් ඛාන් ගේ පිළිරුවක් පෙරේදා බ්‍රිතාන්‍යයේ දී දෙවැනි එළිසබත් රැජනගේ දියණිය වන ඈන් කුමරිය විසින් විවෘත කරන ලදී.
මධ්‍ය ලන්ඩනයේ ගෝඩන් චතුරශ්‍ර උද්‍යානයේ දී ඛාන් ට උපහාර පිණිස ඇගේ උඩුකය දැක්වෙන මෙම ලෝකඩ පිළිරුව ඉදිකෙරී ඇත. ඛාන් ඉන්දීය වංශවතකුගේ දියණියක ලෙස සැලකේ. ප්‍රංශයට යවන ලද පළමුවන ගුවන් විදුලි ක්‍රියාකාරිනිය වන ඇය නාසි පණිවුඩ හුවමාරු වලට බාධා පමුණුවන ලද අතර නාසි හමුදා ග්‍රහණයට පත්ව වධ බන්ධනයන්ට ලක් කරද්දි පවා රහස් එළිකිරීමෙන් වැලකී සිටියාය.
1944 සැප්තැම්බර් මාසයේ දී ‘ඩචවු’ වධක කඳවුරේදී 30 හැවිරිදි ඇය වෙඩිතබා ඝාතනය කෙරිණ. ඇගේ මරණින් පසු ඇයට ජෝර්ජ් ක්‍රොස් සම්මානය පිරිනැමුනු අතර ඇය බ්‍රිතාන්‍යයේ ඉහළම අභීත සම්මානය ලත් සෙබළ නොවන කාන්තාවන් සිවුදෙනාගෙන් එක් අයකුලෙස පැවසී තිබේ.
ගාඩියන් පුවත් පත ඇය බ්‍රිතාන්‍යයේ එකම මුස්ලිම් යුද විරුවරිය ලෙස හඳුන්වා ඇති අතර ඇගේ උඩුකය පිළිරුව බ්‍රිතාන්‍යයේ ආසියානු කාන්තාවක් අනුස්මරණය කෙරෙන එකම පිළිරුව ලෙස වාර්තා කර ඇත. ඛාන් ගේ පිළිරුව ඉදිව ඇති ගෝඩන් චතුරශ්‍ර උද්‍යානය ඇගේ ළමාවිය ගතකළ ප්‍රදේශයට ආසන්න වූවකි. ඉන්දියානු ජාතික පියකුට හා අමෙරිකානු මවකට දාව ඇය උපත ලබා ඇත්තේ 1914 ජනවාරි 1 දාය.ලන්ඩනයේ ළමාවිය ගතකළ ඇය පසුව පැරිසියට ගොස් තිබේ. 1940 නාසි හමුදාව ප්‍රංශය යටත් කර ගැන්මට මත්තෙන් බ්‍රිතාන්‍යයට පලා ආ ඇය බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී ගුවන් විදුලි ක්‍රියාකාරිනියක ලෙස සේවය කළාය.
featured Latest slider 2012-11-11