ඉස්කෝලෙ නොගිහිං පොත් 27ක් ලියූ ආබාධිත ලේඛිකාව

සාහිත්‍ය මාසය තුළත් සාහිත්‍ය මාසය ආසන්නවත් සාහිත්‍යය ගැනත් සාහිත්‍යකරුවන්, විශේෂයෙන් ‍ලේඛකයන් ගැනත් බොහෝ දෙනා බොහෝ දේ කතා බහ කරති. විශේෂයෙන් ‍ විශේෂයෙන් ‍ලේඛක සමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු හා උපහාර උත්සවද පවත්වති. ඒ අතරතුර ‍ලේඛක ‍ලේඛිකාවන්ට දහසින් බැඳි පියලිද ප්‍රදානය කෙරෙති. සාහිත්‍ය මාසය ළං වෙත්ම මේ රටේ සාහිත්‍යය ගැන මහා කලබගෑනියක් සිදුවන බවද නොරහසකි. සාහිත්‍ය උපහාර හා උත්තමාචාර පිළිගැන්වීමේදී විවිධ අකටයුතුකම්, කොන්කිරීම් හා අසාධාරණකම් සිදුවන බවද නොරහසකි. ඒ අතර අපේ විද්වත් සාහිත්‍යකරුවන් අතරත් එකිනෙකා පිට කසා ගන්නා අවස්ථාද නැතුවා නොවේ.

රටක සාහිත්‍ය ඉදිරියට ගමන් කරන්නේ ඒ රටේ සිටින නිර්මාණශීලී ‍ලේඛකයන් නිසාය. අතීතයේ සිට මේ රටේ විසූ අදීන ‍ලේඛක පරපුරක් මේ රටේ
සාහිත්‍ය ‍පෝෂණය කර ඇත. අදත් පැරණි ‍ලේඛක පරපුර සිහිපත් කරන කිසිදු අඬබෙර ගැසීමකින් තොරව ඉතාමත් නිස්කලංකව සාහිත්‍යකරණයෙහි යෙදෙන නිර්මාණකරුවන් මේ රටේ විසීම ජාතියේ වාසනාවකි.
එවැනි අඬබෙර ගැසීමකින් තොරව ඉතාමත් නිහඬව ‍ලේඛන කාර්යෙයහි යෙදෙන අධිෂ්ඨානශීලී දිරිය කාන්තාවක් පසුගියදා අපට හමුවිය. මේ වන විට ‍පොත් 27ක් ලියා පළ කළද ඇයගේ සුවිශේෂත්වය වන්නේ ඇය ජීවිතයේ කිසිදු දවසක පාසල් නොගිය කාන්තාවක් වීමය. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් මේ නිර්මාණශීලී අදීන ‍ලේඛිකාව වැස්සකටවත් පාසලකට ගොඩවී නැත.
එය විශ්මයක් වුවද සත්‍යයකි. තවත් සුවිශේෂත්වයක් ඇත. එනම් ඇය දෙපා පණ නැති ආබාධිත කාන්තාවකි. රෝද පුටුවකට වී මුළු දවසම – මුළු ජීවිත කාලයම ගත කළද ඇය දෙපා පණ ඇති මිනිසුන්ට ආදර්ශයක් දෙමින් මෙරට සරු ‍පොළොවෙහි දෙපා සවිමත්ව තබමින් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටින්නීය.

මේ දිරිය ‍ලේඛිකාව නමින් අකුරැස්සේ පරදුව රූපා කොඩිතුවක්කුය.
දැනට අසූ දෙහැවිරිදි (82) වියෙහි පසුවුවද ඇය සිය ‍ලේඛන කාර්යෙයහි යෙදී සිටින්නී නොසැලෙන අධිෂ්ඨානයෙන් හා අප්‍රතිහත ධෛර්යෙන් යුතුවය. පාසල ඇයට අකුරු සිරකළ චීන මහා ප්‍රාකාරයක් වුවද ‍පොතපතින් මෙන්ම ජීවිතය නමැති තක්සලාවෙන් ලද පරිපූර්ණ දැනුම, අවබෝධය සහ අත්දැකීම ඇයගේ ජීවිතය කෙතරම් මුවහත් කළාදැයි වැටහෙන්නේ ඇය සමග යෙදුණු කෙටි පිළිසඳරේදීය.
දරුවන් නව දෙනෙකුගෙන් (09) යුත් පවුලක බාලයා ලෙස උපත ලබා ඇති රූපා කොඩිතුවක්කු අයියලා හතර දෙනෙකුගේ (04) හා අක්කලා හතර දෙනෙකුගේ (04) ආදරය ලබමින් මෙලොවට බිහිවීමේ වරම් ලබා ඇත. ඇගේ පියා පරදුව දොන් අන්දිරිස් කොඩිතුවක්කු නම් විය. මව මිලී වික්‍රමරත්න ජයසේකර නම් වූවාය. පවු‍ලේ බාලයා බඩ පිස්සි ලෙස ඇය උපත ලැබූ බැවින් ගෙදර කවුරුත් කීවේ හිච්චී කියාය. එහෙත් හිච්චී පසුව නිකම්ම හිච්චා බවට පත්විය.

එහෙත් මාස හතේදී (7) ඇයගේ ජීවිතය නව දිසානතියකට යොමු වූ කාලයක් විය. එනම් ‍පෝලියෝ රෝගය වැළඳීම නිසා ඇයගේ දෙකකුල් පණ නැති වී එක තැනක ඉන්නට සිදුවීමය. ඒ නිසාම ඇයට කිසිදු දිනෙක පාසල් යාමේ වරම්ද අහිමි වූවාය.
එහෙත් පාසල් යාමට අහිමි වූ වරම ඇය කෙසේ හෝ උරුමකර ගන්නට තනිවම සටන් කළාය. තාත්තා ගෙනැවිත් දුන් හෝඩි‍පොත කියවා අක්කලාගේ සහ අයියලාගේ ‍පොත්පත් බලා අකුරු ඉගෙන ගැනීමට ඇය සමත් වූවාය.
ඇයගේ කතාව ඇගේම වචනවලින් අසන්නට ලැබිම මහත් ආස්වාදයක් වන බැවින් ඒ කතාව ඔබට කියන්නට අපි ඇයට ඉඩ හැරියෙමු.
“මම ඉපදිලා තියෙන්නේ 1931 නොවැම්බර් 8 වැනිදා. දැන් මගේ වයස අවුරුදු 82යි. මට මාස හතේදී (07) ‍පෝලියෝ රෝගය හැදිල තියෙනවා. ඒ කා‍ලේ ඒක ‍පෝලියෝ රෝගය කියලා හඳුනා ගෙන නැහැ. ඒක ග්‍රහ අපලයක් කියලයි කියලා තියෙන්නේ. ගෙදර අයත් නෑදෑයොත් ගෙදරට යන එන අයත් ඒක එහෙමයි කියලා තමයි හිතලා තියෙන්නේ.
නොයෙකුත් වෙදකම් කරලා තියෙනවා. නමුත් ඒ එකකටවත් සුවයක් ලැබිලා නැහැ. ඒක නිසාම ස්කෝ‍ලේ යන්නත් අකුරු ඉගෙන ගන්නත් බැරි වුණා. ඒ වුණාට තාත්තා හෝඩි‍පොතක් ගෙනැත් දීලා අකුරු කියා දීලා තියෙනවා. නැකතටෙයි කියලා අකුරු කියවීමක් කරලා නැහැ.
අයියලා අක්කලා ස්කෝලෙ ගිහිල්ලා ‍පොත්පත් කියවන නිසාත් ලියන නිසාත් මටත් හරි ආසාවක් ඇති වුණා අකුරු ලියන්න කියවන්න. එයාලාගේ ‍පොත් අරගෙන අකුරු අඳුනගෙන මම ලියන්න කියවන්න ඉගෙන ගත්තා. මගේ අක්කලා දෙන්නෙක් පස්සේ ගුරුවරු වුණා.
මම මුලින්ම ලිව්වේ කවි. මුල්ම ‍පොතත් කවි ‍පොතක්.
1939 වසරේ එක්තරා දිනක රූපා මහත්මියට වයස අවුරුදු අටේදී(8) පමණ ගෙදර සියල්ලෝම හිච්චා ගෙදර දමා මහියංගනේ වන්දනාවේ ගොස් ඇත. කාන්සියෙන් පාළුවෙන් සිටි රූපා වේදනාවෙන් හා දුකෙන් යුතුව සිය සිතුවිලි මෙසේ කවියට නැගුවාය.
මේ ඇය ජීවිතයේ ප්‍රථම වරට ලියූ මුල්ම කවියයි.

මැණිකයි මමයි මිසියයි මේ ගෙදර තියා
මතකයි සියල්ලම මහියංගනේ ගියා
තනිවුණ අයුරු දිවසින් දැක ඇතිව දයා
සෑරද ඇහැව්වලු හිච්චා කොහිද කියා

මෙම කවිය අප සමග පවසා මද වේලාවක් සමාධිගතව සිටි ඇය නැවත සිය කටහඬ අවදි කළාය.
මෙම කවියත් එක්ක මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. මේ කවිය දැකපු එදා වන්දනාවේ ගිය මගේ තාත්තාගේ අයියගේ පුතා තාත්තාට හුඟාක් දොස් කියලා තිබුණා. ඊට පස්සෙ මම දිගටම කවි ලිව්වා. මගේ පළමුවැනි ‍පොතත් කවි ‍පොතක්. මේ අතරෙ තවත් රසවත් සිද්ධියක් ඇති වුණා. ලියන කවි නිකම් ගෙදර තියන් ඉන්න බැහැනේ. ඒව පත්තරවලට යවන්න ඕනනේ.
මම අම්මගෙන් සල්ලි ඉල්ලුවා. ලියන කවි පත්තරවලට යවන්න. මුද්දර ගන්න. අම්මා කිව්වා ‘ඔය කවි ලියලා මොකටද? ඉතිපිසෝ ගාථාව හරි තුන්සරණේ කවි කිව්ව නම් ඉවරයිනේ. ලබන ආත්මේවත් ඇවිදින්න පිනක් වේවි නේ’ කියලා. සල්ලි නම් නැහැ. ‍පොල් අත්තක් වියාගත්ත නම් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් කියලා. මම ඒ අභියෝගයත් භාර ගත්තා. මම අභියෝගවලට ආදරය කරපු කෙනෙක්. මම ‍පොල් අතු වියලා සල්ලි හොයාගෙන මුද්දර අරගෙන පත්තරවලට කවි යැව්වා. ඒ කවි පත්තරවල පළ වුණා. ඊට පස්සෙ දිගටම ලිව්වා.
රූපා මහත්මියගේ මුල්ම කවි‍පොත පළවූයේ 1962 වසරේදීය. එය නමින් ගිනි සිසිල නම් විය. එදා සිට අද දක්වාම ඇය නවකතා ‍පොත් 11 සහ ළමා කතා 4 ලියා පළකර ඇත.

රූපා ලියූ ‍පොත් අතර වන්දි ගෙව්වෙමි, මට විතරද මෙහෙම වුණේ, ඔබේ දෙනෙතින් සුවය ලබන්නෙමි, මාත් ගැහැනියක්, ඔහුද නුඹද වැරදි කළේ, මගේ දුකට නුඹ නාඩන්, මලට පෙති වගේ, මතකය අවදි වී, මලක මහිම හා මලක පෙති මත වෙයි. ඇය ලියූ අලුත්ම නවකතා ‍පොත කෙටි හාමිනේ නම් විය. මෙයට අමතරව ඇය සුදු රෙදි හොරා, වැහි කුමාරි, කපුටු හාමි කළුවුණු හැටි, අමිල මල් කුමාරි වැනි ළමා කතා 4ක් ද නිර්මාණය කර ඇත. කතරක පිපි මල් ඇගේ එකම කෙටිකතා ‍පොතය.

පුරා වසර 60ක් පමණ එක දිගට අඛණ්ඩව නිර්මාණකරණයෙහි යෙදුණු මෙම දිරිය කාන්තාවට කලාභූෂණ ජාතික සම්මානය ඇතුළු සම්මාන 12ක් ලැබි ඇත. එහෙත් මේ සියලු සම්මානවලට වඩා ඇය අගයන්නේ ඇයට ලැබෙන ජනතා සම්මානයි.
මේ රටේ ළමා හා තරුණ පරපුර සඳහා ඇය විසින් අපේ රටේ විසූ ශ්‍රේෂ්ඨ නරපතියන් 10 දෙනෙකු පිළිබඳව චරිත කතා ‍පොත් පෙළක් ලියා ඇත. ඒ නරපති රාවණ, පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, වසභ, මහසෙන්, ධාතුසේන, විජයබාහු හා පරාක්‍රමබාහුය.
මේ ‍පොත් ටික ලියන්න හුඟාක්ම මහන්සි වුණා. මහාවංශය විතරක් දහසැරයක් විතර කියෙව්වා. රාජාවලිය වගේ තවත් ‍පොත් රාශියක් කියවලයි කරුණු එකතුකර ගත්තේ. මේ ‍පොත් ටික ඔක්කොම දෙහිවල නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානය මුදල් දීලා ගත්තා. මේ ‍පොත් අපේ ළමයින්ට ඉතාමත් වැදගත් අතිරේක ‍පොතක් හැටියට කියවන්න දෙන්න.
ගරු ජනාධිපතිතුමා මාතරට ආපු වෙලාවක ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට වාහනයක් එවල තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ විද්‍යාලය විවෘත කරන උත්සවේට. මම ගිහිල්ලා ජාතික වීරයන්ගෙ ‍පොත් 10 එතුමට දීලා ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා ඒ වෙලාවේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට ‍පොත් ටික දීලා පියවරක් ගන්න කියලා කිව්වා.
ඊටපස්සේ මම ‍පොත් පෙළ සංශෝධනය කරලත් ඉදිරිපත් කළා. දැන් මාස 7-8ක් වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ.
දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර එකතු කරන මුදල් වලින් ඒ මහත්මිය රත්තරන් බඩු ටිකක් ගත්තේ හදිස්සියක් වුණොත් උගසට තබා මුදල් ටිකක් ගන්නටය. ඇය විසින් අලුතෙන්ම ලියන ලද ‍පොත වූ ‘කෙටි හාමිනේ’ සඳහා රත්තරන් බඩු ටික බැංකුවට තබා රුපියල් 75,000ක් ගත්තේ ‍පොත මුද්‍රණය කරන්නටය. ‍පොත ටික ටික අලෙවි වුවත් රත්තරන් බඩු ටික තවමත් බැංකුවේය.
කුඩා කාලයේ සිටම එක තැනකට වී කාලය ගතකරන රූපා මහත්මිය සිය නිර්මාණ තුළින් ජීවිතය හා යථාර්ථය විනිවිද දකින්නට තරම් තියුණු අත්දැකීමක් ලබාගත්තේ කෙසේ දැයි විමසුවෙමි.
මට ඇවිදින්න බැරි වුණාට මම කවදාවත් ජීවිතේ දුකක් කියලා හිතුවෙ නැහැ. මම අභියෝගවලට බයේ පැනල ගියේ නැහැ. මම පුංචි කා‍ලේ ඉඳල අපේ ගෙදරට හරියට මිනිස්සු ආවා ගියා. තාත්තාට හුඟාක් කුඹුරු ඉඩකඩම් තිබුණා. ඉතින් මිනිස්සු ආවා ගියා වැඩ කරන්න. මම නිතරම ඒ අයත් එක්ක කතා බහ කළා. ඒ මිනිස්සුත් මට නොයෙකුත් කතන්දර කිව්වා. අනික මම පුළුවන් තරම් කියෙව්වා.
මම රෝද පුටුවෙන් ගියත් දෙපා හරියට තියෙන සමහරුන්ට යන්න නොලැබෙන තැනකට මට යන්න පුළුවන් වුණා. සිරිපාදෙ වඳින්න ගිය ගමන මට ජීවිතේටම නොවේ ආත්ම ගණනාවකටම මතක තියේවි. ඒ උදාර ගමන මට යන්න පුළුවන්කම ලැබුණේ තිස්ස හේවාවසම් මහත්තයා නිසා. ගුවන් විදුලියේ හෙන්රි සෙනෙවිරත්න මහත්තයත් උදව් කළා. මුලින්ම බෙල්ලන්විල පන්සලට ගිහිල්ල එතනින් පස්සෙ සිරිපාදෙ කරුණා කෙරුව. මාව සිරිපාදෙටම පුටුවක තියල උස්සගෙන ගියේ තරුණ දරුවන් කණ්ඩායමක්. සිරිපාදේ මුදුනෙදි මම මේ කවි දෙක ලිව්වා.

සිරිපා පියුම වැඳගත් පසු නළල ඇන
ලොව ඉන් ඉහළ ඇත්තේ සැපතක්ද මොන
මහ හිමයෙදි කරුණාවට පිහිට වුණ
සුරිඳුට සමන් අනුමෝදන් කරමි පින

මහගිරි දඹේ මා ගෙන ගිය තරුණ පුතුන්
මතු ඉපදීවා සවිබලයෙන් ලෙසට ඇතුන්
මේ දරු පිරිස කළ මේ කාරියට ඇතුන්
පුදුමෙට පත් වුණා ආ ගිය සැදැහැවතුන්

ගහට කොළට, සතා සිව්පාවාට, සොබා දහමට ආදරය කරන රූපා මහත්මිය විවේකීව කාලය ගත කරන විට ගෙදර මිදුලට වී කුරුල්ලන් හා මල් දෙස බලා මහත් තෘප්තියක් විඳින බව පැවසුවාය. ඇය ප්‍රකාශ කරන්නේ සොබාදහමට ළං වෙන විට ආදරය කරන විට ජීවිතයටත් ‍පොදු සමාජයටත් ආදරය කරන්නට පෙළඹෙන බවය. නිවස අසලින් ගීතවත් බවින් යුතුව ගලාබසින නිල්වලා නදියේ චමත්කාරයත්, වෙල් ඉපනැල්‍ලේ නැගෙන ගැමි සුවඳත්, සිසිල් සුළඟ හා දැවටුණු සේපාලිකා මලක පිවිතුරු බවත්, සුවඳවත් බවත්, ගිරා මලිති කොබෙයියන්ගේ කන්කලු ගී නාදයත් රූපා මහත්මියගේ නිර්මාණයන් තුළ දැවටී ඇත.

පුරා පැය තුනක (3) කාලයක් ඇය සමග විවිධ විෂයන් පිළිබඳව පිළිසඳරේ යෙදුනද ඒ සංවාදයෙහි කිසිදු අපහසුතාවයක් ඇතිනුවූයේ ඒ ඒ විෂයන් පිළිබඳව ඇය දක්වන නව ආකල්ප නිසාය. සාහිත්‍ය කලාව ගැනත් තරුණ ‍ලේඛක ‍ලේඛිකාවන් පිළිබඳවත් මේ රටේ සමාජ දේශපාලන පැවැත්ම ගැනත් තරුණ මව්වරුන් සහ කාන්තාවන් ගැනත් රූපා දක්වන අදහස් ඉතාමත් ප්‍රගතිශීලීය. එහෙත් විවාදාත්මකය.
අපේ රටේ තරුණ ‍ලේඛක ‍ලේඛිකාවන් ගැමි පරිසරය ගැන සොබාදහම ගැන දැන් ලියන්න නැහැ. මං දන්නේ නැහැ මොනව වෙලාද කියලා. හුඟදෙනෙක් බටහිර සංස්කෘතියට ගැතිවෙලා. දියුණු වෙන ලෝකයත් සමග ඉදිරියට ගියත් අපේ ගැමිකම, බෞද්ධකම, සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරගත යුතුයි. මෙහෙම කිව්වම අපේ කාන්තාවන් මාත් එක්ක අමනාප වෙයි. ඒත් නොකියා බැහැ. අපේ අම්මලා, තරුණ දරුවො ඇඳුම් පැළඳුම්වලින් පවා ආදර්ශමත් විය යුතුයි.

දැනට 82 හැවිරිදි වියෙහි පසුවන මෙම දිරිය ‍ලේඛිකාව ජීවිතයේ දැන් ගෙවන්නේ සන්ධ්‍යා සමයයි. තව තවත් සාහිත්‍ය නිර්මාණ කටයුතුවල යෙදෙන්නට මම ඇයට ශක්තිය හා ධෛර්යය පැතිය යුතු නැත. මක්නිසාද ඇයට තවත් කලක් මෙම කාරිය කරන්නට යෝධබල යෝද වීරිය ඇති බැවිනි. රූපා කොඩිතුවක්කු නම් වූ මෙම අදීන දිරිය ‍ලේඛිකාව ආබාධිත කාන්තාවක් යැයි මම නොපවසන්නේ අප සියල්ලන්ටම වඩා නොසැලී ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටින බැවිනි.

සටහන සහ ඡායාරූප ජයතිස්ස තෙන්නකෝන්
Lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...