Thursday , 12 September 2024

කටාර් රටේ බන්ධනාගාරවල ශ්‍රී ලාංකික කාන්තාවන් සියයකට වැඩිය සිටිනවා.

කටාර් හි රැකියා සඳහා ගොස් එහිදී ‍පොරොන්දු වූ රැකියා නොලැබිම, සේවා ගිවිසුම් කඩකර තිබිම ඇතුළු විවිධ ගැටලු නිසා කරදරවලට පත් වූ කාන්තාවන් සියයකට අධික පිරිසක් එරට බන්ධනාගාරගතව සිටින බව, එහි බන්ධනාගාරගතව සිට නිදහස ලබා ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවක් “ලක්බිම”ට කියා සිටියාය.
මෙම පිරිස අතරින් වැඩි දෙනා වයස අවුරුදු 20ට අඩු ගැහැනු ළමයින් බවත්, ඔවුන්ට සැලුන්වල (කොණ්ඩා කපන, රූපලාවන්‍යාගාරවල) රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස ඒජන්සිකරුවන් විසින් යවා ඇති බවත් නමුත් එම ගැහැනු ළමයින්ට එම රැකියා ලැබි නැති බවත් තමන්ට දැන ගන්නට ලැබුණු බවද ඇය කීවාය.
මෙහිදී අදාළ රැකියා නොලැබිම නිසා එහි අතරමංව සිටියදි එරට ආරක්ෂක අංශ විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම බන්ධනාගාරයේ වයස අවුරුදු 72ක් වූ, මහලු වයසේ සිටින කාන්තාවක් ද ඇයට හමු වූ බවද ඇය කියා සිටියාය. අදාළ කාන්තාව කොළඹ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් බවත්, ඇයට ව්‍යාජ වයසක් දමා ඒජන්සිකරු විසින් රැකියාවට යවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවද කීවාය.
වෙනත් අයෙකුගේ වරදක් සම්බන්ධයෙන් සැකපිට සහ ප්‍රශ්න කිරීමකට ලක්ව තමන්ට ද එම බන්ධනාගාරයේ මාස දෙකකට ආසන්න කාලයක් රැඳී සිටීමට සිදුවූ අතර, තමන් ඊට පෙර එහි රැකියාව කළ නිවසේ ස්වාමිදුව සහ හාම්පුතා මැදිහත්ව අදාළ ගුවන් ටිකට පත් ලබාදීම නිසා දිවයිනට පැමිණීමට හැකි වූ බවද ඇය සඳහන් කළාය.
කෙසේ වුවද මෙසේ බන්ධනාගාර ගතව සිටින සියලුම කාන්තාවන්ට කෑම බිම සෞඛ්‍ය පහසුකම් සියල්ල ඉතා හොඳින් ලැබෙන අතර මෙම කාන්තාවන්ගේ නඩු කඩිනමින් විභාග කර නිදහස් කිරීමට කටාර් රාජ්‍ය පියවර ගන්නා බව ද ඇය සඳහන් කළාය.
එහෙත් දීර්ඝ කාලයක සිට බන්ධනාගාරගතව සිටින තවත් කිහිප දෙනෙකුම තමන්ට හමු වූ අතර මොවුන් බොහෝ දෙනා මානසික වශයෙන් විශාල පීඩාවක සිටින බවද පැවසුවාය. ගිවිස ගත් රැකියාවන්, වැටුප් ලබා නොදීම, සේවා කොන්දේසි කඩ කිරීම, යන හේතුන් මත සේවා ස්ථාන වලින් පැන යාම, වෙනත් පුද්ගලයින් සමග සබඳතාවයන් ඇති කර ගැනීම, හොරකම් වංචාවන් සිදු කිරීම ඇතුළු විවිධ කාරණා ඔවුන්ට චෝදනා ලෙස එහි ආරක්ෂක අංශ ඉදිරිපත් කර ඇත.
මෙම සිරගතව සිටින කාන්තාවන් සම්බන්ධයෙන් ‘ලක්බිම’ වැඩි දුරටත් කළ විමසීමේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳව තානාපති අංශ වෙතින් වහාම සොයා බලා ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවය.
කෙසේ වුවද ඉදිරියේදි ශ්‍රී ලාංකික කාන්තාවන් රැකියා සඳහා යැවීමේදී නීති රීති දැඩි කර තිබෙන අතර ඔවුන්ගේත් එම පවුල්වලත් අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රජයත් කාර්යංශයත් පුළුල් වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්ව ඇති බවද ඔහු මෙහිදී කීය.
අදාළ සිද්ධිය සම්බන්ධව තානාපති අංශ වෙතින් වහාම කරුණු සොයා බලා ඊට අදාළ සියලු කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
මෙහිදී කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) මංගල රන්දෙණිය මහතා ‘ලක්බිම’ට කියා සිටියේ, මෙම කාන්තාවන්ගේ වැටුප්, සේවාවන්, රැකියා කොන්දේසි කඩකිරීම් වැනි දෑ පිළිබඳව කාර්යංශය සොයා බලා ඊට අදාළ මැදිහත්වීම් කළ හැකි වුවත්, ඔවුන් බන්ධනාගාර ගත කිරීම දඬුවම් ලබාදීම වැනි කාරණාවලට කාර්යංශයට මැදිහත් වීමට නොහැකි බවය.
විදේශගතව සිටින සියලු ශ්‍රී ලාංකිකයන් එහිදි විවිධ හේතු මත බන්ධනාගාර ගතවීම්, අධිකරණ සහ නීතිමය කටයුතුවලට මුහුණ දීම වැනි කාරණාවලදී ඒ වෙනුවෙන් කටයුතු කිරීම ඒවාට පෙනී සිටීම වැනි සියලු දෑ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති තානාපති අංශ යටතේ පවතින අතර ඊට කාර්යංශයේ සම්බන්ධයක් නැති බවද කීය.
කටාර් හි රැකියා සඳහා යාමේදී තමන් එහිදී කිරීමට අපේක්ෂිත රැකියාව එහි ඇති බවට සහතික කරගෙන ඊට අදාළ රැකියා ගිවිසුම කාර්යංශයේදී ඒජන්සි ආයතනය සමග අත්සන් කරගෙන යාම අත්‍යවශ්‍ය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

 

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...