කොළඹ කෞතුකාගාරයේ පුරාවස්‌තු කොල්ලකෑම පිළිබඳ සැක පහළ කරමින් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත ස්‌වාමීන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා නිකුත් කළ ප්‍රකාශය පළ විය.
ඕමල්පේ ස්‌වාමීන් වහන්සේගේ ප්‍රකාශය නින්දිත සහ ව්‍යාජ ප්‍රකාශයක් බවත් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ඔහු කියයි. මොහු කදිම පොලිස්‌කාරයෙක් නොවැ· ආගමික නායකයකුගේ ප්‍රකාශයක් ප්‍රතික්‍ෂේප කිරීමට පොලිසියට අයිතියක් තිබේ. එහෙත් ආගමික නායකයකු සම්බන්ධයෙන් මේ ආකාරයේ වචන පාවිච්චි කිරීමට පොලිසියට අයිතියක් තිබේද? මාධ්‍ය ප්‍රකාශකතුමා තම නිවේදනය ජනමාධ්‍යවලට නිකුත් කිරීමට පෙර කියවා බැලිය යුතුව තිබිණ. අන් අය ලියූ නිවේදනවලට අත්සන් කිරීමට යැමෙන් අමාරුවට වැටුණු මිනිස්‌සු එදත් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනවා ඇත.
කොළඹ කෞතුකාගාරයේ සොරකම සිදු වී මාස 6 ක් ගත වී ඇති මේ අවස්‌ථාවේදී හෝ එම බඩුවලින් කොටසක්‌වත් හමු වීම ගැන අප තුළ මහත් සතුටක් තිබේ. සම්පූර්ණ හස්‌මුද්ද වෙනුවට එහි මැණික ද, කඩු වෙනුවට ඒවායේ මිටවල් ද තවත් කෞතුක භාණ්‌ඩ කිහිපයකම කොටස් ද හමුවිය. තවත් හය මාසයක් ගත වී නම් හමුවීමට ඉඩ තිබුණේ සැකකරුවන් පමණය. ඒ කාරණය මත කුඩුකාරයන් කිහිපදෙනකුවත් සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකි වීම හොඳ ප්‍රවණතාවකි. සිද්ධිය පිටුපස සිටින ලොකුම මොළය සොයා ගැනීමට හැකි වී නම් කොපමණ කදිමද?
මෑතක සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපරාධ වැඩි හරියක සැකකරුවෝ කුඩුකාරයෝ ය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිගේ ගෙට පැන්න ‘කුඩුකාරයෙක්’ රුපියල් හතලිස් ලක්‍ෂයක් වටිනා රොලෙක්‌ස් අත් ඔරලෝසුවක් සොරා ගනී. එහෙත් එය ඉතා වටිනා නිසා ඔහු නොවිකුණයි. කටුගෙට පැන ඇත්තේ කුඩුකාරයෙක් බව පොලිසිය කියයි. ඔහු ඉතා දක්‍ෂ කුඩුකාරයෙකි. සොරකම සිදුවන කාලයේදී කටුගෙයි ආරක්‍ෂක කැමරා පද්ධතිය ක්‍රියා විරහිතව තිබූ බව කුඩුකාරයා දනී. එසේ නම් ඔහු කෞතුකාගාරයේ කාර්ය මණ්‌ඩලය සමඟ සම්බන්ධකම් තිබූ හොරෙකි. සොරකම සිදු වූ දින කෞතුකාගාරය වසන විට හොරා ඇතුළේ සිටි බව දැන ගන්නට තිබේ. ඒ අතර කෞතුකාගාරයේ යතුර දිනපතාම ආරක්‍ෂාව සඳහා කුරුඳුවත්ත පොලිසියට ගෙන යන රථය හොරකම සිදු වූ දවසේ අලුයම් කාලයේදී කෞතුකාගාරය ඉදිරිපිට නවත්වා තිබූ බවත් කෞතුකාගාරය දෙස සිට පැමිණි කෙනකු එම රථයට නගිනු දුටු බවටත් සාක්‍ෂියක් තිබේ. මෙය පෞද්ගලික ආරක්‍ෂක සමාගමක නිලධාරියකු විසින් දෙනු ලබන නොබිඳිය හැකි සාක්‍ෂියකි. මේ සිද්ධිය තවමත් බෙහෙවින් අවුල් සහගත ය. ඒ නිසා පහත සඳහන් විකල්ප මත පහළ විය හැකි ය. එනම්,
1. පොලිසියට සොරාගත් කෞතුක භාණ්‌ඩ හමු වූ අතර එයට කුඩුකාරයකු සහ තවත් පුද්ගලයන් කිහිපදෙනකු පටලවා උසාවියට ඉදිරිපත් කළ බව.
2. නියම සොරුන් ආරක්‍ෂා කරනු ලැබීම සඳහා සොරබඩුවලට කුඩුකාරයකු පටලවා උසාවියට ඉදිරිපත් කරන ලද බව.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තම හොරා යෑයි කියමු. එහෙත් මෙබඳු කාරණා සම්බන්ධයෙන් ඇති අපකීර්තිමත් ඉතිහාසයට අනුව ඒ බව පිළිගැනීමට පැකිලීමක් ජනතාව තුළ තිබේ. මිනිසකු හිර කිරීමට වුවමනා වූ විට ඔහුගේ සාක්‌කුවට කුඩු පැකට් එකක් දමා ඇල්ලීම පොලිසියේ සිරිතය. මොරටුවේ අඟුලානේ ඕ.අයි.සී. තම හිතවතියට බැලුම් හෙළු තරුණයන් දෙදෙනා මැරූ හැටි අපට මතකය. අන්තිමේදී ඕ.අයි.සී. ද සමඟ මහඋළු ගෙදර ලගින්නට පැත්තක සිටි පොලිස් රාළහාමි කෙනකුට සහ ග්‍රාමාරක්‍ෂකයකුට ද සිදුවී ඇත.
කෞතුකාගාරයේ පුරාවස්‌තු සොරකම පිළිබඳ සත්‍ය කතාව දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබේ. එසේ නොවුණොත් විවිධ පුද්ගලයන් ගැන විවිධ මිනිසුන් විවිධ සැක ඇති කර ගැනීමට පුළුවන. තමන් වෙත එන නරක නාමයෙන් බේරීම සඳහා පොලිසිය කොහේ හෝ සිටින නකුට්‌ටකු අල්ලා ඉදිරිපත් කරන බවට ඇති මතය තුරන් කළ යුතුය. කෞතුකාගාර සොරකමේ නියම සොරුන් එළියේ සිටියදී ඇතුළට ගෙන ඇත්තේ ‘ස්‌වෙච්ඡා සැකකරුවන්’ නම් ඔවුන් කළ මෙහෙවරට සැබෑ සොරුන් විසින් ස්‌තුති කරනු ලැබිය යුතු ය.
NEWS- DIVAINA