කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි

වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත  ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි.

කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි.

කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය.

කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය.

එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි.

‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය.

සටහන හා ඡායාරූප – අජිත්ලාල් ශාන්තඋදය

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...