වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට දෙවැනි වතාවටත් මාරාන්තික උපවාසයේ යෙදී සිටි වැලිවේරිය ගල්ඔළුව සම්බෝධි ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පෙරේදා (31දා) දහවල් 12 වන විට උපවාසය අවසන් කළහ.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එම ස්ථානයට පැමිණ ලබාදුන් දැනුම්දීමකට අනුව උපවාසය අත්හළ බව උන්වහන්සේ පැවැසූහ.
වැලිවේරිය අවට ගම්වල ළිං ජලයේ ‘පී.එච්. අගය අඩුවීමට මූලිකව බලපා ඇත්තේ මේ අත්වැසුම් කම්හලින් ඉවත දමන අපද්‍රව්‍ය බව පවසමින් එම ආයතනය වසා දමන ලෙස රජයට බල කරමින් පන්සීයකට ආසන්න ප්‍රදේශවාසීහු පිරිසක් ‘වෙනිගේරා්ස්’ ආයතනයේ පිවිසුම් ෙදාරටුව අවහිර කර උපවාසයට සහයෝගය දක්වමින් රැඳී සිටියහ.
පසුගිය 30 වැනි දින උදේ වරුවේ ගම්පහ අධිකරණයේ පැවැති නඩු විභාගය කල් ගිය පසු කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ පී.එච්. අගය අඩුවීමට මේ කර්මාන්ත ශාලාව බලපාන බවට අධිකරණයට ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු වී නැති බවය. නිෂ්පාදන කටයුතු නවතා දැමීමට අධිකරණය තීන්දුවක් ලබාදී නැති නිසා කර්මාන්ත ශාලාව නැවැත විවෘත කිරීමේ හැකියාව පවතින බව නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සමඟ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් වෙනිගේරා්ස් ආයතනය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයට සහභාගි වූහ.
පෙරේදා (31දා) දහවල් මේ ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විසඳුමක් ලැබෙන තෙක් මින් ඉදිරියට මේ කර්මාන්ත ශාලාවේ කිසිම නිෂ්පාදන කටයුත්තක් සිදුනොවන බවත්, එය නිරීක්ෂණය කර බැලීමට ගම්වාසීන් විසින් තෝරාගත් 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමකට සහභාගි වීමට අවසර දිය හැකි බවත්ය.
එම ගම්වාසීන් 15 දෙනාට මේ කර්මාන්ත ශාලාවෙන් අස්කර ඇති කිසිම සේවකයකු ඇතුළත් නොවිය යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා තරයේ කියා සිටියේය.
මේ 15 දෙනා අතරින් තිදෙනකුට දිනපතා කර්මාන්ත ශාලාවේ පිවිසුම් ෙදාරටුව අසල ඇති පොලිස් මුරපොළේ සිට කර්මාන්ත ශාලාවේ කටයුතු නිරීක්ෂණය කිරීමටද අවසර ලබා දුන්නේය.
මේ අවස්ථාවේ කර්මාන්තශාලාවේ හිරවී සිටි සේවකයන් පිරිසක්ද උද්ඝෝෂකයන්ගේ කෑකෝ ගැසීම මධ්‍යයේම පොලිස් ආරක්ෂාව යටතේ ඉවතට ගැනීමට පොලිසියට හැකිවිය.
විසඳුමක් ලැබෙන තෙක් මින් ඉදිරියට කර්මාන්ත ශාලාවේ රාජකාරි කටයුතු කිරීමට 85 දෙනකුගෙන් යුත් සේවක පිරිසක් දිනපතා ඇතුළු කර ගැනීමට අවසර දී ඇති බවත්, ඉන් 60 දෙනකු නඩත්තු කටයුතු සඳහාත්, 25 දෙනකු කාර්යාල කටයුතු සඳහාත් යොදා ගැනීමට කටයුතු කරන බවත්, නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් නවතා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
පැනනැඟී ඇති ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් කර්මාන්ත ශාලාවේ කිසිම නිෂ්පාදන කටයුත්තක් සිදුනොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්දුන් අවස්ථාවේ උද්ඝෝෂණයට සහභාගි වී සිටි හාරසීයක් පමණ ගම්වාසීහු ඔල්වරසන් දී සතුට පළ කර පසුව මාරාන්තික උපවාසයේ යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන්ද කරපිටින් ඔසවාගෙන උද්ඝෝෂණය නවතා දමා කර්මාන්ත ශාලා භූමිය අසලින් පිටවූහ.
කඩවත – ජයතිලක ගන්නොරුව