කවිෂා දැරිය මියගියේ බෙහෙත් විෂවීමකින්ද?

අප ජීවත්වන වටපිටාව අපට ලෙඩ දෙයි. අද කාලයේ ඉස ඇම්මට, කැස්‌සට පමණක්‌ නොව කිවිසුමක්‌ ගියත් නිදහස්‌ ආර්ථිකයේ පෙති කරල් දුසිම් දෙක තුනක්‌වත් ගිල දැමිය යුතුය. මැස්‌සෝ, මදුරුවෝ, වෛරසයෝ, බැක්‌ටීරියාවෝ නිසා අපේ ඇත්තන් ගිලන් වන ප්‍රමාණය කොතෙක්‌දැයි කියා නිම කළ නොහැක.

අර ලෙඩේට මේ බෙහෙත, මේ ලෙඩේට අර බෙහෙත ආදී වශයෙන් දොස්‌තර නෝනලා, මහත්වරු බෙහෙත් ලියාදෙති. මේ කොයි හැටි වෙතත් තවමත් අපේ ඇත්තන්ට ලෙඩක්‌ දුකක්‌ හැදුණු විට පිහිට වෙන්නේ රජයේ මහ ඉස්‌පිරිතාලයයි. නොඑසේනම් රජයේ රෝහලයි.

ලෙඩේ ගොඩදමා ගැනීමට නම් අන්තිමට රජයේ ඉස්‌පිරිතාලයට යායුතු බවට ජනතාව තුළ මතයක්‌ මෙන්ම විශ්වාසයක්‌ද පවතී. රජයේ ඉස්‌පිරිතාලවල අත්‍යවශ්‍ය බෙහෙත් මෙන්ම අවශ්‍ය පහසුකම්ද ඇතැම් අවස්‌ථාවලදී නොමැතිවීම වෙනම කතාවකි. රජයේ ඉස්‌පිරිතාලවල ඇති ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳවද ඇතැම් අවස්‌ථාවලදී ගැටලු මතුවී තිබේ.

children father

අප මේ කියන්නට යන්නේ ගාල්ල කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේදී
ප්‍රතිජීවක ඖෂධයක්‌ ලබාදීමෙන් පසු මියගිය නව හැවිරිදි පාසල් දැරියගේ හද සසල කරවන කතාව ගැනය. මේ දැරියගේ මරණය පිළිබඳ මේ වනවිට විවිධ වූ මත පළවී තිබේ. දැරියගේ මරණය මහත් ආන්දොලනාත්මක සිද්ධියක්‌ බවට මේ වන විට පත්ව තිබේ.

දැරියට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය කල්ඉකුත් වීමට ආසන්නව තිබූ එකක්‌ බවද පැවසේ. මෙකී ප්‍රතිජීවක ඖෂධයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳවද මේ වනවිට ගැටලු මතුවී තිබේ. ප්‍රතිජීවක ඖෂධය දැරියට එන්නත් කිරීමෙන් පසු ඇයට ඇති වූ රෝග ලක්‌ෂණ අනුව දැරිය මියගොස්‌ ඇත්තේ ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවය නිසා බව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසයි.

රජයේ ඉස්‌පිරිතාලය පිළිබඳ විශ්වාසය තබා කරාපිටිය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි මෙම දැරියට අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූවාය. ඇය ගාල්ලේ හීන්පැන්දල පදිංචිව සිටි කවිෂා හංසනී ජයවර්ධනය (09). කවිෂා අකුරු කරන්නට ගියේ ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ විද්‍යාලයටය. ඕ එහි හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. කවිෂා පස්‌දෙනකුගෙන් යුත් පවුලක මද්දුම දොaණිය වූවාය. කවිෂාගේ පියා තුෂාන් දුමින්ද ජයවර්ධන ව්‍යාපාරිකයෙකි. මව ලසන්ති කුඩාගොඩය.

කවිෂාගේ වැඩිමහල් සහෝදරිය දුලන්ජි ජයවර්ධන (13) ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලබන්නීය. බාල නංගියා මවින්දි හංසිකා ජයවර්ධන (04) පෙර පාසල් දැරියකි.

සුපුරුදු පරිදි පාසල් යැම සඳහා කවිෂා ඉකුත් 10 වැනි දින උදැසනින්ම අවදි වූවාය.

අම්මේ මට වමනයට එනවා. කවිෂා එසේ කියා එක්‌වරම වමනය දැමුවා. ඇය අවදි වූයේ වමනය දමමිනි. ඉන්පසු හත්අට වතාවක්‌ පමණ කවිෂා දියණිය වමනය දැමුවාය. කවිෂාගේ මව ලසන්ති ඇය හනි හනිකට අල්ලපු වැටේ ඇති මහමෝදර රෝහලට රැගෙන ගියාය. කවිෂා පරීක්‌ෂා කොට බැලූ වෛද්‍යවරයකු දැරිය කරාපිටිය ඉස්‌පිරිතාලයට ඇතුළත් කරන ලෙස උපදෙස්‌ දුන්නේය.

ඉක්‌බිති මේ දැරිවිය කරාපිටිය මහ ඉස්‌පිරිතාලයට ඇතුළත් කිරීමෙන් පසු ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නාය. දුන්පසු කවිෂා දැරිවිය රෝහලේ එකේ වාට්‌ටුවට මාරු කළේය.
කවිෂා දැරිවියගේ ලේ සාම්පලයක්‌ද වෛද්‍යවරුන් විසින් පරීක්‌ෂා කරනලදී. දැරියගේ ලේවල බැක්‌ටීරියා ආසාදිත තත්ත්වයක්‌ ඇතිවී තිබෙන බව කවිෂාගේ මව්පියන්ට වෛද්‍යවරු දැනුම් දුන්හ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත කවිෂා දැරිවියට ප්‍රතිජීවක ඖෂධයක්‌ එන්නත් කිරීමට උපදෙස්‌ ලැබිණි.

සෙටි්‍රඇක්‌සෝන් (Ceftriaxone) නමැති මෙම ප්‍රතිජීවක ඖෂධයේ එක්‌ මාත්‍රාවක්‌ දැරිවියට එන්නත් කරනු ලැබුවාය. එදින රාත්‍රියේ මෙකී ඖෂධයේ දෙවැනි මාත්‍රාවද දැරිවියට එන්නත් කරනු ලැබුවාය. පසුදා කවිෂා දියණිය පුරුදු පරිදි අවදි වූවාය. තාත්තේ දැන් මට සනීපයි. දවල්ට එනවිට රයිස්‌ බත් එකක්‌ අරන් එන්න. කවිෂා පියාට දුරකථනයෙන් දැනුම් දුන්නාය.

කවිෂා එදින උදැසන හිටියේ හරිම සතුටකිනි. ඇය ඉඳිආප්ප දහයක්‌ පමණ උදැසන ආහාරයට ගත්තාය. ඉක්‌බිති මෙකී ප්‍රතිජීවක ඖෂධයේ තුන්වැනි මාත්‍රාව එන්නත් කරවා ගැනීමට ඇය නර්ස්‌ නෝනලා සිටින තැනට ඇවිදගෙන ගියාය. අනේ අම්මේ අත රිදෙනවා බෙහෙත් විදින්න එපා කියා ඇය කෑගැසුවාය.

දැරිවියගේ අතට මෙකී ඖෂධය එන්නත් කළා පමණි. අනේ අම්මේ මගේ ඇඟේ කරන්ට්‌ එක දුවනවා වගේ. බෙහෙත විඳින්න එපා මාව බේරගන්න කියා කවිෂා දැරිවිය කෑගැසුවාය. ඒ සමග යස අගේට හිටපු කවිෂා දැරිවියගේ දෙඇස්‌ උඩගියාය. හුස්‌ම ගැනීමට අපහසු වූවාය.

වාට්‌ටුවේ සිටි වෛද්‍යවරු කවිෂා දැරියට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්හ. නැවත දැරිය යථා තත්ත්වයට පත්වූවාය. මගේ නහයට බට දමන්න එපා. මට හුස්‌ම ගන්න පුළුවන් කවිෂා කීවාය. මව ඉන්නවාද කියා ඇය වට පිට බැලුවාය. කෝ තාත්තා, තාත්තා ආවද කවිෂා මවගෙන් ඇසුවාය.

අනේ මගේ රත්තරන් දුවේ තාත්තා දැන් ඒවි. මව ඉකිබිඳිමින් කීවාය. නමුත් කවිෂාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව තිබුණේ නැත. වෛද්‍යවරු කවිෂා දැරිය ට්‍රොලිය මත තබාගෙන ළමා දැඩිසත්කාර ඒකකයට රැගෙන එමින් සිටියහ. ඒ වනවිට කවිෂාගේ පියා දැඩිසත්කාර ඒකකය අසලට පැමිණ සිටියේය. කවිෂා පියා දෙස බලාගෙන සිටියේ දෙනෙත්වලින් කඳුළු කැට වගුරුවමිනි. ඒ වන විටත් කවිෂා දියණිය ළමා දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියාය. වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොගත් උත්සාහයක්‌ නැත.

නමුත් ඇය තම මව්පියන් සහෝදරියන් දෙදෙනා තනිකර දමමින් යළි නොඑන ගමනක්‌ ගියාය. කවිෂා දැරිවියගේ හදිසි වියෝවෙන් මුළු ගාල්ල ප්‍රදේශයම ශෝකයෙන් ඇළලීගොස්‌ ඇත්තේය. මේ දැරිවිය මියගියේ මෙකී ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසුවය. දැරියගේ පියා පවසන්නේ මෙම ප්‍රතිජීවක ඖෂධය කල් ඉකුත්වීමට ආසන්නව තිබූ එකක්‌ බවයි.

රෝහලේ සිරින්ජරයක්‌වත් තිබුණේ නැත. දුවට එන්නත් කරන්න සිරින්ජ පවා ගෙනවිත් දුන්නේ අපි. බාල බෙහෙත් තමයි ගෙන්වන්නේ. මේ ගැන පරීක්‌ෂණ පවත්වලා වැඩක්‌ නැහැ. මගේ දුව මට නැතිවුණා. දුවට එන්නත දෙනවිට ඇයට අමාරු වුණා කියලා වෛද්‍යවරු මට කීවා. දැරිවියගේ පියා තුෂාන් දුමින්ද අප සමග එසේ කීවේ දැඩි සංවේගයෙනි.

ගුණාත්මකභාවයෙන් තොර ඖෂධයක්‌ නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ පුංචි සමනළියක බඳු කවිෂා දැරිවියටයි. මෙකී ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීම නිසා ඇතිවූ අසාත්මිකතාවය නිසා දැරිවිය මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන්ගේ අදහසයි. මෙම ප්‍රතිජීවක ඖෂධය දැරිවියගේ මරණයෙන් පසු සියලුම රෝහල්වල තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ පිළිබඳ කතාබහ කෙරුණේ අද ඊයේ නොවේ. මීට ඉහතදී රුබෙල්ලා එන්නත් කිරීමෙන් පසු මාතර ප්‍රදේශයේ දැරියක්‌ මියගියාය. කොටින්ම කිවහොත් අප රටේ ඇත්තේ ඖෂධ ජාවාරමකි. සියයට අනූනවයක්‌ පමණ මෙරටට ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාව, පකිස්‌තානය, බංග්ලාදේශය වැනි රටවලිනි. වෛද්‍ය සැපයුම් අංශය පවා ඇතැම් අවස්‌ථාවලදී ඖෂධ මිලදී ගන්නේ විවෘත වෙළෙඳ පොළෙනි.

එකම ඖෂධය අලෙවි වන්නේ විවිධ මිල ගණන් යටතේය. දැන ගන්නට ඇති පරිදි සෙටි්‍රඇක්‌සෝන් නමැති මෙම ප්‍රතිජීවක ඖෂධයේ මිල රුපියල් තුන්සිය පනහකි. රජයේ රෝහල්වල ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ මිලෙන් අඩු මෙකී ඖෂධයයි. ගුණාත්මකභාවයෙන් ඉහළ ඇමරිකාව, කැනඩාව සහ යුරෝපීය රටවලින් ගෙන්වා ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවානම් රුපියල් 3,500/} ක්‌ ගෙවිය යුතුයි.

කවිෂා දැරිවියට මරුකැඳවූ මෙම ප්‍රතිජීවක ඖෂධය ඉතා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයකි. නිව්මෝනියාව, මොළේ උණ හා බැක්‌ටීරියා ආසාදන ඇතිවූ විට ලබාදෙන ප්‍රතිජීවකයෙකි. මෙය තෙපලෝස්‌ෆොරින් යන ඖෂධ කාණ්‌ඩයේ තුන්වැනි පරම්පරාවේ ඖෂධයකි. මෙකී ප්‍රතිජීවක ඖෂධය මෑත කාලයේ නිෂ්පාදනය කළ ඖෂධයකි. කෙසේ වුවද කවිෂා දැරිවියට මෙකී ප්‍රතිජීවක ඖෂධයේ පළමුවැනි හා දෙවැනි මාත්‍රාව ලබා දුන්නද කිසිදු ගැටලුවක්‌ ඇතිවූයේ නැත.

ඇයට මෙම ප්‍රතිජීවක ඖෂධය විෂවූයේ තුන්වැනි මාත්‍රාව ලබාදුන්නාට පසුවය. දැරිවියට මෙකී ප්‍රතිජීවක ඖෂධය නියමිත මාත්‍රාවට අනුව නියමිත ආකාරයෙන් ලබාදුන්නාද කියා සොයා බැලිය යුතුය. ඒ විතරක්‌ නොව මෙම ඖෂධයේ ගුණාත්මක භාවය ගැන සොයා බැලීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

මේ දැරිවියගේ මරණයට හේතුව වශයෙන් සියයට අනූනවයක්‌ පමණ අප විශ්වාස කරන්නේ මෙම ප්‍රතිජීවක ඖෂධය ලබාදීම නිසා ඇතිවූ අසාත්මිකතාවය නිසා මරණය වී ඇති බවයි.

දැරියගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ වාර්තාවක්‌ ලබා ගැනීමට අප කටයුතු කරනවා. මෙකී ප්‍රතිජීවක ඖෂධයේ ප්‍රමිතිය පරීක්‌ෂා කිරීම සඳහා දැරියට ලබාදුන් ඖෂධයේ සාම්පලයක්‌ ජාතික ඖෂධ තත්ත්ව පරීක්‌ෂණාගාරයට යොමුකොට තිබෙනවා. එම පරීක්‌ෂණයෙන් පසු මෙම ප්‍රතිජීවක ඖෂධය නියමිත ප්‍රමිතියට තිබුණාද නැද්ද කියලා බලාගන්න පුළුවන්.

ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‌ෂ, වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා මේ සම්බන්ධව අප කළ විමසුමකදී එසේ කීවේය

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...