සොලංජී ක්‍රිස්ටිනා ගුණවිජය පසුගියදා මිහිකත රූ රැජිණ (දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා – 2013) ලෙස අභිෂේක ලැබුවාය. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන මිහිකත ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ සොලංජීය. සොලංජී ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු (බාස්කට් බෝල්) කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවකද වන අතර එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 14දී ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමට එක්වූ ළාබාලතම සාමාජිකාවද ඇය වීමය. ශ්‍රී ලංකා රූ රැජින ලෙස ඔටුන්න හිමිකරගත්තාට අමතරව අවසන් වටයට තේරුණු තරගකාරියන් එකොළොස් දෙනා අතරින් වැඩිම එස්.එම්.එස්. මනාප හිමිකරගත් ජනප්‍රියතම රූ රැජින වූයේද ඇයය. ජයග්රහණයෙන් පසුව ඇය සිය සතුට මාධ්‍ය කවුළුව සමග බෙදාහදා ගන්නට මෙසේ එක්වූවාය.
“ඇත්තටම මට තවම හිතාගන්න බෑ මේ ඔටුන්න මගේමද කියලා මට තවම හිතෙනව හරියට හීනයක් වගේ.” එසේ කී සොලංජීගෙන් අසන්නට අපටත් ප්‍රශ්න කිහිපයක් තිබිණ.
ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයකින් නොවේද ඔබ තරගයට ඉදිරිපත් වුණේ?
ඇයි නැත්තේ, මම අන්තිම තත්පරය වෙනකන් තරග කළා. හරියට ක්‍රීඩාවේදී අපිට කියනවා වගේ හැම වෙලේම ඒ මොහොතේ ජීවත් වුණා. ඒත් ඔටුන්න පළන්දන්න මගේ නම කියද්දී හැමදේම නැවතුණා වගේ දැනුණා.
ජාතික කණ්ඩායමක ක්‍රීඩිකාවක් වෙච්ච ඔබ ඇයි මේ වගේ තරගෙකට ඉදිරිපත් වෙන්න හිතුවේ?
තරගය සඳහා අයැදුම් පත්‍රය දැම්මේ අම්මයි නංගියි. එක දවසක් මම පුහුණුවීම්වල ඉද්දී දෙරණින් කෝල් එකක් ආවා ඉන්ටවිව් එකකට එන්න කියලා. මම ඒ වෙලාවේ හිතුවේ මම ක්‍රීඩිකාවක් හින්දා ඒ ඉන්ටවිව් එකකට කතා කරනවා කියලා. පස්සේ දිගටම කතා කරගෙන යද්දී තමයි දැනගත්තේ මේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා එකේ ඉන්ටවිව් එකට කතා කරන්නේ කියලා.
ඔබ තරගයට මුලින් ඉදිරිපත් වුණේ අකමැත්තෙන්ද?
නෑ. මම කැමැත්තෙන් ඉදිරිපත් වුණේ. ඒත් මට තිබ්බේ කාර්යබහුල කාලසටහනක්. මගේ පුහුණුකරුගෙන් (අජිත් සර්) පුහුණුවීම්වලින් නිදහස් වෙන එක මට ප්‍රශ්නයක් වුණා. මොකද නැෂනල් ටීම් එකේ ප්‍රැක්ටිස් නවත්තලා රූප රැජින තරගයකට යන්න නිවාඩු ඉල්ලුවාට හැමෝම මට හිනාවෙයි කියලා හිතුණා. ඒ පාර මම අජිත් සර්ට හොරෙන් පළමු පරීක්ෂණයට ගියා. එකේන් මාව තේරුණාම හිමින් සීරුව අජිත් සර්ට කියලා විහිළුවක් නොවන තත්ත්වයකට පත් කරගත්තා.
ඔබ සමග තරග කළ සියලු තරගකාරියන් ඔබගේ සමට වඩා සුදු වර්ණය හිමියි. එහෙම තියෙද්දීත් ඔබට මේ කිරුළදීම අසාධාරණයි කියලා කිව්වොත්,
මට ඒකට කාරණා දෙකක් කියන්න තියෙනවා. පළවෙනි එක තේරුවේ සුදුම රූ රැජින නෙමේ. දවෛනි එක කවුද කියන්නේ කළු වර්ණය කැතයි කියලා.
ඔබට කවදාවත් ඔබේ පාට ප්‍රශ්නයක් වෙලා නැද්ද?
මේ තරගයට එන්න පෙර හා තරගයේ මුල් කාලවල මගේ හමේ පාට කළුවීම මට පොඩි හිතට වදයක් වුණා. ඒත් තරගය අතරතුර කළු පාටෙත් ලස්සන මට දැනුණා. අනෙක් තරගකාරියන් ඔක්කොම එක පාටක්. මගේ වෙනස ලස්සනයි කියලා මට හිතුණා. අනෙක කළු කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ පාට. ඉතින් ලෝක තරගාවලියක් නියෝජනය කරන ශ්‍රී ලංකා රූ රැජින කළුවීම අසාධාරණද? මගේ ජයග්‍රහණයේ යතුර කළු පාට. දැන් මේ පාටට මම ආසයි.
ජනප්‍රියම රූ රැජින වෙන්න නම් ලොකු කැම්පේන් එකක් කළා කියලා ආරංචියි.
ලොකු දෙයක් නොවේ. පොඩි දෙයක් කළේ. මගේ යාළුවන්ට කිව්වා මට SMS කරන්න කියලා. ෆේස් බුක් එකෙන් තමයි එහෙම කිව්වෙත්. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අය කටින් කට යැව්වා මේ පණිවුඩේ. ඊට අමතරව මම කිසිම වියදමක් කළේ නෑ. එහෙම වියදම් කරන්න මට මුදලුත් නෑ.
ආර්ථික වටිනාකම වඩා වැඩි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් වීමෙන්ද? රූප රාජිනියක් වීමෙන්ද?
හරිම ලේසි ප්‍රශ්නයක්. රූප රාජිනියක් වීම.
එහෙම කියන්නේ මේ තරගය ජයග්රහණයෙන් පසු ලැබුණු දේ ගැන හිතලද?
නෑ. මේ තරගය අතරතුර මාත් සමග හිටිය වැඩි පිරිසක් වෘත්තීය මෝස්තර නිරූපිකාවන්. මම අවුරුදු 14 ඉඳන් ජාතික කණ්ඩායමක් නියෝජනය කරලා අපිට මසකට ලැබෙන දීමනාව එම වෘත්තීය මෝස්තර නිරූපිකාවන් එක මංගල ඇඳුමක් ඇඳගෙන ඡායාරූපයකට පෙනී සිටින්න අය කරනවා. මේ දෙක අතර පරතරය අහසට පොළව වගේ.
දැන් අදහස ක්‍රීඩාව නවත්වලා අලුතින් තෝරාගත්ත ක්ෂේත්රයේම රැඳී ඉන්නද?
ක්‍රීඩාව අත අරිනවා කියන එක හරි අපහසු කාරණයක්. හැබැයි මම බොහොම සාමාන්‍ය පවුලක දුප්පත් කෙල්ලෙක්. මට නංගි කෙනෙක් ඉන්නවා. පවුලේ සියලු බර දරන්නේ මගේ පියා. මම ඔහුට ශක්තියක් වෙන්න ඕන. ජාතික දැල්පන්දු තරගාවලිවල, ජාතික මහා ක්‍රීඩා උළෙලවල්වල මම කීපවරක් දක්ෂතම ක්‍රීඩිකාව වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායමේ උප නායිකාව, ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු කණ්ඩායමේ නායිකාවක් වුණා. මොන දේ වුණත් රූ රැජින වෙන්න මම ක්‍රීඩාවෙන් ගත්තු ශාරීරීක ශක්තිය, මානසික ශක්තියම මට ලොකු හයියක් වුණා. රූ රැජින තරගයේ අවසන් තරගයට කලින් දවසෙත් සුපර් ලීග් පැසිපන්දු තරගාවලියට ක්‍රීඩා කරලයි මම ගියේ. ක්‍රීඩාවෙන් ඉවත් වෙන එක ගැන මම තාම හිතලා නෑ.
එතකොට මේ අංශ දෙක සමබර කරගන්න ඔබට පුළුවන්ද?
ජීවිතය කියන්නේ සමබර කරගැනීමක් තමයි. බැලන්ස් නැති දේ අපෙන් ගිලිහිලා වැටෙනවා. පුළුවන් දේ අපි ගාව රැඳෙනවා. හැමදේම බැලන්ස් කරගන්න ගියොත් ඔක්කොම නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් උපරිමය බැලන්ස් කරගන්න උත්සාහ කරනවා.
එතකොට ආදරෙත් මේ දවස්වල බැලන්ස් කරගෙන යනවද?
ඒ ගැන නම් වැඩිපුර විස්තර අහන්න එපා. “ඔව්” කියලා විතරක් කියන්නම්.
ශිරන්ති ගුණසේකර – ලක්බිම