“ඒ කාලෙ අපේ ගෙදර ලොකු හරකෙක් හිටියා. අපි හිටියෙ ගොඩාක් ඈත. අපේ අම්මා සුදුයි. තාත්තා කළුයි. මට තව නංගී කෙනෙක් හිටියා. අපේ ගේ ළඟින් ඇළක් ගලා ගෙන ගියා ….”
අවුරුදු දහයට අඩු වයස්වල සිටින කුඩා දරුවන් මෙබඳු කතා කියන අවස්ථා කොතෙකුත් තිබේ. දරුවාගේ වර්තමාන ජීවිතයට අදාළ කරුණු හා මේවා අතර යම් පටහැනි බවක් පැවතියහොත් දරුවා ඒ පවසන්නේ පෙරභවය පිළිබඳව යැයි අප රටේ වැඩිහිටියෝ කලබල වෙති. නමුත් ඇත්තටම ඔවුන් මේ පවසන්නේ පූර්වභවයක් ගැනද ? එවැන්නක් නොවෙයි නම් කුඩා දරුවකුට තමන් ජීවත්වන පරිසරයට වඩා බාහිර දේවල් ගැන මෙලෙස චතුර ලෙස පවසන්නට තරම් දැනුමක් ලැබුණේ කෙසේද ?
පෙර භවයන් පිළිබඳ සිද්ධි ගැන මාධ්‍ය මගින් බහුලව සාකච්ඡා කෙරෙන මේ යුගයේ එවැනි දේවල්වල ඇති මනෝ විද්‍යාත්මක පැත්ත ගැන විමසා බැලීම ඉතාමත් කාලෝචිත වෙයි. කුඩා දරුවන් ලෙස සලකන්නේ වයස අවුරුදු දොළහට අඩු දරුවන්ය. මෙයිනුත් මෙකී තත්ත්වය බලපාන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ටය. දරුවෝ විවිධාකාර දේ පවසති. ඔවුන්ගේ මොළයෙහි ඇති භාෂා මධ්‍යස්ථානය, මතකය හා සම්බන්ධ කොටස් වන හයිපොතැලමසය,
මස්තිෂ්ක බාහිකය (Cerebral Cortex) වැනි ඒවායෙහි ශීග්‍ර වර්ධනයක් මේ වයස් සීමාවේ දී ඇතිවන අතර මෙවැනි ස්ථානවල මෙසේ අලුතින් මනසට ඇතුල්වන දේවල් තැන්පත් වනු ඇත. මොළයේ මෙම කොටස් වයස අවුරුදු දොළහ පමණ වන තුරුම වර්ධනය වීම සිදුවෙයි. එහිදී ඔවුන් ඉගෙන ගන්නා දේවල් අනෙක් අය හා බෙදා හදා ගැනීම කරනු ඇත.
කුඩා දරුවන්ගේ සිතේ බොහෝ කල්පිත දේවල් මැවෙනු ඇත. නමුත් ඔවුන්ගේ මොළය තවම වර්ධනය වන නිසා ඒවායෙහි ඇති සැබෑව බොරුව හඳුනා ගැනීමට හැකියාවක් නැත. ඒ අනුව ඔවුන් සිතන්නේ ඒ සියල්ල හැබෑවටම සිදුවූ ඒවා ලෙසිනි.
නිදසුනක් ලෙස රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් දෙස වුවමනාවෙන් බලා හිඳින දරුවාගේ සිතේ එතුළින් දකින පරිසරය හා ඇතැම් සිද්ධි තදින් සටහන් වනු ඇත. ඊට පසු තමා එවැනි ස්ථානයක සිටි බවක් දරුවාට හැඟෙන්නට පුළුවන. ඒ අනුව දරුවා ඒ පිළිබඳව පවසන්නේ තමන් අත් දුටු දෙයක් ලෙසිනි. නමුත් දරුවා පවසන දෙය දරුවා ජීවත් වන පරිසරයට වඩා වෙනස් නිසා දරුවා මේ කතා කරන්නේ අතීත ආත්මයක් ගැන යැයි මව්පියන් වැඩිහිටියන් වරදවා වටහාගනු ඇත. දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියකු ඒ ගැන තව තවත් හාර හාරා ඇසුවොත් දරුවාද තව තවත් දේවල් කියන්නට පුළුවන. නමුත් ඒවා ඉහත කී පරිදි ඇසුදුටු දේවල්වලින් හැදුන කල්පිත බව දරුවාට වෙන්කර වටහා ගන්නට බැරිය. නමුත් වැඩිහිටියන්ට මේවා ගැන අවබෝධයක් නැති නිසා ඔවුන් විශ්වාස කරන්නේ එය දරුවා පෙර භවය ගැන කතා කිරීමක් ලෙසිනි.
එකම දෙයක් ගැන දරුවාට ඇසෙන්නට යළි යළිත් කතා කිරීම සහ එකම දෙයක් ගැන දරුවාගෙන් යළි යළිත් ඇසීමේදීද එවැනි දෙයක් ඇත්තටම සිදුවූ බවක් දරුවාගේ මනසට තදින්ම දැනෙන්නට පටන් ගනී. ඒ අනුව දරුවා එතැන් සිට කතා කරන්නේ තමන්ට එය සිදුවූ ආකාරයටය.
නිදසුනක් ලෙස මීට වසර කීපයකට කලින් අසවල් දිනයේ අසවල් තැනැත්තා අතවරයක් කළේද යන්න වැඩිහිටියකු කුඩා දරුවකුගෙන් විමසුවේ යැයි සිතමු. එය යළි යළිත් විමසන විට සහ ඒ ගැන මව්පියන් වැඩිහිටියන් කතාබහ වන අන්දම ඇසෙන විට සැබෑවටම තමන්ට එවැනි දෙයක් වූ බව දරුවාට හැඟෙනු ඇත.
ඒ අනුව තමන්ට ඒ කියන වයස් සීමාවේදී, ඒ කියන පුද්ගලයා විසින් අතවරයක් කළ බවට තදබල විශ්වාසයක් දරුවාගේ සිතේ තැන්පත් වීම සිදුවෙයි.
කුඩා දරුවන් පෙර ආත්මය කීමක් ලෙස වැඩිහිටියන් වරදවා වටහා ගන්නේ මෙසේ ඔවුන්ගේ මොළය වැඩෙන අවධියේ ඔවුන් අසන දකින දේවල් මනසට ඇතුල් වී ඒවායෙහි සැබෑව සහ ව්‍යාජත්වය හඳුනා ගැනීමට තරම් මොළය වර්ධනය වී නැති නිසා ඒවා ඔවුන් ඒ හැටියෙන්ම තමන්ට සිදුවූ දේවල් ලෙසින් විස්තර කිරීම මතය. ඒ මිස කුඩා දරුවන්ට මෙසේ පූර්ව ආත්මය ප්‍රකාශ කිරීම කළ නොහැකිය.
Check Also
සඳුන් සෙවණ
අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...
හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව
හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...