කූරගල කැණීම්වලින් ප්‍රථම වරට ආදි මානව ඇටසැකිල්ලක්

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන් දිවයිනේ තෙත් කලාපය සහ වියළි කලාපය අතර සංක්‍රමණය සිදුකළ අතර මැදි කඳවුරක් බඳු පුරාවිද්‍යා භූමියක්, බලංගොඩ කූරගල පර්වතය ආශ්‍රිතව කෙරෙන කැණීම්වලින් මතුවෙමින් යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා ඊයේ (08) දින “ලක්බිම” ට පැවැසීය.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ කූරගල කෙරෙන පුරාවිද්‍යා කැණීම් දැක බලා ගැනීම සඳහා “ලක්බිම” නියෝජිතයින් එහි ගිය අවස්ථාවේය.
අප්‍රේල් 25 දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කූරගල පරිශ්‍රයේ පර්යේෂණ කැණීම් ආරම්භ කළ අතර පෙරේදා 06 එහි ප්‍රථම වරට ආදි මානව ඇටසැකිල්ලක කොටස් මතු වී තිබිණි.
ඊට අමතරව බලංගොඩ මානවයන් භාවිතා කළ ගල් ආයුධ, විවිධ සත්ව අවශේෂ සහ මුහුදු මත්ස්‍යයන්ගේ අවශේෂ ඇතුළු මානව අවශේෂ රාශියක් කැණීම් වලින් සොයාගෙන තිබිණි.

08-1

සොයා ගත් සත්ව අවශේෂ අතර ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කැණීම් භූමියකින් ප්‍රථම වරට මුහුදේ සහ කළපුවල ජීවත් වන කොළ කකුළුවකුගේ කොටස් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සත්ව අවශේෂ විශ්‍ලේෂක ජූඩ් පෙරේරා මහතා සඳහන් කළේය.
ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ දිනවල කූරගල පර්වතයේ සහ ලෙන් සංකීර්ණයේ කැණීම් සිදුවෙමින් පවතී.
මේ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ හා ප්‍රදේශයේ ‍පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සහය ලැබි තිබේ. කැණීම් භූමියේ පුරාවිද්‍යා කැණීම් නිලධාරී කමල් නන්ද සිරිසේන මහතා කටයුතු කරන අතර එච්.එස්.එම්.කේ. ඇරැගම, ඩී.ආර්. අබේකෝන් ජේ.එම්. ජයන්ත, ශ්‍රී ලාල් කුමාර යන පුරාවිද්‍යා නිලධාරීන්ද ඊට එක්ව සිටිති. සබරගමුව පළාත භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.එස්.ටී.කේ. මදුරප්පෙරුම මහතා කැණීම් කටයුතු සම්බන්ධීකරණය කරයි.
කූරගල ලෙන් ගුහා පිහිටි පර්වත සංකීර්ණ හෙක්ටයාර් විස්සක පමණ වපසරියෙන් යුත් ගල්ලෙන්, කටාරම් කෙටූ ලෙන් ගුහා, බ්‍රාහ්මි අක්ෂර සහිත සෙල්ලිපි ඉපැරණි, බෞද්ධාරාම නටබුන් සහිත අති විශාල භූමියකි. එය වළවේ ගඟ නිර්මාණයේ පිහිටි කල්තොට දුර්ගය ආශ්‍රිතව පිහිටා ඇති අතර පහළින් වළවේ නිම්නයේ තැනිතලා භූමිභාග දක්වා පැතිර යයි.
පර්වත සංකීර්ණයේ අනෙක් පැත්තෙන් කල්තොට දුර්ගය පිහිටා ඇති අතර එතැන සිට බලන කෙනකුට හෝර්ටන් තැන්න, බෙරගල, හපුත‍ලේ කඳුවැටි ද කල්තොට තණමල්විල , උඩවලවේ
ප්‍රදේශයද අදින් වසර 13,000ක් පැරණි බෙල්ලන්බැඳි පැලැස්ස මානව ජනාවාසද මැනවින් දැකගත හැකිය.
ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දෙන අන්දමට මෙම ස්ථානයේ වැඩි කොටසක් බෙල්ලන්බැඳි පැලැස්ස බඳු වියළි කලාපීය පාරිසරික ලක්ෂණවලින් යුක්තවන අතර, අනෙක් කොටස තෙත් කලාපීීය පාරිසරික ලක්ෂණවලින් යුක්තව වූ භූමිභාගයකි.
එහි ප්‍රාග් ඓතිහාසික යුගයේදී අතිවීශාල මානව ජනාවාසයක් පැවැති බව දැනට කෙරී ඇති පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇතැයිද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
මෙය නිසැකවම ‍පොදු ව්‍යවහාරයේදී “බලංගොඩ මානවයින්” නමින් හඳුන්වන නවීන මානවයින්ගේ උරුම ස්ථානයක් වන බවත්, නවීන මානවයාද බිහිවීම ඔහුගේ පරිණාමය සහ විකාශනය
පිළිබඳව තොරතුරු හෙළි කෙරෙන ඉතා වැදගත් පුරාවිද්‍යා භූමියක් බවද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කරයි. එය ඇතැම් විට දකුණු ආසියාවේ මානව පරිණාමය පිළිබඳව වැදගත් අලුත් පරිච්ජේදයක් හෙළිවනු ඇතැයිද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
කැණීම්වලින් සොයාගත් මානව සාධක මෙම කාලනිර්ණය කර නොමැති බැවින් කූරගල ජනාවාසය කොතෙක් පැරණිද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් දැනට ලැබි ඇති ගල් ආයුධවල ස්වරූපය අනුව එය මානව පරිණාමයේ මධ්‍ය ශිලා යුගයට අයත් බව අනුමාන කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
එහි මතුව ඇති මානව ඇටසැකිල්ලෙහි වම් අත සහ ශරීරයේ තවත් කොටසක්  (08) සවස් වන විටත් හදාගෙන තිබිනි. එහෙත් එහි හිස දෙපා සහ උකුල් ඇට ඇතුළු අනෙකුත් කොටස් කැණීම්වලින් පිටත පිහිටා තිබෙන ආකාරය පුරාවිද්‍යා නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ. සම්පූර්ණ ඇටසැකිල්ල සාදා ගැනීම සඳහා කැණීම්වළ තවත් පුළුල් කළයුතු බැවින් අද (09) ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් කැණීම් පරිශ්‍රය බාරව සිටින කමල් සිරිසේන මහතා පවසයි.
කූරගල පර්වත සංකීර්ණය පසුගිය කාලයේ මුස්ලිම් දේවස්ථානයක් සහ වෙනත් අනවසර ඉදිකිරීම් ඉදිකර තිබුණු අතර, ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරන අයුරු දක්නට ලැබිණි.
කැණීම් කටයුතු, ජාතික උරුම අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ සහ අමාත්‍යංශ ‍ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් සිදුකෙරේ.

News: Lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...