සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ කඳු මුදුන් ඉහළින් නැඟී ආ හිරුමඬල බැසයන්නට තවත් ඇත්තේ හෝරා කිහිපයකි. රත්නපුර, ඉහළ රත්ගම දෙහෙනකන්ද ප්‍රදේශයේ අගලක් නෑර සිසාරා වැඩී ගිය තේ පඳුරු අතරේ දවස පුරා ඩා බිඳු හලනා පස්දරු පියකු වන කේ. සිරිසේන සතුටින් උතුරා යන මුවින් යුතුව එසේ මඳක් හඬනඟා කීයේ තම බිරින්දෑට ඇසෙන සේය.
ඒ වෙලාවේ ඒ අසල ම පසු වූ තව කෙනෙක් ද ඒ බව අසා සිටියේය. එහෙත් ඒ බවක් නෑසුණාක් මෙන් ඔහු බිම බලා හොරගල් ඇහින්දේය. ඇයගේ රුව ඒ මොහොතේ දී ද ඒ බොරළු පොළවේ සිතින් ඇඳගත්තේ ය. හිමින් සීරුවේ එතැනින් යන අතක් නොදැන හේ යන්නට ගියේ ය.
වත්තෙන් කඩාගත් අමු තේ දලු ටික ලොරියට දීමට යුහුසුලු වූ ඒ අම්මාටත් තාත්තාටත් සිටියේ දූ දරුවන් පස්දෙනෙකි. 16 හැවිරිදි පවුලේ දෙවැන්නිය වූ සමාරගේ සන්ධ්‍යා මල්කාන්ති දියණිය ඉගෙනුමට හපනියකි.
රත්නපුර ගල්ලෑල්ල විදුහලින් ‘ඒ’ දහයක් ලබා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ ඇය රත්නපුර ෆර්ගියුසන් උසස් විදුහලේ උසස් පෙළ සඳහා වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබුවාය. විෂයයන් කිහිපයකට අමතර පන්ති කරා ගිය ඇයට ගෙදර සිට යන්නට එන්නට අපහසු නිසාම පාසලට නුදුරු නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියාය.
නිතර ගෙදර එන්නට නොහැකිව ඉගෙනුමට ම ඇරී සිටිනා දුවගේ මුහුණ දැකගන්නට අම්මා නිතර පැමිණියාය. කුඩා දැරියක මෙන් මවගේ වත දැවටී සුරතල් වන ඕ නංගිලා මල්ලිලා හා එක්ව තේ පඳුරු අතරේ දුව පැන කෙළි සෙල්ලමේ යෙදෙන හැටි ද ඊට කාලය හරස් වී ඇති හැටි ද කට උල්කර කීවාය.
පාසලේ භාවනා පන්තියට ද සහභාගි වන ඈ නිතර අම්මාට ඇවිටිලි කරන්නට වූයේ මට ‘මහණ වෙන්න දෙන්න අම්මේ’ කියාය. එවිට අම්මා ඇගේ ඉගෙනුම ගැන කීවා පමණි. තම දූ දරුවන්ගේ ඉගෙනුම ඉස් මුදුනින් සලකා ඒ වෙනුවෙන් ඩාබිඳු වැගිරූ ඒ දෙමවුපියෝ තම දරුවන්ගේ අනාගත දියුණුවම එකසිතින් පතා සිටියහ.
2007 වසරේ දෙසැම්බර් මස 16 දා නේවාසිකාගාරයේ සිට නිවසට එන්නට රත්නපුර නගරයට පැමිණි සන්ධ්‍යා එදින දහවල් 1.30 ට පමණ ගොඩවූයේ දෙහෙනකන්ද බස්රියටය. දෙමෝදර හන්දියට එනවිට පස්වරු 2.45 ට ආසන්න වී තිබිණි. හුරු පුරුදු අඩිපාරට ද පැමිණියා ය.
හාත්පස තේ පඳුරු ගහන යායකි. ඊටත් එහා සෙවණැලි පතුරා සිටින්නේ කඳු වළල්ලකි. හිතට ද මහා සතුටකි. මගේ අම්මා තාත්තා අයියා නංගිලා මල්ලිලා මා එනතුරු බලා සිටී. යන මඟ පාළුය. කිසිවකු ද නැත. එහෙත් බිය සැකට කරුණකුදු නැත. අද හවස්ජාමේ මේ තේ පඳුරු අතරේ නංගිලා මල්ලිලා හා සෙල්ලම් කරන්නට ද හැකිය. ඈ තනිවම සිතූවාය.
එක් උරයක එල්ලා ගෙන සිටියේ පොත් බෑගයකි. විකසිත මල් කැකුළක්වන් සන්ධ්‍යාගේ දෑස් මානයට එක්වරම පෙනුණේ ගල්රුවක් මෙන් නොසැලී තමන් එන පෙරමඟට වී මඟ අවුරා මෙන් පසුවන අයෙකි. එපිටින් පිහිටි රා තැබෑරුමකින් සප්පායම් වී සිටි හෙතෙම ඈ එනතුරුම පුලපුලා බලාසිටි බවක් ඈ නොදත්තාය. දුරතියාම ඈ ඔහු හැඳිනගත්තාය. මේ තාත්තාගේ සමීපතම ඥාතියෙකි.
විවාහකයකු වූ ඔහු දෙදරු පියෙකි. ඔහු මගේ තාත්තාගේ ලොකු අක්කාගේ දුව විවාහ කරගත් අපේ ගෙදරට ද නිතර යනෙන හැමදේට ම උදව් වන අයෙකි. ඔහුට ඉන්න හිටින්නට ගෙයක්ද තේ වගාව කරගන්නට ඉඩමක්ද දුන්නේ අපේ තාත්තාය. ඕ ඔහු හා මඳක් සිනාසුණේ ඒ නිසා ය. ගමන ඉක්මන් කරන්නට වූයේ මෑතක සිට ඔහුගේ බැල්ම, හැසිරීම ගැන ඇති වූ තිගැස්මකිනි. ඇයගේ තුරුණු වත දෙසම කෑදර බැල්මෙන් යුතුව බලා හුන් හේ වහා ඇය අල්වා මුහුණට එබුණේය. වැලඳගන්නට සැරසුණේය.
ඈ වහා ඉවතට පැන ‘අනේ අයියා ඔයාට මොකද වෙලා තියෙන්නෙ’ යැයි තරමක කේන්තියකින් හා කුකුසකින් ඇසුවාය. ඒ වචන ඔහුට නෑසුණේය. තිරිසනාගේ එකම අරමුණ ගොදුර පමණි. එය ගිලදමනු මිස අන් දෙයක් ඔහුට රිසි නැත. බමන මතින් හැසිරෙන කාමාතුරයාගෙන් ගැලවීයාමට ඈ කෑගැසුවාය. එහෙත් ඔහු ඈ ඇදගෙන ම පාරෙන් ඉවතට ගියේ ය. සිය පහත් අරමුණු සන්සිඳුවා ගන්නට ඇයගෙන් ඉඩක් නොලැබෙද්දී තර්ජනය කළේය.
හැකි වීරිය යොදා ඈ ඔහුට පහර දුන්නාය. බියෙන් කෑ ගැසුවද ඒ හඬ වැඩි ඈතකට ගියේ ද නැත. තමන්ට හරස් වන බව දුටු හේ කිපුණේය. එතුවක් ඉනෙහි ගසා සිටි උල් පිහියක් අතට ගෙන ඇයගේ ගෙලට තැබුවේය. ඉන් ඈ ගෙල කැපී ගියේ රත්පැහැ ලේ දහරා පොළවද තෙත් කරවමිනි. මාරාවේශවූවකු මෙන් වූ කාමාතුරයා අතැති පිහියෙන් ඇයගේ සියොළඟ කපා කොටා දැමුවේය.
ඒ පියකරු වත රත්පැහැ ලෙයින් නැහැවිණි. ලෙයින් නැහැවූ ඈ වත දෙස යළිත් බැලූ කාමාතුරයා ඒ අසල ඇළකට පැන සරම ද කමිසය ද සෝදා දමා ලේ තැවරුණු තම සිරුර ද සෝදා අනතුරුව ඒ ඇඳුමින්ම සැරැසී පිහිය ද ඇළට විසිකොට රා තැබෑරුම දෙසට යන්නට ගියේය. මේ සියල්ල දෙස කිසියම් තැනෙක සිට බලා හුන් කාන්තාවක් මේ වනතුරු ද මුනිවත රකින්නීය. එය ද ප්‍රශ්නයකි.
”මගේ දුවේ – පොඩ්ඩියේ… මේ අපරාධය උඹට කළේ කවුද මගෙ රත්තරන් දුවේ. මට කියාපන් දුවේ…” දුවගේ දෙපා අබියස වැටී නිසල ඈ අවදි කරවන්නට මෙන් සොලවමින් හඬා වැලපෙන්නට වූයේ තාත්තාය. තාත්තාට මේ පණිවුඩය ලැබී තිබුණේ මේ කෲර අපරාධය සිදු වී බොහෝ වේලාවකට පසුවය. ඇයගේ පොත් බෑගය පාරේ වැටී තිබෙනු දුටු තච්චානා මුහුර්ති ද්‍රවිඩ කාන්තාව දර මිටියක් ඉහතබා එනවිටදී දැක ඊට මඳක් එපිටින් ගල් ඇන්දක් අසල මහපොළවේ වැතිරී ඇඳුම ද එහා මෙහා වී පසුවූ සන්ධ්‍යා දැක විලාප නඟා හින්නි කංකානමට පැවසුවා ය.
”අයියෝ මාමේ.. මගේ පුංචි කෙල්ලො දෙන්නාටත් මේ වගේ කරාවිද දන්නේ නෑ, මාමා මට දුන්න ගේ ආපහු ගන්ඩ. අපි මේ ගමෙන් යනවා.”
සන්ධ්‍යාගේ ශෝකාලාපයෙන් හත්දවසේ පින්කමට ද එක්වූ හෙතෙම සන්ධ්‍යාගේ තාත්තාට එසේ කීයේය. ඔහු ගමෙන් යනවාට තාත්තා අකමැති වුවද ඔහු යන බව ම කීවේ ය. හිටි අඩියේ නිවස ද හැර දමා ගමෙන් පිට ව යාමට බලකරන සැමියා හා දබර වූ බිරිය කෑගෑවාය.
”අපි කොහෙ කියල යන්ඩද මනුස්සයො – හිටපිය මං සන්ධ්‍යාගේ තාත්තටයි පොලිසියටයි කියනව උඹයි සන්ධ්‍යාව මැරුවෙ කියලා.”
”කියාපිය බැල්ලියේ කියාපිය – කට ඇරියොත් තෝත් මරා දානවා.”
අඹු දරුවන් ද රැගෙන ඔහු ගමෙන් පිටව ගියේය. යන තැනක් ද නොකීවේය. ඔහුගේ නික්ම යාම සන්ධ්‍යාගේ තාත්තාට දුකෙකි.
මල් කැකුළිය සන්ධ්‍යාගේ ඝාතනයෙන් මුළු සබරගමුවම කම්පාවෙන් ඇලී ගියේ ය. පොලිසිය පරීක්ෂණ ඇරැඹීය. විවිධ කටකතා ඔස්සේ නොයෙක් පුද්ගලයන්ගෙන් කට උත්තර ලබා ගැනිණ. එහෙත් සන්ධ්‍යාගේ ඝාතකයා ඒ අතර නොවීය. මේ කුරිරු ඝාතනය අබිරහසක් බවට පත්වෙමින් කාලයට බැඳී ගියේය. වසර දෙක තුන ද ඉක්ම ගියද හරිහැටි තොරතුරක් හෝ පැහැදිලි සාක්ෂියක් හෝ නැත.
සන්ධ්‍යාගේ ආදරය පතා ආ තරුණයකුගෙන් ද ප්‍රශ්න කැරිණි. ඝාතකයා ඒ වනවිටත් නිදැල්ලේය. අනතුරුව මෙම අබිරහස් ඝාතනයේ සුලමුල සෙවීමට රහස් පොලිසියට පැවරිණි. විදුලිබල මණ්ඩලයේ නිලධාරින්සේ වෙස්වලාගත් නිලධාරිහු අහස පොළව නුහුලන මේ අපරාධයේ අපරාධකරු අල්ලා ගැනීමට ගමට පැමිණියහ.
සොබාදහම ද කම්පිතය. ඝාතනයට ගොදුරු වූ සන්ධ්‍යාගේ සියුමැලි අතක ඇඟිලි තුඩු දෙකක නියපොතු අතරේ සැඟවී තිබුණේ ‘කෙස්’ ගස් දෙකකි. ඒ ‘කෙස්’ ගස් දෙක ඩී.එන්.ඒ. පරීක්ෂණයට බඳුන් කොට තිබිණි. ඊට බඳුන් කරවූ සැක කටයුතු කිසිවකුගේ ‘කෙස්’ සමඟ සැසඳුනේම නැත. ඝාතනයෙන්් පස්වන වසර ද එළැඹී තිබියදී රහස් පොලිසියේ නිලධාරින් කීප දෙනකු සන්ධ්‍යාගේ නිවසට පැමිණියහ.
”මොහු හඳුනනවාද? මොහු නොවෙයිද ඔබේ දියණිය මරා දැමුවේ?”
”අනේ සර්, මේ පිට එකෙක් නෙවි. මගේ ලොකු අක්කගේ දුව බන්දලා දීපු හාදයානේ. මෙයාට ඉන්න ගෙයත් මං දීලා තේ වගාවකටත් මං අත දුන්නා. කවුරු හරි සර්ලට මේ පුතා ගැන බොරුවක් කියල වෙන්නැති මයෙ හිතේ.” සන්ධ්‍යාගේ තාත්තා එසේ කියද්දී කට කොනකින් සිනාසුණු නිලධාරියා සැකකරුගේ හිස අල්වා සෙලවීය.
”ඇත්තද – මූ තමා ඔහේගෙ දුවගේ මිනිමරුවා. අපේ ඩී.එන්.ඒ. පරීක්ෂණයත් සාර්ථකයි. දැන් මූ ඒ අපරාධයේ මුළු කතාව ම පාපොච්චාරණය කරනවා.”
ඒ ඇසූ සන්ධ්‍යාගේ පියාගේ දෑස් ලොකු විය. දෑස් ගිණි පුපුරු මෙන් විය. හේ යටිගිරියෙන් කෑ ගැසුවේය. ශාප කළේ ය.
”මුගේ හැම දේට ම උදව් කළ මට මේකා මගෙ දුවට මෙහෙම කරාවි කියල හීනෙන්වත් හිතුවෙ නැහැ. මගේ දුවට මේ අපරාධය කළේ මොන හිතකින්ද යකෝ” දුවගෙ මළගම දවසෙ මේ අපරාධය කරපු උන්ට හෙණ හත ඉල්ල ඉල්ලා උඹ හැඬුවේ අපව රවට්ටන්ඩ නේද යකෝ.” තාත්තා ක්ලාන්ත වූයේය.
අඹු දරුවන් සමඟ ගමෙන් පලාගිය අපරාධකරුවා මේ ගතව ගිය වසර පහ පුරාවට ම ගමට පැමිණියේ එකම එක් වරක් පමණි. සියල්ල සනාථ වී තිබේ. රත්නපුර ගිලීමලේ කනේගල්ල ගමේ පදිංචිකරුවකු වූ ඔහු දොළොස් හා දහවන වියෙහි පසුවන දියණියන් දෙදෙනකුගේ පියෙකි.
සන්ධ්‍යාට වශීකෘතව කලක් තිස්සේ පසු වූ මොහු ඈ කෙළෙසන්නට මාන බලා සිටියේය. ඇයගේ නේවාසිකාගාරයේ ප්‍රධානියාගේ තේ වත්ත ද පිහිටියේ ඇයගේ තාත්තාගේ තේ වත්ත අසලමය. තමන් අද ගෙදර එන බවට තාත්තාට කියන්නැයි ප්‍රධානියාට පැවසීමෙන් ප්‍රධානියා ඒ පණිවුඩය ඇගේ තාත්තාට කියා තිබේ. දුව අද ගෙදර එන බව ඇසූ තාත්තා අම්මාට කියද්දී ඒ අසල පසුවූ සැකකරු පෙරමඟට ගොස් ඈ එනතුරුම මඟ රැක සිට තිබේ.
ඔහුට ඉඩක් නොතබා හැකි වීර්යයෙන් ඇය ඔහු හා පොර බදන විටදි ඇයගේ නියපොතු අතර සිරවූයේ ඔහුගේ සිරුරේ කෙස් ගස් දෙකකි.
නොඑසේ නම් තමන් මරා දැමූ අපරාධකරුවා මොහු යැයි පැහැදිලි සාක්ෂියක් ඉතිරිව තබා නිරපරාදේ මරණයට ගොදුරු වූ අවිහිංසකාව සන්ධ්‍යා නොඑනා ගමනක යන්නට ම ගෙස් තිබුණාය.”ඕනෑම අපරාධකරුවකු සිතන්නේ තමන්ගේ කාරිය කවදාවත් හෙළි වන්නේ නැහැ කියලයි.
සොබාදහම පවා මේවැනි කාරණාවලදී නිහඬ සාක්ෂි සපයනවා. අපරාධකරුවා වසර පහට එකම එක වරකට ආ පළමු ගමනේදී ම නිශ්චිතවම හඳුනාගන්නට කරුණු රැසක් හේතු වී තිබුණා.” යැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය