ගාලුමුවදෝර පිටිය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක ඉදිරිපස පරිශ්‍රයේ අලංකාරය පිණිස සවිකොට තිබූ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විශාල කාලතුවක්කුව දැනට එම ස්ථානයෙන් අතුරුදන්ව ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. ඉහළ කෞතුක වටිනාකමකින් යුත් එම කාලතුවක්කුව පුරාවස්තු ආඥා පනත යටතට ගැනෙන්නකි.
මේ තරු පහේ හෝටලයේ පරිපාලනය පසුගිය සමයේ වෙනස් වූ අතර දැන් එය හැඳින්වෙන්නේ ද වෙනත් නමකිනි. හෝටලය වඩා නවීනත්වයට ගැළපෙන අයුරු මෑතක දී සංවර්ධනය කර ඇති අතර මේ සංවර්ධන කටයුතු සිදුවන අවධියේ ඉහත කාලතුවක්කුව තිබූ ස්ථානයෙන් බැහැර කර ඇති බව දැනගන්නට ඇත.
නව හෝටල් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ගත යුතු පුරාවිද්‍යා ඇගැයීම් වාර්තාව හෝටල් කළමනාකරණය විසින් ලබාගෙන නැති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනගන්නට ලැබිණි.
කෙසේ වුවද එම කාලතුවක්කුව පුරාවිද්‍යා ආඥා පනත යටතට ගැනෙන පුරාවස්තුවක් බැවින් එය කිසිසේත් රටින් පිටකළ නොහැකිය. එහෙත් මෙම හෝටලයට අයත් භාණ්ඩයක් ලෙස අදාළ පරිශ්‍රයේ අලංකාර ලෙස ප්‍රදර්ශනයට තැබීමේ කිසිදු බාධාවක් නැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.