නයිජීරියානු ජාතිකයෙකුට පොල්ලකින් ගසා තුවාල සිදුකර ඔහු සතු වටිනා ජංගම දුරකතනයක් පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එකම පාසලේ ගුරුවරයකු ඇතුළු සිසුන් දෙදෙනෙකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ලබන ඔක්තෝම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත වූයේ මීගමුව,දංකොටුව ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙක් සහ එම විදුහලේම ශිෂ්‍යයන් දෙදෙනෙකු ය. තුවාල ලැබූ නයිජීරියානු ජාතිකයා වෑල්ඩින් වැඩ පිළිඹඳ පාඨමාලාවක් හැදෑරිමට ලංකාවට පැමිණ මීගමුව, ඒත්තුකාලේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ප්‍රින්ස් ප්ලේන් ඔඩොන් නැමැත්තෙකි. මෙම තැනැත්තා ලංකාවේ දී හඳුනාගත් රුසියානු ජාතික කාන්තාවක් සමග ඉකුත් 17 වැනිදා මීගමුව ,ඒත්තුකාලේ වෙරළේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටියදී ගුරුවරයා සහ සිසුන් දෙදෙනා පැමිණ ජංගම දුරතකනය උදුරා ගන්නට පොර බදා ඇත. පසුව මොවුන් නයිජීරියානු ජාතිකයාට පොල්ලකින් පහර දුන් බවත්, රුසියානු කාන්තාව දිව ගොස් ඒත්තුකාල සංචාරක පොලිස් මුර කුටියට සිද්ධිය දැනුම් දී ඇති බවත් පැවසේ. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින් පැමිණ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ගුරුවරයා ඇතුළු තිදෙනාම මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.