13.1 C
London
Friday, November 14, 2025
spot_img

චන්ඳිමාල් ගේ නායකත්වය ලංකාවට විශිෂ්ට ජයක් ගෙනේ

ඇන්ජලෝ මැතිව්ස් තරග තහනමට ලක්ව සිටියදී සිය පළමු එක්දින තරගයට නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවැති පළමු තරගයෙන් ලකුණු 180ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කරදීමට මීට ටික වේලාවකට පෙර සමත් විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 320ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර පන්දු 137 කදී 4 පහර 18ක් හා 6 පහර 6ක් සමගින් ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය.

එය ඔහුගේ 16 වැනි එක්දින ශතකයයි.

සංගක්කාර හැරුණු විට ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 43ක්, මහේල ජයවර්ධන ලකුණු 42ක්, ලහිරු තිරිමාන්න ලකුණු 17ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10ක් ලබාගන්නා ලදී.

අවසන් අවස්ථාවේදී පිටියට පිවිසි තිසර පෙරේරා අවසන් පන්දුවාර කිහිපයේදී තමාගේ සේවය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව යළි පසක් කරමින් පන්දු 7කදී ලකුණු 16ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මෝන් මෝකල් ලකුණු 34ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 31.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 140ක් පමණි.

රොබින් පීටර්සන් හා ඇල්වයිරෝ පීටර්සන් ලකුණු 29 බැගින්ද නායක ඒබී ද ඩිවිලියස් ලකුණු 23ක්ද ලබාගත් අතර සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

තිසර පෙරේරා හා රංගන හේරත් කඩුලු 3 බැගින්ද තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 2ක්ද බිඳ හෙළන ලදී.

තරගාවලියේ දෙවන තරගය එළඹෙන 23දා කොළඹ දී පැවැත්වෙන අතර, තෙවැනි සහ සිව්වන තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියේ 05 වන සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදිත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්දින තරගාවලියට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය සංචාරය තුළ දී 20 – 20 තරග 03 ටද සහභාගි වීමට නියමිතය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles