Wednesday , 22 January 2025

ජනපති දියණිය මුදල් ආකරයක් ද?

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයක පමණ විශාලත්වයෙන් යුක්ත, අප්‍රිකා මහද්වීපයට අයත් ඇන්ගෝලා රාජ්‍යය සියලු ලෝකවාසීන්ගේ අවධානය එකවර දිනාගැනීමට සමත්වූයේ 2011 වසරේදීය. ඒ ඇන්ගෝලියානු රූ රැජිනක වූ ලෙයිලා ලෝපෙස් බ්‍රසීලයේ දී විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීමත් සමඟ ය. නැවතවරක් ඇන්ගෝලාව ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ පුවත් මවන නාමයක් බවට පත්ව ඇත්තේ ද එරට කාන්තාවක් නිසාය. ඇය නමින් ඉසබෙල් දොස් සැන්තෝස් ය. දීර්ඝ කාලයක් ඇන්ගෝලාවේ රාජ්‍ය බලය හිමිකරගෙන සිටින එරට ජනාධිපති ජොසේ එදුආදෝ දොස් සැන්තෝස්ගේ වැඩිමහල් දියණිය ද ඇයයි. අමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් වාර්ෂික ව තෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද අප්‍රිකාවේ ධනවත්ම පුද්ගලයන් 40 දෙනාගේ ලැයිස්තුවෙහි ඇයගේ නම පවතින්නේ 31 වැනි ස්ථානයේ ය.

එම ලැයිස්තුවට නවකයකු වන ඇයගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 03 ක් බව ෆෝර්බ්ස් සඟරාව තක්සේරු කර තිබේ. 40 හැවිරිදි ඉසබෙල් අප්‍රිකාවේ පළමු මෙන් ම එකම බිලියනපතිනිය වන අතර, එම මහද්වීපයේ තරුණ ම ව්‍යාපාරික කාන්තාව ද වෙයි.

එහෙත් ඇය මේ ඇදහිය නොහැකි වත්කම් ප්‍රමාණය අත්පත්කරගත් ආකාරය පිළිබඳ තවමත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක් පමණි. දියමන්ති හා තෙල් සම්පතින් පෝෂණය වූ රාජ්‍යයක් වුව ද ඇන්ගෝලාවේ රට වැසියන්ගෙන් 70%ක් පමණ ලබන දෛනික ආදායම් ඩොලර් 02 ටත් අවම මට්ටමක පවතී.

එමෙන් ම එරට රජයේ ම ගණනය කිරීම්වලට අනුව ඇන්ගෝලාවේ ජනගහනයෙන් 10% ක් පමණ පිරිසක් නියඟ වැනි ස්වභාවික විපත් හා නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම් නිසා ආහාර අර්බුදයන්ට ද මුහුණ පා සිටිති.

සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය හා කෘෂි කර්මාන්තය වැනි අංශවලට වඩා ඇන්ගෝලාවේ වාර්ෂික අයවැයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්වන්නේ ආරක්ෂක කටයුතු වෙනුවෙනි. 2002 වසරේ දී නිමාව දුටු වසර 27 ක අඛණ්ඩ සිවිල් යුද්ධයකට මුහුණපෑමට එරට වැසියන්ට සිදුවිය. පෘතුගාලයෙන් නිදහස ලබා වසර 04 ට පසු එනම් 1979 දී ජොසේ එදුආදෝ ඇන්ගෝලාවේ ජනපති අසුන හිමිකරගනියි. එතැන් සිට ඔහුගේ පාලන සමය තුළ රටෙහි වත්කම් හැසිරවීම පිළිබඳ විද්වත්හු විවිධ මත පළකරති.

ඔහුගේ පළමු විවාහයේ දියණිය වන ඉසබෙල් 1997 වසරේ දී 24 හැවිරිදිව සිටිය දී සිය පළමු ව්‍යාපාරයට අත තබයි. ඒ ඇන්ගෝලාවේ ලුවන්ඩාහි “මියාමි බීච්” නමින් අවන්හලක් විවෘත කරමිනි. ඊට පෙර ඇය ලන්ඩනයේ කින්ග්’ස් කොලේජ් හි අධ්‍යාපනය ලබමින් සිටියා ය.

එම අවන්හලේ සිට ඇන්ගෝලාවේ වඩා ලාභදායී ව්‍යාපාරික ක්ෂේත්‍ර වන බැංකු, සිමෙන්ති, දියමන්ති හා දුරකථන සේවා දක්වා ගමන්කිරීමට ඇයට දීර්ඝ කාලයක් වැයනොවී ය. ඇන්ගෝලාවේ පමණක් නොව පෘතුගාලයේ ද දැවැන්ත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ඇය වෙනුවෙන් අසුන් වෙන්විය.

2012 වසරේ මැයි මාසයේ දී පෘතුගාලයේ දැවැන්ත ම කේබල් ටීවි සමාගමක් වන ZON හි සිය කොටස් ප්‍රමාණය 4.9% සිට 14.9% දක්වා ඉහළ නංවයි. ඇය පසුව සිය හවුල් සමාගම් 02 ක් වන කෙන්ටෝ හා ZON ම්හි ද කොටස් ප්‍රමාණය වැඩිකරගනියි. එමෙන්ම ඇය මේ වන විට ZON සමාගමේ 28.8% ක හිමිකාරිත්වය දරන අතර එහි මුල්‍යමය වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 385 කි.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුන්ගත් ඉසබෙල් මේ වන විට එහි විශාලතම කොටස්කරු ද වෙයි. මේ ජනපති දියණිය පෘතුගාලයේ දැවැන්ත ම බැංකු ජාලයක් වන Banco BPI හි ද කොටස්කාරිනියක වන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 465 කි.

වාර්තා වන අන්දමට එම බැංකු ජාලයේ ඇන්ගෝලියානු ශාඛාවල ද ඩොලර් මිලියන 160 ක පමණ වටිනාකමක කොටස් හිමිකාරිත්වය ඉසබෙල් සතු ය. ඇය ඇන්ගෝලාවේ යුනිටෙල් ජංගම දුරකථන සමාගමෙහි ඩොලර් බිලියනයක කොටස් හිමි අයකු වන බව ද එරට දුරකථන සේවා විශ්ලේෂකයන් අනාවරණය කර තිබේ. කෙසේවෙතත් ලිස්බන්හි ඉසබෙල් දොස් සැන්තෝස්ගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ඇයගේ මේ වත්කම් පිළිබඳ ව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ද ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි.

මවිතය දනවන පුවත වන්නේ ඇන්ගෝලියානු ජනපති දියණිය සතු මේ දැවැන්ත වත්කම් ප්‍රමාණය නොවේ. එක් කුඩා අවන්හලකින් සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹි ඇයට කෙටි කාලයක් තුළ එවන් ධනයක් ඉපයීම සඳහා පහළ වූ ඇදහිය නොහැකි භාග්‍යයයි.

“පාලක පක්ෂය හා ජනාධිපති අභ්‍යන්තර පාර්ශ්ව සතුව බොහෝ ව්‍යාපාරික ආශා පවතින බව මුල සිට ම පැහැදිලි ව දැකගත හැකි වූ කරුණක්. අරමුදල් පැමිණි මාර්ග හා ඒකාබද්ධ පාලනය අඳුරෙන් වැසී පවතිනවා. ඇන්ගෝලාවේ පවතින ප්‍රධානම ගැටලුව වන්නේ විනිවිදභාවයෙහි පවතින ප්‍රබල ම අඩුවයි.

මේ අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ වටහාගත නොහැකියි.” මහාචාර්ය පීටර් ලෙවිස් පවසයි. ඔහු උසස් ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා වන ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ අප්‍රිකා අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි.

දොස් සැන්තෝස්ගේ වත්කම් පිළිබඳ තමන් දැනුවත් නොවන බව ඔහු සඳහන් කරන නමුත් ඉහත ප්‍රකාශය හරහා ඇන්ගෝලාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ ඔහු යම් ඉඟියක් ලබා දී තිබේ. එහෙත් ඉසබෙල්ගේ මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කර ඇත්තේ ඇයගේ ආයෝජන කටයුතු උපරිම විනිවිදභාවයකින් යුක්තව සිදුකෙරෙන බව ය.

අතිරේක වැදගත් කරුණක් ලෙස දැක්විය හැක්කේ සිවිල් යුද ගැටුම් අවසන්වීමත් සමඟ තෙල් කර්මාන්තය ඔස්සේ ඇන්ගෝලාවට විශාල අත්පිට මුදල් ප්‍රමාණයක් ගලාඒම ය. 2002 වසරේ දී ඩොලර් බිලියන 03 ක් වූ එය 2008 වසර වන විට බිලියන 60 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහෙත්, රටෙහි මාර්ග කිහිපයක හා දුම්රිය මාර්ග කිහිපයක පමණක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව ඇති බව මහාචාර්ය ලෙවිස් පෙන්වාදෙයි. ඉසබෙල් දොස් සැන්තෝස්ට උදාවූ මේ අපූරු භාග්‍යය පිළිබඳ මෙය පූර්ණ පැහැදිලි කිරීමක් නොවූව ද ඒ සඳහා එය යම් ඉඟියක් සපයනු ඇත.

වත්මන් ඇන්ගෝලියානු ජනාධිපති 71 හැවිරිදි ජොසේ එදුආදෝ දොස් සැන්තෝස් ට එම කිරුළ අහිමිවුව ද රජයේ මුදල් නොමැතිව වුවත් සිය ජීවිතයේ සැඳෑ සමය සුඛෝපභෝගීව ගතකිරීමට ධනවත් දියණිය හේතු සාධකයක් වනු ඇත. එහෙත්, සේවයේ යෙදී සිටිය දීම ජීවිතයෙන් සමුගැනීමට ජනාධිපතිවරයාට සිදුවුවහොත් ඉසබෙල් අත ඇයගේ මුදල් එලෙස ම පවතිනු ඇත. එමෙන් ම නිර්ලෝභීව මේ මහත් ධනය සිය සොහොයුරන් සමඟ බෙදාහදාගැනීම හෝ නොගැනීම ද ඉසබෙල්ගේ ම තීරණයකි. එතෙක් ඇය ලද මේ අපූරු භාග්‍යය ඇගේ ජීවිතය තවත් සැපවත් කරනු ඇත.

Dinamina

Check Also

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...

සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කරයි.

2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ...