ජනප්‍රිය යොවුන් නළු දසුන් නිශාන්ත

වර්තමාන ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය නවක නළු නිළි පිරිස් බිහි කරන තෝතැන්නක් වී ඇතුවා සේය. විවිධාකාර රූපවාහිනී නාලිකා මගින් ටෙලි නාට්‍ය රැසක් එකවර විකාශය කරන අතර ඒ තුළින් නිරන්තරයෙන් නවක පිරිස් ක්‍ෂේත්‍රයට එක්වෙති. එවන් අය අතුරින් ඇතැමෙකු ඇති වූ සැනින් නිවී යන තරු බඳුය. තවත් අය විවිධ නිර්මාණ සඳහා නැවත නැවතත් එක්වෙමින් කතා බහට ලක්වන චරිත බවට පත්වේ. තම දක්ෂතාවය වාසනා ගුණය හා තමන්ගේ පැවැත්ම අනුව මෙවැන්නන්ට දුර ගමනක් යා හැකි බව අපි දැක ඇත්තෙමු. මේ සතියේ රැජින කතාබහට එකතු කරගන්නා යොවුන් නළුවාද රූපවාහිනී වෙළෙඳ දැන්වීම් තුළින් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එක්වී අද වනවිට ජනතා අවධානය දිනාගනිමින් සිටින නළුවෙකි. දසුන් නිශාන්ත නම් මේ යොවුන් නළුවා ගැන තොරතුරු බිඳක් ඔබට ගෙන එන්නට අප සිතුවේ ඒ නිසාය.

* මුලින්ම අපි දසුන්ගෙ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න කැමතියි.

මේ ගම නිට්ටඹුව. ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහලින්. දැනට මම ‘තොරතුරු තාක්ෂණය’ පිළිබඳ උපාධිය හදාරනවා.

* නළුවකු වුණේ ?

නිරූපණ ක්‍ෂේත්‍රය හරහා තමයි මේ ගමන ආවේ.

* දසුන් නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ කොහොමද ?

සමන්ත ගුණරත්න හා ජොනි ගුණසේකර මගෙ හිතවතුන්. ඒ අයගෙ ආරාධනාවට තමයි මම නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ.

* ඉන් පසුව ?

‘ලාඕජි’ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ දැන්වීමෙන් පසු වෙළෙඳ දැන්වීම් තිහකට පමණ දායක වීම අවස්ථාව උදා වුණා.

Dasun1* ඔබ කොහොමද චරිත නිරූපණයට යොමු වුණේ?

මේ දිනවල “ඊනෝ” වෙළෙඳ දැන්වීම ගොඩක් ජනප්‍රියයි. වෙළෙඳ දැන්වීම් නිරූපණයේ යෙදෙන අතරෙදී තමයි රඟපෑමට යොමුවුණේ.

* එයත් අහඹු සිදුවීමක්ද ?

නැහැ. ඒ වනවිට මටත් රඟපෑම ගැන උනන්දුවක් තිබුණා. ඒ අනුව උදයකාන්ත වර්ණසූරිය මහතා හමුවේ නවක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙලා “චැලෙන්ජර්” චිත්‍රපටයේ රොෂාන්ගෙ මිතුරාගෙ චරිතයට එකතු වුණා. ඒ තමයි මගෙ ප්‍රථම රංගනය.

* නමුත් පසුව එක දිගට රංගනයට යොමු වුණා

‘අපි අපි වගේ’, ‘තූර්යා’ ටෙලි නාට්‍ය දෙකේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් රඟපෑවේ “අපේක්ෂා” ටෙලි නාට්‍යයේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින 4 රෑ 7.30ට ස්වාධීන රූපවාහිනිය හරහා අපේක්ෂා විකාශනය වෙනවා.

* අපේක්ෂාට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවද ?

“අපේක්ෂා” ටෙලි නාට්‍යයේ ගූමි තමන්ගෙ අම්මට ගොඩක් ආදරේ කරන තරුණයෙක්. ඒ හින්දම පාරේ යද්දිත් මට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ අම්මලාගෙන්.

* එතකොට ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර නැද්ද ?

ගෑනු පිරිමි ලොකු කුඩා හැම දෙනාගෙන්ම ප්‍රතිචාර තියෙනවා. ඒ අතරේ ගෑනු ළමයින් නැත්තෙම නෑ.

* නමුත් තරුණ නළුවන්ට ගෑනු ළමයින්ගේ විශේෂ අවධානයක් තියෙනවා නේද ?

ඔව්.

* දසුන්ට ඒ විදියේ විශේෂ අවධානයක් යොමු කළ ගෑනු ළමයි නැද්ද ?

ඉන්නවා; ඒත් මගේ විශේෂ අවධානය යොමුවෙලා තියෙන කෙනෙක් ඉන්න හින්දා මං ඒ ගැන විශේෂයෙන් හිතන්නෙ නැහැ.

* දසුන්ගේ විශේෂ අවධානය යොමු වූ කෙනා ගැන කියන්න කැමතිද ?

එයා නර්තන ආචාර්යවරියක්. රඟපෑමට නම් කැමැත්තක් නැහැ කියලයි කියන්නේ. මේක පාසල් වියේ ඇති වූ අපි දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය. තවත් විස්තර ඉදිරියේදී කියන්නම්.

* මේ ආරංචිය පත්තරේ ගියාම දසුන් ගැන විශේෂ අවධානය යොමු වූ ගෑනු ළමයින්ගෙ අවධානය බිඳිලා යයි.

මට පෙම්බඳින රසිකාවියන්ට වඩා දක්ෂතා දිහා බලලා ඒ වටා එකතුවන රසිකාවියන් හිටියම හොඳටම ඇති. පෙම්වතියක් ඉඳීම, විවාහ වීම නිසා එවැනි පිරිස් ඈත්වන්නෙ නැහැ. ඒ හින්දා පුද්ගලිකව මං ගැන ඔය කියන විදියේ
ආකර්ෂණය ඇති අය අඩු වීම ගැන මම අමුතුවෙන් හිතන්නෙ නැහැ.

* නමුත් හුඟක් තරුණ නළුවන්ගේ සිත් උඩුයටිකුරු කරන්න පුළුවන් සුරූපී අනුරාගී තරුණියොත් අපේ සමාජයේ ඉන්නවා.

ඒවාට ගොදුරුවෙන්නේ දුර්වල මනැස් තියන අය; නමුත් මම දන්නවා මගේ හිත ස්ථාවරයි; ශක්තිමත් කියලා.

* ඉදිරියේදී අපිට දසුන්ව දකින්නට ලැබෙන්නේ ?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා. වැඩිදුර තොරතුරු ඉදිරියේදී කියන්නම්

* දසුන් රඟපෑමට අමතරව වෙනත් වෘත්තියක යෙදෙනවාද ?

දැනට නම් රඟපෑමයි, අධ්‍යාපන කටයුතුවල යෙදීමයි තමයි කරන්නේ. වෙන දෙයක් කරන්න කාලයක් නැහැ.

* අධ්‍යාපනය හමාර කළාට පස්සේ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ.

ලැබූ අධ්‍යාපනය තුළින් තවත් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් කවදාවත් රඟපෑම නම් නතර කරන්නෙම නැහැ.

* රඟපාන්න ගිහින් අමතක නොවන අත්දැකීම්-වලට මුහුණ දීලා ඇති

ජීවිතේටම මතකයෙන් බැහැර වන්නෙ නැති සිදුවීමක් තියෙනවා. මම අපේක්ෂා ටෙලි නාට්‍යයට එකතු වෙලා හා හා පුරා ෂූටින් ගියදා තමයි ඒ සිදුවීම වුණේ.

* මොකක්ද ඒ සිදුවීම

මම උදෙන්ම නැගිටලා ෂූටින් ගියා. මම මගෙ මෝටර් සයිකලයෙන් ප්‍රධාන පාරේ යද්දී හතරමං හන්දියකදී එක මෝටර් සයිකල්කරුවෙක් එකපාරටම එයාගෙ සයික‍ලේ පාරට දැම්මා. මෝටර් සයිකල් දෙක හැප්පුනා.

* දෙදෙනාටම තුවාල වුණාද?

එයාට තුවාලද මම දන්නෙ නැහැ. මට තුවාල වෙලා ‍ලේ ගලනවා. වරද ඒ පුද්ගලයගේ වුණත් මම ඒ ගැන හොයා බලන්නෙ නැතුව දර්ශන තලයට ගියා. හැබැයි ‍ලේ පෙරාගෙන ‍ලේ හෝදලා මේකප්වලින් තුවාල වහගෙන තමයි ප්‍රථම දර්ශනය රූපගත කළේ.

* මොකක්ද ඒ දර්ශනය

ගූමි (මම) පහන්දිගේ (නදිෂාගේ) ඩයරිය බිම වැටිල තිබිල අහුලන ජවනිකාව.

News: lakbima.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...