13.5 C
London
Friday, April 25, 2025
spot_img

තමිල්නාඩුවට එන සිංහලයන්ට හිරිහැර කිරීම අනුමත කරන්නේ නෑ – ජයලලිතා

තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සිංහල ජනතාවට හිරිහැර කිරීම තමන් අනුමත නොකරන බව තමිල්නාඩු ප්‍රධාන ඇමතිනී, ඒ.ඩී.එම්.කේ පක්ෂ නායිකා ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දහස් සංඛ්‍යාත ගණනින් ඝාතනය කරන ලද ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධ වුවත් තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනයාට කිසිදු හිරිහැරයක් සිදුවීමට ඉඩදිය නොහැකි බව ඇය කියා සිටියි.

අද (13)ශ්‍රී රංගම් ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය මේ බව කියා සිටි වග “වන් ඉන්ඩියා”වෙබ් අඩවිය උපුටා දක්වයි.

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව හා සමානත්වයෙන් යුතුව එරට දෙමළ ජනතාවද ජීවත්විය යුතු බවත්,ඒ වෙනුවෙන් තමන් අරගල කරන බවත් ජයලලිතා මහත්මිය පෙන්වාදෙයි.

එසේම ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන්ට තමිල්නාඩුවේ හෝ වෙනයම් කිසිදු ප්‍රාන්තයක යුද පුහුණුව ලබාදිය යුතු නැති බවත්, ඒ බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සෘජුව ප්‍රකාශ කළ යුතු බවත් ඇය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනයාට ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් බලපෑම් කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවෙන් පැමිණි පාපන්දු කණ්ඩායමට තමන් විරෝධය පළ කළ බවත් ඇය කියා සිටියි.

ලොව සියලුම ද්‍රවිඩ ජනයා තමන්ගේ එකී ක්‍රියාමාර්ගය අනුමත කළ බවත් ජයලලිතා මහත්මිය ‍අවධාරණය කරයි.

එහෙත් තමිල්නාඩුවට වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් ට හෝ සංචාරය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු හිරිහැරයක් නොවිය යුතු බව තමන් තරයේ විශ්වාස කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles