14.9 C
London
Friday, April 25, 2025
spot_img

තමිල්නාඩුවට ගිය මෙරට කරාතේ ක්‍රීඩකයින් ආපසු එවයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පොල්ලාචි නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියක් සඳහා සහභාගි වූ ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩකයින් තිදෙනෙකුට එම ශූරතාවලිය සඳහා සහභාගි නොවී නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදුව තිබේ.

කරාතේ ශූරතා තරගාවලියේ සංවිධායකින් විසින් ඒ සඳහා සහභාගි නොවී නැවත ශ්‍රී ලංකාව බලා යන ලෙස එම ක්‍රීඩකයින් තිදෙනාට දැනුම් දී තිබීම ඊට හේතුවී ඇති බව ඉන්දීය පොලිසිය සඳහන් කර ඇත.

එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් සිදුකළ විරෝධතාවයක් නිසා අදාළ සංවිධායකයින් විසින් මෙම තීරණයට එළඹ ඇතැයි ඉන්දීය පොලිසිය සඳහන් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ ආරම්භ වූ මෙම ජාත්‍යන්තර කරාතේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනා සහභාගි වීමට නියමිතව තිබූ බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නමුත් පෙරියර් ද්‍රවිඩ කලහම් සහ එවැනි එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත සහය දක්වන වෙනත් සංවිධාන විසින් එම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට අදාළ ශූරතාවලිය සඳහා ආරාධනා කිරීම පිළිබඳව එහි සංවිධායකවරුන් වෙත විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාවට සාමයෙන් ජීවත්වීමට ඉඩ ලබානොදෙන බවට ඔවුන් චෝදනා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩකයින් තිදෙනා ඒ වනවිට චෙන්නායි නගරය වෙත පැමිණ සිටි බැවින් පොල්ලාචි නගරය වෙත නොපැමිණ නැවත ශ්‍රී ලංකාව බලා යන ලෙස සංවිධායකයින් විසින් ඔවුන් වෙත දැනුම් දී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles