ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව ඝාතනයට විසිඑක් වසරක් පිරීම නිමිත්තෙනි
එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය. උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි දියසේන කුමරා ඔහු කියාය. මේ ජනප්‍රියත්වය නිසා එකල රටේ පැතිර ගිය ආරංචියක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මීළඟ ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවය. මේ නිසා පාලකයන් අතරේ කොබ්බෑකඩුව භීතිකාවක් පැතිර ගියේය. එසේ ඕපදූප කතාවක් පැතිරීමට තරම් සාධාරණ හේතුවක් රට්ටුන්ට තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහුගේ තිබූ නෑකමය.
එක්දහස් නවසිය අසූතුනේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මහප්පා වූ හෙක්ටර් කොබ්බෑකඩුවය.
කොබ්බෑකඩුව පරපුර පැවැත එන්නේ මහනුවර රාජධානියෙනි. ඒ පරපුරේ ඇත්තෝ ගරු ගාම්භීර මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත් වූවා පමණක් නොව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරූහ. මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ , ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුවගේ දෙමාපියෝය. ඔහු ඉපදුනේ එක්දහස් නමසිය හතළිහේ ජූලි විසිහත් වැනිදාය. ඩෙන්සිල් කොබ්බෑකඩුව උපත ලබන විට තිඹිරිගේ භාරව හුන් ප්‍රධාන වෛද්‍යවරයා වූයේ ආර්.එල්. ස්පිට්ල්ය. වෙදකමට වඩා ඔහු ප්‍රසිද්ධියට පත්ව හුන්නේ පොත් ලිවීමටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ නෑකමට අමතරව ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ විශ්වාසය දිනාගත් නිලධාරියකු විය. එක්දහස් නමසිය හැටහයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් යළි සේවයට කැඳවූයේ හැත්තෑවේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් ඉක්බිතිවය.
එක්දහස් නමසිය හැත්තෑ එකේ තරුණ කැරැල්ල උද්ගත වූ අවස්ථාවේ දී මැතිනිය විශ්වාසය තැබු නිලධාරින් අතරේ ඉහළින්ම හුන් චරිතයක් වූයේ එකල තරුණ මේජර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුවය. හැත්තෑ එකේ කැරැල්ලට හසු වූ තරුණ තරුණියන් දහස් ගණන් හමුදා ප්‍රහාරවලින් මිය ගියද කොබ්බෑකඩුව කල්පනා කළේ ඔවුන් බේරාගන්නා ක්‍රමයක් ගැනය. කැරැල්ලට සැකපිට ජී.අයි.ඩී. ධර්මසේකර (වර්තමානයේ අනගාරික ධර්මසේකරතුමා) රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වී මරණයට කැපකර තිබියදී ඔහුව බේරාගත්තේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව ය.
හැත්තෑ ගණන්වල සිට මැතිනියගේ විශ්වාසය දිනාගෙන සිටීම නිසාදෝ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන එක්සත් ජාතික පක්ෂය බැලුවේ වපර ඇසකින් බව රහසක් නොවීය. ඇතැම් දේශපාලනඥයන් හිතුවේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු රටේ බලය අල්ලා ගනු ඇති බවය. එනමුත් දැඩි විනය ගරුක නිලධාරියකු වූ ඔහුට එවැනි අදහසක් නොවීය. දේශපාලනයට එනවාදැයි බොහෝ දෙනා ඔහුගෙන් ඇසුවද ලැබුණු පිළිතුර වූයේ තමා හමුදා නිලධාරියකු මිසක් දේශපාලනඥයකු නොවන බවය.
කෙසේ නමුදු මහත්මා නිලධාරියකු ලෙස මහා කීර්තියක් හම්බු කරගෙන හුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේය. විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරතන (බ්‍රිගේඩියර් විජය විමලරත්න) සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව එකපිට එක ජය ලබන විට ඔවුන්ගේ යසස තව තවත් පැතිරුණි.
මේ කාලයේ කොබ්බෑකඩුවගේ ජීවිතයට දෙපැත්තකින් තර්ජන තිබූ බව කාටවත් රහසක් නොවීය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අමතරව ඇතැම් අදෘශ්‍යමාන බලවේග සිටියේ ඔහු ගැන විපරම් කරමිනි. මේ නිසා මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව විශ්වාස කළේ කොළඹ සිටිනවාට වඩා උතුරේ Kobbekaduwa1සෙබළුන් අතරේ සිටීම තම ජීවිතාරක්ෂාවට සුදුසු බවය. මක්නිසාදයත් යුද හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම සෙබළුන් ඔහුට අසීමිතව ආදරය කළ බැවිනි. ඔහු සිය පහළ නිලවල සිටින අයට කතා කළේ මගේ ළමයින් යනුවෙනි. නිවාඩුවට කොළඹ රොස්මිඩ් නිවසට පැමිණි මොහොතේ පටන් ඔහුට නැවත යුද බිමට යාමට ඉස්පාසුවක් නොවීය. ඒ අවස්ථාවලදී ඔහු සිය බිරිය වන ලලීට කියන්නේ මගේ ළමයි බලන්න මට ඉක්මන්ට ආපසු යන්න ඕන යනුවෙනි. කොබ්බෑකඩුව ආපසු උතුරට යන්නේ හිස් අතින් නොවේ. සිය බිරියගේ අතින් හැදූ කැවිලි පෙවිලි ගෝනි ගණනන්ද සමගිනි. ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරේ ළමයින්ද (සෙබළුන්) තම ලෙයින් හැදූ ළමයින්ගේද සම මට්ටමේ තැබූ බැවිනි.
සොල්දාදුවන් සමග තිබූ මේ අසීමිත බැඳීම නිසා කොබ්බෑකඩුව විශ්වාස කළේ ඔවුන් අතරේ සිටීම සිය ජීවිතාරක්ෂාවට හොඳම ක්‍රමයක් බවය. මේ අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රහසිගත කටයුත්තකට අතගසා හුන්නේය. ඒ, එල්.ටී.ටී.ඊ. යේ පාලනයට නතුවී තිබෙන උතුර මුදා ගැනීම සඳහා නව මෙහෙයුම් සැලැස්මක් හැදීමටය. එය නම් කර තිබුණේ ෆයිනල් කවුන්ට් ඩවුන් යනුවෙනි.
මෙහෙයුම ඇරඹීමට නියමිතව තිබූ දිනයට දෙසතියකට පමණ ඉහත දී ඔහු ගෙදර ආවේය. ඒ අවස්ථාවේදී වූ ෙදෙවෝපගත සිද්ධියක් සෝමා ජයකොඩි ලියූ ඩෙන්සිල් කොබ්බෑකඩුව චරිතාපදානයේ සඳහන් වී ඇත්තේ මෙසේය.
කොබ්බෑකඩුව මැතිනිය අත පැළඳි රන් මුදු දෙකකි. එකක් මංගල දිනයේ දී කොබ්බෑකඩුව මහතා විසින් ඇයට පළඳවනු ලැබූවකි. අනෙක ඇය විසින් එතුමාට පැළඳවූවයි. එය හදවතක හැඩය ගත්තකි. ඒ හදවත මත ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව නම්වල මුලකුරු වන ච්ඹ්ම් කොටා ඇත. අකුරු ගෙවීගොස් ඇති නිසා යළි පැහැදිලි ලෙස එය කෙටීමට බිරියට අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව ස්වාමියාගේ සිත් ගත්තේ නැත. ගෙදරදොර වැඩ කරන සමහර අවස්ථාවල බිරිය ඇගේ මුදුව ගලවා පසෙක තබා වැඩ අවසන්කොට යළිත් පැළඳගැනීමද එතුමාට රුචි නොවූවකි.
අවුරුදු විසිඑකක් තිස්සේ මං මේ මුද්ද ගලවලා තියන්නෙ පරෙස්සමටනේ. වැඩ කරනකොට ගවෛනවා. ඔයාගේ මුද්ද ච්ඹ්ම් අකුරු ගෙවිලා ආයෙ කොටන්න ඕනෑ.
බිරිය කොතෙක් ඉල්ලා සිටියද කොබ්බෑකඩුව මහතා මුදුව ගලවා බිරිය අත තැබුවේ නැත. මේ සංවාදය ඇතිවූයේ එක්දහස් නවසිය අනූදෙකේ ජූලි මස තිස්එක් වෙනිදා තරම්ය. ඉන් දින අටකට පසු කොබ්බෑකඩුව මහතා මියගිය අතර, එතුමා අතවූ මංගල මුදුව තරුණ නිලධාරියෙකු විසින් බිරියට ආපසු භාර දෙන ලදී. මුදුවේ ලේ තැවරී තිබුණි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව අවසන් වරට ගෙදරින් පිටත් වූ දවසේ වරකාපොළ දක්වා ලලී කොබ්බෑකඩුවත් ගියාය. වරකාපොළදී හමුදා ජිප් රියට ඔහු නැග්ගේ සිය බිරියට මෙසේ කියමිනි. මේ සැරේ මං එන්න ටිකක් පරක්කු වෙයි. කල්පනාවෙන් ඉන්න එසේ සිය බිරියගෙන් සමුගෙන අනුරාධපුරයට පැමිණි ඩෙන්සිල් කොබ්බෑකඩුව මුණ ගැසීමට දෙතුන් දවසකට පසු තවත් පිරිසක් ආවෝය. ඒ කොබ්බෑකඩුව
ළඟින්ම ඇසුරු කළ බෙංගමුවේ නාලක හාමුදුරුවෝය. මහා අනතුරක පෙරනිමිති පහළ වී තිබූ නිසාදෝ උන්වහන්සේ එක හඩින් ඉල්ලා සිටියේ උතුරට ගියත් පලාලි කඳවුරෙන් අඩියක්වත් පිටතට නොතබන ලෙසය. එනමුත් ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලසුම් පරීක්ෂා කිරීමට කොබ්බෑකඩුවට එළියට බැසීමට සිද්ධ විය. මේ අතර කොබ්බෑකඩුවගේ මහගෙදර වූ පිළිමතලාවේ දෙල්දෙණිය වලව්වේ මැද මිදුලේ වහළ අගෝස්තු හත්වැනිදා මහ රෑ කඩාවැටුණේය. එය හරියට මහා නපුරක පෙර නිමිත්තක් පහළ වූවාක් මෙනි.
දිනය එක්දහස් නමසිය අනූදෙකේ අගෝස්තු අට වැනිදාය. එදින උදෑසන යාපනය කයිට්ස් කඳවුරේ හුන් හමුදා නිලධාරීහු විශේෂ පුද්ගලයකු එනතුරු බලා සිටියහ. ඔහු ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ මහ මොළකරු වූ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවය. කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට ආවේ බෝට්ටුවලිනි. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කීප දෙනෙක්ම එහි හුන්හ. ඔවුන් යාමට නියමිතව හුන්නේ අරාලි තුඩුවටය. ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවය. එහි සිට නාවික හමුදා බෝට්ටු මගින් සෙබළුන් යාපනය නගරය අල්ලා ගැනීමට යාමට නියමිතව තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් ඇරඹුවේ ජිප් රථ දෙකක නැගීය. අතරමගදී සියලු දෙනා එක ජිප්රියක නැගිය යුතු බව තීරණය කළේ එල්.ටී.ටී.ඊ.යේ දර්ශන පථයෙන් ඈත්වීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් මේ ගොඩවන්නේ මරුවා සැඟ වී සිටින රියකට බව කිසිවෙකුට නොසිතෙන්නට ඇත.
සෙබළුන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම එම ජිප් රියට ගොඩවූහ. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් එච්.ආර්. ස්ටීවන් , කර්නල් යශෝධ පලිපාන, කර්නල් ජී.එච්. ආරියරත්න , මේජර් නලීන් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර්, චන්දිම විජයපුර, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සහයක සෙබළා වන සෙබළ උපාලි ද ඒ අතර වූහ. වාහනයේ ඉඩක් නොවූ බැවින් සෙබළ උපාලි හිටියේ රථයේ පිටුපස එල්ලීය.
කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් අරාලි තුඩුව බලා ගමන් අරඹන විට ඔවුන් සමග පැමිණි අනෙක් රථය අරාලි තුඩුව පෙනෙනතෙක් මානයේ සෙවණ ඇති බිමක නතර කෙරුණි. පැය භාගයක් පමණ ගත වුණි. නතර කළ තිබූ ජිප් රියේ සිටි අයට ඇසුණේ කොබ්බෑකඩුව ගිය ජිප්රිය නැවත පැමිණෙන ශබ්දයය. එබැවින් ඔවුහු තම ජිප් රියද පණනැංවූවේ ගමන් ඇරඹීමටය.
මේ අතර කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වූවා පමණි. මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා ගියේය. ඒ දෙදරීම කොතරම්ද යත් එහි කම්පනය අදටත් රට්ටුන්ගේ හදවතවලට හොඳට දැනේ. විනාඩි ගණනාවක් පුරා මුළු බිමම මහා ධූලි වලාවකින් වැසී ගියේය. නවතා තිබූ වාහනයේ හුන් හමුදා නිලධාරීහු පිපිරුම වූ බිමට දිව්වෝය. එහි මහා ආවාටයක් ඇදී තිබුණි. ඔවුන්ට මුලින්ම හමුවූයේ කොමදෝරු මොහාන් ජයමහය. ලේ විලක් මැද වැටී හුන් ඔහුගේ පණ නළ ගැහෙමින් තිබුණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටීසිටියේ මරුවා සමග සටන් කරමිනි. බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි. රථයේ පිටුපස එල්ලී ගිය සෙබළ උපාලිගේ දෙපා තිබුණේ සිරුරෙන් වෙන්වීය. පණගැහෙමින් හුන් ඔහු කැඩී වෙන්වූ දෙකකුල්ද සොලවමින් කෑගසමින් හුන්නේය. (ඔහු මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයාය) කොබ්බෑකඩුව, ජයමහ හා උපාලි හැර අන් සියලු දෙනාගේම සිරුරු තිබුණේ සත් අතකට කැඩීය. ඔවුහු සියල්ලෝම ඒ වන විටත් දිවි සටනින් පරාජයට පත්ව හුන්හ.
පිපිරුමෙන් විනාඩි කීපයකට පසු හෙලිකොප්ටරයක් අරාලි බිමට ගොඩබැස්සේය. එම හෙලිකොප්ටරය කලින් ලෑස්ති කර තිබුණේ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යළිදු වරක් කඳවුරට යාමටය. හෙලිකොප්ටරයට මුලින්ම නංවා ගත්තේ කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන්ය. ඔවුන් දෙදෙනා පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ දිවියට සමු දුන්නේය. පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවැසි මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් ඔහු වහාම
කොළඹට යැවීමට තීරණය කළේ බරපතළ තත්ත්වයේ ඔහු පසු වූ බැවිනි. මේ අතර පලාලි කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජයවර්ධනපුර මහ රෝහලට කතාකර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සියලු ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා ශල්‍යාගාරය වෙන්කර තබන්නැයි දැනුම් දුන්හ. එසැණින් ජයවර්ධනපුර රෝහලේ බලධාරීහු ක්‍රියාත්මක වූහ. ඔවුන් කොබ්බෑකඩුවගේ දිවිය ගලවා ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී හුන්හ. යම් හෙයකින් අතරමගදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරුණි.
සිහිසුන්ව හුන් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ දිවි ගලවා ගැනීමට ඔහුට වහාම විශේෂඥ ප්‍රතිකාර දිය යුතු මුත්, එය ප්‍රමාද වූයේ ඇයිදැයි යන්න අදටත් අබිරහසකි. ජයවර්ධනපුර මහ රෝහලේ සියලු කටයුතු සූදානම් කර තිබියදීත් ඔහු රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. පලාලි වලින් රත්මලානටත් , රත්මලානෙන් ජයවර්ධනපුර රෝහලටත් එතැනින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත විණි. උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් කොබ්බෑකඩුව හුන්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයේය. ඔහුගේ ජීවිතය බේරාගැනීමට දොස්තරවරු නොගත් වෙහෙසක් නැත. එනමුත් ඒ සියල්ල පරාජය කරමින් පස්වරු දෙකහමාරට පමණ මරුවා ජය ගත්තේය.
ඒ මරණය වී මේ මාසයට විසිඑක් වසරක් ගත වුණිද ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය අදටත් අබිරහසකි. ඔහුගේ ඝාතනයට සෘජුවම ඇඟිල්ල දිගු වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයටය. රජය තමන්ට එල්ල වූ කළු පැල්ලම මකා ගැනීමට ඝාතනය ගැන පිරික්සීමට ඉස්මයිල් කොමිසම පත් කළේය. ඒ අතරේ එංගලන්තයේ හුන් බෝම්බ විශේෂඥයකු වූ ජේ.ආර්. වයට් ද මේ ගැන පරීක්ෂා කළේය. ආණ්ඩුවේ වාර්තාවත් එම වාර්තාවත් පරස්පර විය. ඉනික්බිතිව බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිනිය කොබ්බෑකඩුව ඝාතන කොමිසමක් පත් කළාය. එහිදී ද සත්‍යය හෙළි නොවීය. සැබැවින්ම සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය කළේ කොටි සංවිධානයද එසේ නැතිනම් ඔහු දේශපාලනයට පැමිණෙතැයි පැතිරී ගිය ආරංචියට බිය වූ දේශපාලනඥයන් පිරිසක්ද. මේ ප්‍රශ්නවලට උත්තර ද සදාතනිකව පොළොව යට වැලලී තිබෙනු ඇත. මක්නිසාද යත් කොබ්බෑකඩුව ඝාතනයේ ඇඟිල්ල දිගු වූ සියල්ලෝම දැන් සිටින්නේ පොළොව යට බැවිනි.
මිහිරි ෆොන්සේකා
Lakbima