දඩයම් කුටියකින් බිමට බැස අබියෙස් ලැබු මහ රැජින

එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වර්තමානයේ එක්සත් රාජධානිය වශයෙන් රාජ්‍යයක් (රටක්) බවට පත්වී ඇත. අද එහි රාජ්‍ය නායිකාව බවට පත්ව සිටින්නී එදා බ්‍රිතාන්‍ය අධිරාජ පරපුරේ වත්මන් පුරුක වන දෙවැනි එළිසබෙත් මහ රැජිනයි. එබැවින් ඇය රාත්තල 05ක් බරැති බ්‍රිතාන්‍ය රජකිරුළේ බර දරන අයෝමය කාන්තාවද වන්නීය. ඒ මහා ස්වර්ණමය කිරීටයේ බර ඇගේ හිසමත පැටවුණු (වැටුණු) මොහොතේ ඕ 27 හැවිරිදි වියේ පසුවූ සුරූපි සුන්දර තරුණියක වූවාය. බ්‍රිතාන්‍ය රජ කිරුළේ අනභිබවනීය උරුමය ඒ වන විටත් සිය සුරතෙහි මිට මොළවා ගෙන සිටි ඈ රජකුමරියක ලෙස සිය දිවියෙහි ගෙවූ අවසන් රැය ගත කරමින් සිටියේ සිය වල්ලභ කුමරුවන පිලිප් ආදිපාදවරයා සමග කෙන්යාවේ සගානා අභය භූමියේ පිහිටි දැවැන්ත අත්තික්කා ගසක මුදුනේ තනා තිබූ දඩයම් නවාතැනකය. ඒ මීට වසර 60කුත් මාස 06කට පමණ පෙර දිනයකයි. එනම් 1952 පෙබරවාරි මාසයේ 05 දාය. ඇගේ පිය රජු වූ හයවැනි ජෝජ් රජු ස්වර්ගස්ථ වූ අවස්ථාවේ එළිසබෙත් කුමරිය තම වල්ලභ කුමරු වන පිලිප් ආදිපාදවරයාද සමග ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයකට සහභාගි වෙමින් සිටියාය. ඒ ෙදෙවෝපගත දිනයේ ඈ රාත්‍රිය ගත කරමින් සිටි සගානා අභය භූමියේ ගස මුදුනේ වූ සොඳුරු නවාතැන ඊට වසර 05කට පෙර එළිසබෙත් පිලිප් රාජකීය යුවළට සිය මධු සමය වෙනුවෙන් කෙන්යානු ගෝත්‍රික ජනතාව පරිත්‍යාග කර තිබුණක් විය. එළිසබෙත් කුමරිය සහ පිලිප්කුමරු එදාසිය සංචාරයේ නිරත වෙමින් කෙන්යාවට සැපත් වූ අවස්ථාව වනවිට එරටෙහි “කිකියු කැරැල්ල” පැන නැඟී පැවැතුණි. රාජකීය දෙ‍පොළගේ කෙන්යානු සම්ප්‍රාප්තිය සැල වූ සැණින් ඔවුන්ට කෘතඥතාවය පළකරනු වස් කැරලිකරුවෝ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කළහ. ඒ සමගම සිය පිය මහරජාණන් වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත එළිසබෙත් කුමරිය සහ පිලිප් කුමරු වෙත සැල විය. එම සංවේගජනක පුවත ඔවුන් වෙත රැගෙන එනු ලැබුවේ පිලිප් කුමරුගේ සහායක නිලධාරි මයිකල් පාකර් විසිනි. එළිසබෙත් වහාම ඇගේ උත්තරීතර ධුරයේ භාරදූර රාජකාරිය සඳහා සූදානම් වූවාය. ඒ වන විටත් ඔහු ලෝකය හෙල්ලුම් කැවූ අමරණීය පෙම් පළහිලව්වක පැටලී සිටියේය. දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදී නාසි යුද භීතිය බ්‍රිතාන්‍ය රජ මැදුරට ඉහළින් රජයමින් පැවැතිණි.

රජ පවු‍ලේ ඊළඟ උරුමක්කාරියන් වූ නිසා එළිසබෙත් කුමරිය මෙන්ම ඇගේ සොහොයුරිය වූ මාග්‍රට් කුමරියද ඒ වන විටත් බ්‍රිතාන්‍යයේ රාජකීය සංකේතයක්් බවට පත්ව සිටියහ. බිහිසුණු ලෙස පැතිර පැවැති දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජීවිත තර්ජනයන්ට සෘජුවම ඉලක්ක විය හැකිවූ රජ පවු‍ලේ මාතාව සහ කුමරියන් දෙදෙනාත් වෙනත් ආරක්ෂා සහිත ස්ථානයකට යා යුතුව තිබිණි.
එහෙත් එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාත්, ඔවුන්ගේ මවු රැජිනත් මහ රජු මාලිගයේ තනිකර දමා සිය ජීවිතාරක්ෂාව පමණක් සලසා ගන්නට නොකැමැති වූහ.
මේ අතර බකිංහැම් මාලිගා අංගනයට සතුරු ප්‍රහාරක බෝම්බයක් පතිත විය.
සෘජුවම “ලුෆ්ට්වර්ෆ්” (ජර්මන් ගුවන් ප්‍රහාරක බළඇණියේ) බෝම්බ ප්‍රහාරවලට ලක්විය හැකි රේඛාවේ පිහිටි වින්ඩ්සර් මාලිගයේ ඒ වනවිට එළිසබෙත් හා මාග්‍රට් කුමරියෝ වාසය කළාහ.
එළිසබෙත් කුමරිය හා පිලිප් කුමරු අතර රාජකීය විවාහ මංගල්‍යය 1947 නොවැම්බරයේ දැඩි ශීත සමයක වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු කෙරිණි.
දෙවැනි ලෝක සංග්‍රාමයේ කුරිරු ගිනිසිළු ඒ වන විට නිවී පැවතුණත් එම යුද්ධයේ අතුරු පළ ලෙස රට පුරා ක්‍රියාත්මක වෙමින් පැවැති විවිධ භාණ්ඩ හා සේවා සීමා කිරීම් වැනි සම්බාධක නිසා රාජකීය විවාහ මංගල්‍යයේ අත්‍යවශ්‍යම අංග වූ ඇඳුම් පැළඳුම්, උජ්වලිත රාජ පළඳනා, සැරසිලි, රස කැවිලි, මත්ස්‍ය මාංශ සහ ගිනි කෙළි වැනි දෑ පිළිබඳව ගැටළු මතු වී තිබිණි.
රට පුරා අත්‍යවශ්‍ය සියලු දෑ සලාක ක්‍රමයට බෙදා හැරිණි. මේ නිසා රාජකීය විවාහ මංගලෝත්සව සංවිධායකයෝ විවිධ ප්‍රශ්නවලට මුහුණ පා සිටියහ.
එහෙත් මේ දුෂ්කරතා හමුවේ සිය රාජකීය පවුල වෙනුවෙන් බ්‍රිතාන්‍ය වාසීන්ගේ දයාබර කැපවීම ඉතා ඉහළින්ම සිදුවිය.
එළිසබෙත් කුමරියගේ විවා මඟුලට අවශ්‍ය කළමනා ලබාගැනීම පිණිස අවශ්‍ය සලාක පත් බ්‍රිතාන්‍ය ජනතාව විසින් පරිත්‍යාග කරන ලදී.
කුමරියගේ මංගල ඇඳුම වටනා මුතු ඇට 2000 කින් සරසන්නට කටයුතු කෙරෙමින් පැවැතිණි.
බ්‍රිතාන්‍ය මහජනතාවගෙන් පරිත්‍යාග කෙරුණ සලාක පත් තොග ට්‍රක් රථ පුරවා රටේ විවිධ පෙදෙස්වල සිට රැගෙන එනු ලැබිය.
එළිසබෙත් කුමරිය සිය මංගලෝත්සවයට පසුදින, සුන්දර දුර්ලභ උඩවැඩියා මලින් අලංකාර ලෙස නිමවා තිබූ සිය මනාලි මල් කළඹ වෙස්ට් මිනිස්ටර් ඇබේ අංගනයෙහි සිය මිත්තණිය වූ වික්ටෝරියා අධිරාජිනිය විසින් රෝපණය කරනු ලැබූ වෘක්ෂය සමීපයේ ඉදි කර තිබූ “නාඳුනන සෙබළා”ගේ සොහොන මත තබා යුද විරුවන්ට උපහාර පිදුවාය.
දෙවන ලෝක සංග්‍රාමය ලෙස හැඳින්වෙන කුරිරු නාසි යුද්ධය නිසා සිය සමීපතමයන් හා ඥාතීන්ගේ වියෝගයෙන් කටුක ලෙස තැවෙමින් වැළැපෙමින් සිටි සියලු බ්‍රිතාන්‍ය පුරවැසියෝ කඳුළු සලමින් “God Saves King” (දෙවියෝ රජු රකිත්වා”) ජාතික ගීය මුමුණමින් කුමරියට බැති පෙම් පුද කළහ.
ඔවුහු බ්‍රිතාන්‍ය කිරු‍ලේ පැවැත්ම හා ආරක්ෂාව උදෙසා සිය බැංකු තැන්පතුවල පැවැති මුදල් පවා පරිත්‍යාග කළහ.
පස්වැනි ජෝජ් රජුගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව පැවැති එළිසබෙත් කුමරියගේ රාජාභිෂේකය බ්‍රිතාන්‍යයේ උත්තරීතර ශ්‍රේෂ්ඨභාවය, අභිමානය හා රාජකීය මහිමය මනා ලසෙ මුළු මහත් ලෝකයටම පෙන්වා දෙමින් රාජතේජසින් අලංකාරවත්ව පැවැතිණි.
එය ඒ අයුරින්ම මුළු ලෝකයටම පළ කෙරෙන පරිද්දෙන් මාධ්‍ය ලෝකයේ එතෙක් කිසිදිනෙක නොවූ විරූ අයුරින් ලෝ පුරා විකාශය කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (B.B.C) කටයුතු කළේය.
එම රාජාභිෂේක මංගල්‍යයේදී මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් හා එරට අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් එවකට අග්‍රාමාත්‍යව සිටි ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් සහ කැන්ටබරිහි අගරදගුරුවරයාත් ප්‍රධානත්වය ගෙන ක්‍රියා කළහ.
මේ අතර අභිෂේක උත්සව අවස්ථාවේදී වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු කෙරෙන රාජාභිෂේක චාරිත්‍ර කටයුතු රූපවාහිනිය හරහා විකාශනය නොකළ යුතුයැයි බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රචාරය විය.
එසේ වුවත් එවැනි අවස්ථාවකදී ගත යුතු තීරණය කුමක්දැයි යන්න එළිසබෙත් කුමරියට ඒත්තු ගන්වන්නට කිසිවෙකුටත් අමතක වී තිබිණි.
“කිරුළු පළඳින්නේ කැබිනට් එක නොවේ. කිරුළු පළඳින්නේ මමයි” යනුවෙන් එළිසබෙත් කුමරිය කළ ප්‍රකාශය ඉදිරියේ කැබිනට් මණ්ඩලය තීරණය හිරු දුටු පිණි මෙන් වාෂ්ප විය.
මේ වන විට රූපවාහිනිය බටහිර ලෝකය පුරා ව්‍යාප්ත වී පැවැතුණි.
බ්‍රිතාන්‍ය වාසීන්ගෙන් 56ක් වූ මිලියන 36ක් වූ ජනතාව සිය මහ රැජිනගේ රාජාභිෂේකයේ විසිතුරු රූපවාහිනී තීරය ඔස්සේ නැරඹූහ.
මෞලි මංගල්‍යය සඳහා එළිසබෙත් කුමරිය වෙස්ට් මිනිස්ටර් ඇබේ දක්වා කැඳවාගෙන ආ රන්කමින් විසිතුරු වූ රථය ඇදගෙන යනු ලැබුවේ අයිසන්හවර් නමැති ලෝක ප්‍රසිද්ධ තුරඟා ප්‍රමුඛ දුඹුරු වර්ණ තුරඟුන් සය දෙනෙකු විසිනි. අභිෂේක මංගල්‍යයට පෙරදින රාත්‍රිය මුළුල්‍ලේත් ඇද හැළෙමින් තිබි නොනවත්වාම වැටුණු වැස්ස පවා නොතකාම අති විශාල ජනකායක් එම අත්‍යාලංකාර රාජකීය පෙරහර නැරැඹූහ.
බ්‍රිතාන්‍යයේ 32 ක්වූ සෙසු ජනකායත් ගුවන් විදුලි විස්තර ප්‍රචාරයන් ඔස්සේ එම රාජකීය අභිෂේක මංගල්‍යයේ සොඳුරු විසිතුරු ශ්‍රවණය කළහ. යුරෝපයේත් කැනඩාවේත්, විශාල ජනකායක්ද මේ අසිරිමත් රාජකීය උළෙල පිළිබඳව ගුවන් විදුලියෙන් සවන් දුන්හ. ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශාල පිරිසක්ද ඒ පිළිබඳව ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළහ.

 

 

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...