නයෝමි වොට්ස් ඩයනාගේ චරිතය රඟපාන චිත්‍රපටයට ජනතාව අකමැති වෙයි

ඩයනා සිනමාවට ගෙන එන බවට කසුකුසුව පැතිරුණු මුල් අවධියේදීම බොහෝ අය විමසිලිමත් වූයේ කවුරුන් විසින් ඇගේ චරිතයට පණ ‍පොවනු ඇත්ද යන්නයි. ඒ අනුව ඒ අවස්ථාව හිමි වූයේ නයෝමි වොට්ස්ටය. චිත්‍රපටයේ කේන්ද්‍රගත පුවත වශයෙන් ගෙන ඇත්තේ ඇගේ ජීවිතයේ අවසන් වසර දෙකක කාලය තුළ හස්නත් ඛාන් නමැති ඉන්දියානු වෛද්‍යවරයා සමග පැවැති ප්‍රේම සම්බන්ධය බව පැවසේ. ඩයනා ඔහු හඳුන්වා ඇත්තේ පුදුමාකාරයා (Mr. Wonderful) යනුවෙනි. එහෙත් ඔහු කිසිදිනෙක තමන් සහ කුමරිය අතර වූ සබඳතාව පිළිබඳව වදනක් හෝ පවසන්නට ඉදිරිපත් වූයේ නැත. මොවුන් අතර සබඳතාව නිමා වූයේ ඇගේ මරණයට සති කිහිපයකට පෙරාතුව බව පැවසේ.

චිත්‍රපටයෙහි ඇගේ අවසන් ප්‍රේමවන්තයා වන ඩොඩී අල්ෆෙයිඩ් ගැනද අන්තර්ගත වන නමුදු ඇගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව චිත්‍රපටයේ නොදැක්වෙනු ඇති බවයි පැවසෙන්නේ. ඔලිවර් හර්සිචිබෙල් අධ්‍යක්ෂණය කරන මෙහි නිෂ්පාදනය සිදුවන්නේ Ecosse නිෂ්පාදන ආයතනයෙනි.
“ සත්‍ය වශයෙන්ම විශිෂ්ට කාන්තාවගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබිමෙන් මම අධික කැළඹීමකට ලක්වුණා. ඒ වගේම මමත් සම්භාවනාවට පත් වුණා වගේ දැනුණා. ඇය පාර්ශ්වයන් ගණනාවකගෙන් ප්‍රබල සහ ධනාත්මක බලපෑම් කරන්නට සමත් වූ කෙනෙක්.”
නයෝමි සිය රංගන අභියෝගය ගැන කියන්නේ එසේය.
මෙහි හෘද වෛද්‍ය ඛාන්ගේ චරිතය නවීන් ඇන්ඩෲස් නිරූපනය කරනු ඇත. ඔහු මින් පෙර බුද්ධ ඔෆ් ද සර්බර්බියා සහ ඉන්ග්ලිෂ් පේෂන්ට් චිත්‍රපට වලට මෙන්ම ලොස්ට් රූපවාහිනී නාටක මාලාව සඳහා රංගනය ලබාදී තිබේ.
නමුත් නයෝමිට මේ චරිතය ලබාදීම සම්බන්ධව අප්‍රසාදය හෝ සැකය
ඵපළ කළ අයද සිටිති. මේ පිළිබඳව ලියැවුණු ඩේලි මේල් පුවතක සඳහන් කොට තිබුණේ නයෝමි කොහොමටත් ඩයනා තරම් උස හා සුන්දර නොවන බවය. ඩේලි මේල් පුවතට යටින් ප්‍රතිචාර දක්වා තිබූ පාඨකයන් දක්වා තිබූ අදහස්වලින් බොහෝමයකින් කියැවුණේද ඔවුන් නයෝමිගේ ඩයනා රංගනයට කැමැති නැති බවයි.
ඩයනා තිරයට ගෙන එන නිෂ්පාදන කණ්ඩායම විශේෂයෙන්ම ඇගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව අධ්‍යයනය කරමින් ඩයනාගේ චරිතයට වස්ත්‍රාභරණ සකස් කොට තිබේ. කුමරියගේ ඉරියව් සහ හැසීරීම් අධ්‍යයනය කිරීමට නයෝමි වොට්ස් විශේෂයෙන්ම කටයුතු කළ බැව් සඳහන් වේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ උපත ලද මුත් නයෝමි ඕස්ට්‍රේලියානු ජාතිකයකු නිසා ඇගේ ඕස්ට්‍රේලියානු උච්චාරණය සකසා ගැනීම සඳහා හඬ පුහුණුකරුවකුගේ සහයද ලබා ගන්නා බව පැවසේ.
නමුත් මේ පිළිබඳව අදහස් දක්වන ඩයනාගේ අවසන් පෙම්වතා ඩොඩී අල්ෆෙයිඩ්ගේ පියා මොහොමඩ් අල්ෆයිඩ් පවසා ඇත්තේ ඔවුන්ගේ ආදරය හුදෙක් ප්‍රේමාලාපයක් ලෙසින් ප්‍රතිනිර්මාණය වනු ඇති බවත්, ඩොඩීගේ චරිතය හුදෙක් මහජන ආකර්ෂණය මතුකිරීමටත් ඩොඩී සමග බැඳීම පෙන්වා රජ පවුලට ගර්හා කරන්නටත් යොදා ගනු ඇති බවය.
එමෙන්ම පසුගියදා ලන්ඩනයේ පැවැති රූපගත කිරීම්වලදී ඩයනා සාප්පු සවාරියක නියැළෙන අයුරු රූපගත කෙරුනි. එමෙන්ම ඉන් පසුව නයෝමිද පැපරාසීන්ගේ ඡායාරූපවල ගොදුරක් බවට පත්වී තිබේ. ලොව වැඩියෙන්ම ඡායාරූපවලට පෙනී සිටි කාන්තාව වශයෙන්ද වාර්තා තබා තිබූ ඩයනා මියගියේද පැපරාසීන් නිසාය. එමෙන්ම ඇය රිය අනතුරින් බරපතළ තුවාල ලබා සිටියදීත් ඇය වට කරගත් ඡායාරූප ශිල්පියෝ ඡායාරූප ගන්නට උත්සාහ දරා තිබේ. මෙහිදී ඩයනා කුමරිය අනේ දෙවියනේ යනුවෙන් කෙඳිරූ බව වාර්තා වේ. ඇයට ලොව කුමන තැනක සිටියද ඡායාරූප ශිල්පීන්ගේ කරදරයෙන් මිදෙන්නට හැකියාවක් තිබුණේ නැත. ඩයනාගේ චරිතය රඟද්දීම පැපරාසීන් විසින් වටකරගනු ලැබිම නයෝමිට අමතක නොවන අත්දැකීමක් ලෙසින් දැනෙන්නට ඇත.
නයෝමි වොට්සන්ගේ ඩයනා රංගනය පිළිබඳව අප්‍රසාදය පළ කළ ඩේලි මේල් පුවත එයට අදාළ පින්තූරද තෝරාගෙන තිබුණේ තම මතය සනාථ කරන්නටය. ඒ අනුව ඩයනාගේ ඡායාරූප සමග අදාළ අවස්ථාව නයෝමි නිරූපනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප සන්සන්දනාත්මකව දක්වා තිබිණි. මෙයින් ඉස්මතු වූයේ නයෝමිගේ වෑයමේ අසාර්ථකභාවයයි.
වඩාත් අපූරු වූයේ එම පුවතට පාඨකයන් දක්වා තිබුණු ප්‍රතිචාරය.
“මොන විකාරයක්ද? ඇය (නයෝමි) කොහොමවත් ඩයනා වගේ නමෛයි.”
“කවුරුත් ඩයනාගේ චිත්‍රපටයක් ඉල්ලා සිටියද? මට විශ්වාසයි ඇය මහත් ශක්තියක් ඇති අපූරු කෙනෙක්. ඇගේ දිවිය ඇගේ ආදර කතා පිළිබඳව ආන්දෝලනාත්මක සංවාදයක් මතු කරමින් ඛිෙදනීය අයුරින් නිමා වුණා. නමුත් ඇගේ දරුවන්ට තවමත් ඇගේ පෞද්ගලිකත්වය වැදගත්. අප ඇයට සාමදානයේ ඉන්න ඉඩ සැලැස්විය යුතුයි.”
“විගඩමක් ඇත්තටම මම නම් කවරම කවදාවත් දැකලා නැහැ මේ වගේ අසාර්ථක හාස්‍යජනක විදිහට කරපු ඓතිහාසික චරිතයක අනුකරණයක්. ඇඳුම්, හිසකෙස්, විතරක් නමෛයි සම්පූර්ණ නිරූපනයම අසාර්ථකයි. ලාබ විදියේ බොරු කොණ්ඩයක්, වැරදි කොණ්ඩ විලාසිතාවක්, මේකප් එකත් වැරදියි. ඇඳුම් විලාසිතා, සපත්තු විතරක් නොවෙයි තෝරාගත් රෙදි වර්ග පවා අසාර්ථකයි.”
“මේක කෙසේවත් ගැළපෙන්නේ නෑ. ඒ අපූරු කාන්තාවට නිදහසේ ඉන්න දෙන්න බැරි හැටි.”
කෙසේ නමුත් මෙම චිත්‍රපටයට අදාළව මුදා හැරුනු පළමු ඡායාරූපය එතරම් ආන්දෝලනයක් ඇති කළ බව පෙනුණේ නැත. මන්ද කියනවා නම් එහිදී ඩයනා ලෙසින් රඟන නයෝමිගේ රුව එතරම් නොගැළපෙන බවක් නොතිබුණු බැවිනි. එහිදී ඇයගේ නිරූපනය සෑහීමකට පත්වීමට හැකි විය. නමුත් පසුව මාධ්‍යයට යොමු කොට තිබුණු ඡායාරූප අරභයාය මේ විරෝධයන් ගොඩනැගුණේ. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම මෙම මත දැක්වීම් ප්‍රතික්‍ෂේප කරමින් ඩයනා පිළිබඳව මනා අධ්‍යයනයකින් අනතුරුව චිත්‍රපටය නිෂ්පාදනයට යොමු වූ බව ප්‍රකාශ කොට තිබේ. මේ සිදුවීම අපට පහදා දෙන කරුණු කිහිපයකි. එකක් නම් ජීවමානව සිටි චරිතයක් නිර්මාණයක් තුළට ගෙන ඒමේදී කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්නයි. ඩයනා ජීවත් වූයේ මෑත කාලයේදී වීමත් ඇය ජනතාව අතර, මනාව ප්‍රකටව සිටි චරිතයක් වීමත් මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ කරයි. එමෙන්ම ඇය ජනතාව භක්තියෙන් යුතුව සමරන චරිතයක් වීම නිසා සිනමා කෘතිය තුළන් ඇයට අතිශයින්ම සාධාරණය ඉටුවිය යුතු බව ජනතාව කල්පනා කරති. මෙම තත්ත්වය නිසා චිත්‍රපටය සුළු සුළු අඩුපාඩු සහිතව හෝ බාර ගැනීමට ප්‍රේක්ෂකයෝ
අකමැති වන බව පෙනේ. නමුත් මෙහිදී මේ අකැමැත්ත තීරණාත්මක ලෙසින් බලපානු ඇත. මන්ද යත් බොහෝ විට සිනමා කෘතියකට ප්‍රේක්ෂකයන් රොක් වීමට ඒ සම්බන්ධව ගොඩනැගෙන ‍පොදුජන ප්‍රතිචාරයද තීරණාත්මක වන බැවිනි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...