ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ජනාධිපතිවරයා විසින් අද පත් කරනු ලැබේ. නව අගවිනිසුරු පත්කිරීමට අදාළ පාර්ලිමේන්තු සභාව අද උදෑසන රැස්වී ඊට සම්බන්ධ නිර්දේශයන් ලබා දෙනු ඇත. එම නිර්දේශ සැලකිල්ලට ගනු ලබන ජනාධිපතිවරයා අද දිනම නව අගවිනිසුරුවරයා පත්කිරීමට නියමිතය. රජයේ විශ්වාස කටයුතු ආරංචිවලින් සනාථ වන්නේ මොහාන් පීරිස් මහතා ස්ථීර වශයෙන්ම අද නව අගවිනිසුරු ලෙස පත්වීම් ලබන බවය.
මොහාන් පීරිස් මහතා නීති ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයකු වන අතර රජයේ නීතිපතිවරයා ලෙසද සැලකිය යුතු කාලයක් රාජකාරි කර තිබේ. ඒ මහතා ශ්‍රී ලංකාවේ 44වන අගවිනිසුරුවරයා ලෙස ඉතිහාසයට එක්වේ. නව අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු සභාව වෙත ඊයේ (14) දන්වා යැවූ බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා දිනමිණට පැවසීය.
ජනාධිපතිවරයාගේ නිර්දේශය පිළිබඳව අද රැස්වෙන පාර්ලිමේන්තු සභාවේදී සාකච්ඡා කර නැවතත් ජනාධිපතිවරයා වෙත දන්වා යවන බව එම සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් අස්වර් මහතා ප්‍රකාශ කළේය.
සභාවේ නිර්දේශය මත පත්කෙරෙන අගවිනිසුරුවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව අගවිනිසුරුවරයකු පත්කිරිම සඳහා පාර්ලිමේන්තු සභාව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද (15) රැස් වෙයි.
නව අගවිනිසුරුවරයෙකු පත්කිරිමට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරිම මෙම සභාව මඟින් සිදුවන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අගවිනිසුරුවරයෙකු ඉවත් කිරිමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළග පියවර වන්නේ නව අගවිනිසුරුවරයකු පත්කිරිම බව පෙන්වා දුන් නියෝජ්‍ය කතානායකවරයා මෙහිදි නිර්දේශ කරන කරුණු සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව නව අගවිනිසුරුවරයකු පත්කරන බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු සභාව සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත වන අතර ඒ සඳහා කතානායක චමල් රාජපක්ෂ, අගමැති දි.මු ජයරත්න,විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එම්.එච්.එම් අස්වර්, විපක්ෂය නියෝජනය කරමින් ඩී. ස්වාමිනාදන් මහත්වරුන් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
මෙවැනි කොමිසම් පත්කිරිමක් හෝ එවැන්නක ක්‍රියාකාරිත්වයක් නොමැති බවට විපක්ෂය රජයට චෝදනා කරන බවද මේ සභාව අවස්ථා 15 කදී පමණ රැස්වුවද විපක්ෂයේ කිසිවකු ඒ සඳහා නොපැමිණීම හේතුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. එම් අස්වර් මහතා පැවසීය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදි තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ එතුමිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරිමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අස්සන් තැබිම නිසා, පුරප්පාඩු වන අගවිනිසුරු ධූරය සඳහා කෙනෙකු පත් කිරිමට මෙම පාර්ලිමේන්තු සභාව රැස්වේ.
සටහන : ධනුෂ්ක ගොඩකුඹුර, නුවන් කොඩිකාර සහ මහින්ද අලුත්ගෙදර