නව තොරතුරු මාධ්‍ය සහ “කියවීමේ වෙනස් වීම”
November 9, 2012
687 Views
නව තොරතුරු මාධ්‍ය සහ
“කියවීමේ වෙනස් වීම”
සිතීම කරදරයක් බවට පත් වන්නේ කුමන අවස්‌ථාවක දී ද, එවිට ම පාඨකයා වෙනත් සබැඳියක් මත “ක්‌ලික්” කරයි. ක්‌ලික් කිරීම සිතීමට වඩා පහසු ය. මේ නිසා අපි-බොහෝ දෑ, ටිකක් දත් – නොගැඹුරු කියවන්නන් බවට පත් ව සිටිමු.
පසුගිය දිනක පැරැණි රීඩර්ස් ඩයිජස්‌ට් සඟරා ගොන්නක් පෙරළමින් සිටින විට ඉහත දැක්‌වූ රූපය සහිත වෙළෙඳ දැන්වීම නොත ගැටිණි. එම පිටුව සඟරාවෙන් ගැලැවී තිබුණු නිසා, පළ වූ වසර හරිහැටි කිව නොහැකි ය. එහෙත් මා කියවමින් සිටි සඟරා පවුලට අනුව මෙය 60 හෝ 70 දශකය තුළ ප්‍රකාශයට පත් කළ වෙළෙඳ දැන්වීමක් විය යුතු ය. එනම්, රූපවාහිනිය සිය යුරෝපීය උපන් බිම්වලින් එපිට, දකුණු ආසියාව හා ඈත පෙරදිග දක්‌වා පැතිරුණු සමයයි.
සැකෙවින් ගත් විට එම දැන්වීමෙන් කියෑවෙන්නේ රූපවාහිනිය “දකිනවා” වුවත් පොතක් හෝ සඟරාවක් “බැලිය හැකි” බවයි. එනිසා මුද්‍රිත සඟරාව වඩා ප්‍රයෝජනවත් බව ආසියානු සඟරා ප්‍රකාශකයන් ගේ සංගමය පාඨකයාට “ඇඟිල්ලෙන් ඇණ” දන්වා සිටී. එහෙත් මෙහි යටි අර්ථය වන්නේ එකල රූපවාහිනි මාධ්‍යයේ ආගමනය පිළිබඳව සඟරා ප්‍රකාශකයන් බිය වූ බව ය. වෙළෙඳ දැන්වීම් පළ කරමින් පාඨකයන් රඳවා ගැනීමට තරම් එම බිය බලවත් විය. එහෙත් සඟරා පොත් පත්වලින් සහමුලින් ම පාඨකයා උදුරා දමන්නට තරම් එදා රූපවාහිනිය වත්, අද අන්තර්ජාලය (Internet) හා විශ්ව විසිරි වියමන (World Wide Web) වත් සමත් නො වූ බව, අපි අද මේ මොහොතේ දනිමු. කෙසේ වෙතත්, නව තොරතුරු මාධ්‍යවලින් පාඨක ජනතාව වෙත කෙරුණු දැනවීම බලවත් බව පිළිගත යුතු ය. මේ ලිපියේ අරමුණ, තොරතුරු සම්පත් රැගෙන අප මනසට ගොඩවදින නව මාධ්‍යයන් ගේ බලපෑම අප ගේ කියවීමට බලපා ඇති අකාරය පිළිබඳව විමසීමක යෙදීම ය.
ඉලෙක්‌ට්‍රොනික මාධ්‍යයන්හි පැතිරීමට හේතු වූ ප්‍රධාන කාරණය වූයේ ඒවායේ නිෂ්පාදන වියදම අවම වීම ය. පරිගණකය පෞද්ගලික වීමත් සමග, ලේඛනයක් නිර්මාණය කිරීම ඉතා පහසු කාර්යයක් බවට පත් විය. තනි පුද්ගලයා ලේඛකයා මෙන් ම ප්‍රකාශකයා බවට ද පහසුවෙන් පත් වීමේ හැකියාව අද තිබේ. එසේ ම, තම ප්‍රකාශන මාධ්‍යය ලෙස වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කරන්නට ප්‍රකාශකයෝ ද යොමු වෙති. එහි දී මුදල් වියදම් වන්නේ තොරතුරු ගබඩා කිරීම හා පරිගණක ජාලයේ අරක්‌ෂාව තහවුරු කිරීම වැනි කරුණු සඳහා ය. කඩදාසිවලට යන වියදමත්, සාම්ප්‍රදායික බෙදාහැරීමේ ක්‍රියාවලිය ආශ්‍රිත වියදමත් මෙහි දී ඉතිරි වේ.
නවීන තොරතුරු මාධ්‍ය තවත් දියුණු වන විට සිදු වූ අනෙක් වෙනස්‌කම නම්, ඒවා වඩාත් පහසුවෙන් අතේ ගෙන යා හැකි (Portable) වීම ය. ජංගම දුරකථනය එහි මුල් අරමුණ වූ දුරකථන කටයුත්තට අමතරව තොරතුරු උකහා ගන්නා මාධ්‍යයක් ලෙස ද පරිණාමය වී තිබේ. මීට අමතරව ටැබ් (tab) පරිගණක හා ඉලෙක්‌ට්‍රොනික පොත් කියවන (e-book readers) කියවීමේ තොරතුරු ලබා දීමේ මාධ්‍ය ලෙසට විශේෂණය වී ඇත.
වෙබ් අඩවි තොරතුරු මාධ්‍යයක් ලෙස දැක්‌වුව ද, පොත් වැනි කියවීමේ මාධ්‍යයක් ලෙස එය සෘජු ව හඳුන්වා දීමේ හැකියාවක් නැත. වෙබ් අඩවි තුළ තොරතුරු සොයන්නෝ දිගින් දිගට කියවනවාට (read) වඩා, උඩින් පල්ලෙන් කියවා අවශ්‍ය ම තොරතුරු උකහා ගැනීමට උනන්දු වෙති. මෙය ස්‌කෑන් කිරීම (Scan) හෝ දළ විශ්ලේෂණය (Overview) ලෙස හැඳින්වේ.
ඉහත ප්‍රකාශය ලෝක ව්‍යාප්ත ජාලයේ තොරතුරු හැකියාව කිසි සේත් ම අව තක්‌සේරු කිරීමක් නො වේ. එහි දැනටමත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඇත. ස්‌ව භාෂාවලින් ඇති තොරතුරු ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. විනෝදාස්‌වාදය, අධ්‍යාපනය හා පර්යේෂණ යන කුමන ක්‍ෂෙත්‍රයක් පිළිබඳව වුව ද ප්‍රාමාණික තොරතුරු මුදල් ගෙවා මෙන් ම නො ගෙවා ද (open access) ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙවැනි තොරතුරු පරිහරණයේ දී අප ඉබේ ම පුරුදු වී ඇති හැසිරීම් රැසකි. ඇතැම් ඒවා සවිඥානික ය. එහෙත් තවත් හැසිරීම් අප සිතා මතා කරන දේ නො වේ.
තොරතුරු සුනාමිය සහ අපේ ප්‍රතිචාරය
තොරතුරු සුනාමිය පිළිබඳව පසුගිය සතියක විදුසර පුවත් පතේ පළ විය. එය අප අවට තොරතුරු පරිසරය පිළිබඳව දැක්‌විය හැකි හොඳ ම විස්‌තරයයි. එසේ ම එවැනි තොරතුරු පරිසරයක ජීවත් වන පාඨකයා මුහුණ දෙන තත්ත්වය, ඉලෙක්‌ට්‍රොනික යුගයේ කියවීමේ පිළිබඳව අදහස් දක්‌වන ස්‌වෙන් බර්කර්ට්‌ස් මනාව පැහැදිලි කර ඇත. ඒ අනුව වර්තමානයේ “කියවීම” යනු ගිනි නිවීමේ බටයකින් වතුර බොනවා හා සමාන වූ ක්‍රියාවලියකි. නැත හොත් ලුණු කැටයක් ඉල්ලූ විට ලුණු වතුර බාල්දියක් ලැබේ. නිවැරැදි තොරතුරු උකහා ගැනීමට වෙන කවරදාටත් වඩා “අවධානය” අවශ්‍ය වන්නේ එහෙයිනි. අවධානයෙන් හා “තොරතුරු හැකියාවන් ගෙන්”(information skills) හෙබි පාඨකයා, කිසියම් විෂය ක්‍ෂෙත්‍රයක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇත්තෙක් වන්නේ ය. තොරතුරු හැකියාවන් ලෙස හැඳින්වෙන්නේ තොරතුරු සොයා යැම, පෙරා ගැනීම, ඇගැයීම, සහ යොදා ගැනීම කෙරෙහි දක්‌වන නිපුණත්වය ය.
අන්තර්ජාලයේ අසම්පූර්ණ සහ අසංවිධිත බව
නව තොරතුරු මාධ්‍යවලින් බහුල ව ඉදිරිපත් කෙරෙන්නේ නව දැනුම ය. පැරැණි දැනුම තවමත් බොහෝ දුරට ඇත්තේ මුද්‍රිත හෝ මුද්‍රිත නො වන මුලාශ්‍රවල ය. එසේ ම එම දැනුම බොහෝ විට පවතින්නේ සෙවුම් යන්ත්‍රවලට හසු වන පරිදි පෙළ (text) වශයෙන් නො වේ. රූප (images) හෝ හඬ (audio) වශයෙන් විය හැකි ය. එසේ ම, පෙළ වශයෙන් පැවතුණ ද, සෙවුම් යන්ත්‍ර මගින් අනුක්‍රමණිකාගත කර ඇත්තේ (indexed) ඉලෙක්‌ට්‍රොනික දැනුම් ගබඩාවෙන් සුළු ප්‍රමාණයක් පමණි. ඉතිරි කොටස නො පෙනෙන ජාලය (invisible web) ලෙස හැඳින්වේ. මෙහෙයින් දැන් අපට අන්තර්ජාලය ඇතැයි ද, මුද්‍රිත හෝ වෙනත් තොරතුරු සම්පතක් අවශ්‍ය නැතැයි ද කීම මුළා වීමකි. අනෙක් අතට සාමාන්‍ය ගූගල් සෙවුමකින් (Googling) මුලින් ම ලැබෙන ප්‍රතිඵල අතර මුලින් ම ඇත්තේ, විකිපීඩියා (Wikipedia) වැනි සමාජ-විශ්වකෝෂ දැනුම ය. එම දැනුම ප්‍රජාව විසින් නිර්මාණය කරන ලද නිසා, නිවැරැදි (accurate) හෝ අධිකාරීලත් (authoritative) බවට තහවු කළ නොහැකි ය. එනිසා ඉහත දැක්‌වූ තොරතුරු හැකියාවන් හොඳින් පුහුණු කර නැති නම්, වැරැදි තොරතුරු සත්‍ය බවට සිතා භාවිතයට ගැනීමට ඉඩ තිබේ.
තෝරාගෙන කියවීම
කෙසේ නමුත්, මෙවැනි හැසිරීම් ධනාත්මක හෝ සෘණාත්මක වර්ධනයක් ලෙස පෙන්නුම් කිරීමට අප ඉක්‌මන් නො වන්නේ හේතු ඇති ව ය. එනම්, ඉක්‌මන් කියවීමකට පසු අත්‍යවශ්‍ය ලිපි පමණක් කියවීමට තෝරා බේරාගෙන කියවීම සාධාරණීකරණය කළ හැකි බැවිනි.
ස්‌වෙන් බර්කර්ට්‌ස් මෙය වඩාත් සිත් ගන්නාසුලු ආකාරයෙන් ඉදිරිපත් කරයි. “අපේ සංස්‌කෘතිය තුළ ප්‍රවේශය (access) ගැටලුවක් නො වේ. එහෙත් ප්‍රගුණනය ගැටලුවකි. එසේ ම මුල් කාලයට වඩා කියවීමේ කාර්යය ද වෙනසකට ලක් වී ඇත. ලේඛනවල සුලඛතාවෙන් ප්‍රමුදිත ව එසේ ම භීතියට පත් ව, එකිනෙක අතර පවතින වෙනෙස හඳුනා ගැනීමට ද අසමත් වන පාඨකයා, මූලාශ්‍ර මතුපිටින් අත ගා බැලීමට පෙලඹෙයි. උඩින් කියවයි. කඩිනම කෙතෙක් ද යත් වදන්වල අරුත් චිත්ත සන්තානයේ නින්නාද වන්නට ද ඉස්‌පාසුවක් නැත.” එහි ප්‍රතිඵලය ලෙස, අපි අපේ මුල් පරම්පරාවන්ට වඩා බොහෝ වැදගත් මෙන් ම නොවැගත් තොරතුරු මාත්‍ර රාසියක් දනිමු.
පනිමින් කියවීම
විශ්ව විසිරි වියමන තුළ කියවීම තව දුරටත් රේ‚ය අභ්‍යාසයක් නො වේ. එහි බිහි වීමත් සමග, ලේඛන අතර සැණෙකින් පැනීමේ හැකියාව ඇති විය. එය හැඳින්වූයේ අධි පෙළ (hypertext) නමිනි. අධි පෙළ මත ක්‌ලික් කිරීමෙන් වහා ම වෙනත් ලේඛනයක් කරා ඔබ සංක්‍රමණය වෙයි. මෙය දැනුම රැස් කිරීමේ කලාවේ විප්ලවයක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මෙය රේ‚ය කියවීම තරම් සුමට දෙයක් නො වේ. තැනින් තැනට පැන ගිය ආකාරය අමතක වී මංමුලා විය හැකි බැවිනි. මුද්‍රිත පිටුව ස්‌ථායී ය. එහි දී පාඨකයා ගමන් කළ යුතු ආකාරය තීරණය කිරීමේ භාරදූර වගකීම කරට ගන්නේ කතුවරයා ය. ඉලෙක්‌ට්‍රොනික ලේඛනයක කතුවරයා මේ වගකීමෙන් තරමක් මිදෙයි. එහෙත් වෙබ් අඩවියේ තොරතුරු සැලසුම් ශිල්පියා (information architect) මත වැඩි බරක් පැටවී ඇත. පාඨකයා පැන නො යන ලෙස රඳවා ගැනීමේ වගකීම ඔහු හෝ ඇය අත පවතී. ෆ්ලොරිඩා ජාත්‍යන්තර සරසවියේ එම්. ඕ. තිරුනාරායනන් මේ ස්‌වභාවය විස්‌තර කරන්නේ සිතීම සම්බන්ධ කරගනිමිනි. ඔහු පවසන ලෙස පාඨකයා සිතීම වෙනුවට ක්‌ලික් කිරීම ආදේශ කරගෙන ඇත. සිතීම කරදයක් බවට පත් වන්නේ කුමන අවස්‌ථාවක දී ද, එවිට ම පාඨකයා වෙනත් සබැඳියක් (link) මත ක්‌ලික් කරයි. ක්‌ලික් කිරීම සිතීම තරම් අපහසු නැත.
අවධානය
ඇත්තෙන් ම ඩිජිටල් පාඨකයෝ මුද්‍රිත පාඨකයන්ට වඩා වැඩි කියෑවුම්කරුවෝ වෙති. ඔවුහු දිනකට ඊමේල් පණිවිඩ රැසක් කියවති. අන්තර්ජාලයේ අනේකවිධ වෙබ් අඩවි අතර සැරිසරති. තම බ්ලොග් අඩවියේ සටහන් තබනි-අන් සටහන් කියවති. වෙනෙකක් තබා තැනින් තැනට යන අතරත් දුරකථන කෙටි පණිවිඩ යවති-කියවති. මේ බහු කිච්ඡතාව නිසා වන අහිතකර ප්‍රතිඵලය නම්, එක් දෙයක් ගැන වැඩි වේලාවක් අවධානය රඳවා ගැනීම අපහසු වීම ය. උදාහරණ ලෙස, ඉලෙක්‌ට්‍රොනික පොතක පිටුවක් කියවන අතරතුර ඊමේල් පණිවිඩයක් බැලීමට, චැට් කිරීමට, ෆේස් බුක් මිතුරකට පිළිතුරු දීමට, අද පත්තරය කියවීමට මෙන් ම ක්‍රිකට් තරගයේ ලකුණු බැලීමට ද සිත් විය හැකි ය. අපහසුවක් නැත – සියල්ල ම ඇත්තේ එක ම මුහුණතක කවුළු (Windows) කිහිපයක් මත හෙයිනි. එය සමාන කළ හැක්‌කේ එක වර පොත් කිහිපයක් එක යට තබා ගෙන සිටීමට ය. වරින් වර ඉන් එකින් එක ඉදිරියට ගෙන කියවීමට ය. එක් වර බහු කාර්ය කිරීමේ ස්‌වභාවය නිසා එක දිගට කිසියම් කාර්යයකට අවධානය යොමු කර එය නිම කරනවාට වඩා සියයට පනහකින් කාලය දිගු වන බව මිචිගන් සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය ඩේවිඩ් මෙයර් පවසයි.
කියවන වාර ගණන
මෙයට දශක දෙක-තුනකට පෙර, කියවීමට අප අත තිබූ සම්පත් ප්‍රමාණය ඉතා සීමිත විය. එහෙයින් ම, වරක් කියවූ දෑ නැවත නැවත කියවීමෙන් එහි රසය නැවත විඳීමටත්, දැනුම තහවුරු කර ගැනීමටවත් අපට අවකාශය ලැබිණි. එහෙත් දැන් අපට සිදු වී තිබෙන්නේ, එදා වේල සරි කර ගැනීමට ය. එදිනෙදා අවශ්‍යතා සඳහා අවම ප්‍රමාණයෙන් කියවා අපි සෑහීමකට පත් වෙමු. මුද්‍රිත පොත් පත් ගොඩ ගසා ගැනීමට ඇති කැමැත්ත අප බොහෝ දෙනකු තුළ තවමත් පැවතියත් (කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ දී එය නැවත නැවතත් තහවුරු වෙයි) එයින් කීයක් නැවත කියවනවා දැයි තනි ව සිතා බලන්න.
කියවීම සඳහා මුද්‍රණය කිරීම
ඉලෙක්‌ට්‍රොනික ලේඛන කියවීමට වඩා ඒවා මුද්‍රණය කර කියවීම බොහෝ විට පාඨකයන් අතින් සිදු වේ. මෙය පමා වී පරිගණකයට හැඩ ගැසුණු පරපුර අතින් සිදු වන්නක් ද, එසේ නැති නම් පරිගණක සමග ඉපැදී වැඩුණු තරුණ හා ළමා පරපුර පවා අනුගත වූ පුරුද්දක් ද යන්න හරිහැටි පැහැදිලි නැත. එහෙත්, ලේඛනයක් වැඩි දුර අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වන බොහෝ දෙනෙක්-කඩදාසි අපතේ යෑවීමෙන් පරිසරයට වන හානිය පවා අමතක කරමින් එය මුද්‍රණය කරගෙන කියවති. ඇතැම් විට මීට හේතුව වන්නේ කඩදාසිය මත ඇති ස්‌ථාවර ස්‌වභාවය විය හැකි බවට ද මත පළ වී තිබේ.
මුල කියවා ඉවත දැමීම
කඩදාසි පොතක-පත්තරයක පිටු පෙරළන්නේ තිරස් අතට ය. පරිගණකය මෙය අනුකරණයට කෙතරම් උත්සාහ කළත්, විවිධ සීමාවන් බොහෝ ය. එනිසා පිටු චලනය සාමාන්‍යයෙන් සිදු වන්නේ ඉහළ සිට පහළට ය. මේ සඳහා පරිගණක තිරයේ පැත්තක ඇති කාණුවක් දිගේ බොත්තමක් ඉහළ-පහළ ගෙන යැමේ ක්‍රමයක් අනුගමනය වෙයි. අතීත ඊජිප්තුවේ පැසිරස් පත්‍රවල සටහන් කෙරුණු සංදේශ (Scroll) කියවූයේ ද ඉහළ සිට පහළට ය. එනිසා එය හඳුන්වන්නේ Scrolling (අනු චලනය) නමිනි. එහෙත් අවාසනාවක මහතෘ වෙබ් අඩවි භාවිත කරන්නන් ගෙන් සියයට 90ක් කියවන්නේ මුලින් ම දිස් වන තිරය පමණක් බව මාධ්‍ය පිළිබඳ විශේෂඥයකු වන ජැක් පවර්ස් පවසයි. අනුචලනය යනු අවශිෂ්ට තාක්‌ෂණයකි. එය පොතක මුල් පිටුව කියවා පසෙක තබන්නාක් වැනි හැසිරීමකි. එහෙත් පොතක පත්තරයක නම්, පිටු කිහිපයක් වත් උඩින් පල්ලෙන් කියවීමට වත් (Scan of overview) අපි උත්සාහ කරමු.
ටීකා, විවරණ, විස්‌තර ලිවීම
අධ්‍යයනයක හෝ ගැඹුරු කියවීමක යෙදෙන්නෝ කියවන ලේඛනය මතු පිට ම වදන්, වැකි හෝ වාක්‍යංශ ඉස්‌මතු කිරීමට (highlight) හා සටහන් තැබීමට (annotate) කැමැති ය. පුස්‌තකාල පොත් පත්වල පවා ඡායාපිටපත් තබා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය. මේ සඳහා නම්, ඉලෙක්‌ට්‍රොනික ලේඛන ලබා දෙන්නේ අනගි සහයකි. පාට පෑන්, ඡායා පිටපත් කිසිවක් නැති ව ද මෙවැනි සටහන් තබා ගැනීමට PDF වැනි ආකෘති ඉඩ පහසුකම් සලසයි. එහෙත් මේ සඳහා විශේෂිත මෘදුකාංග අවශ්‍ය ය. එය පෑනකින් ඉරක් අඳින්නාක් මෙන් පහසු ක්‍රියාවක් ද නො වේ. මේ නිසා මුද්‍රිත ලේඛන මත සාමාන්‍යයෙන් සටහන් තබන පාඨකයන් ද, පරිගණකය මතුපිට දී බහුල ව එසේ නො කරන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. තව ද මුද්‍රිත පිටපතක දී තමන් රිසි සේ අත හසුරුවමින් රිසි බවකින් සටහන් තැබිය හැකි ය. එහෙත් ප්‍රතිවිරුද්ධ මාධ්‍යයේ දී ක්‌ලික් කරන තරම් එය පහසු ක්‍රියාවක් නො වේ. මුද්‍රිත මතුපිටක දී සටහන් තැබීම කියවීමට උදව්වක් වුවත් ඉලෙක්‌ට්‍රොනික මතුපිටක දී එය මගින් අවධානය වෙනතක ගෙන යා හැකි ය. එනිසා බහුලව දකින පරිගණක තිරය, යතුරු පුවරුව හා මවුසය යන සංයෝජනය තුළ, ලේඛනවලට අමතර සටහනක් තැබීම එතරම් සාර්ථක ක්‍රමයක් නො වන බව පැවසිය යුතු ය. එහෙත් ස්‌පර්ශ සංවේදී (touch senstive) තිර සහිත නවීන ටැබ් පරිගණක තුළ මිනිසා ගේ කියවීම කෙසේ වනු ඇති දැයි දැන ගැනීම නුදුරු අනාගතයට පවරමු.
ඉහත දැක්‌වූයේ ඉලෙක්‌ට්‍රොනික ලේඛනයේ ආගමනය සමග අප ගේ කියවන හැසිරීම් තුළ දක්‌නට ලැබුණු වෙනස්‌කම් කිහිපයක් පමණි. පෞද්ගලික රුචි අරුචිකම් අනුව මේ දැක්‌වූ කරුණු පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බව ද අපි දනිමු. එහෙත්, ඉලෙක්‌ට්‍රොනික තිරය මත දී අප ගේ අවධානය පහසුවෙන් ගිලිහිය හැකි බව නම්, සක්‌සුදක් සේ පැහැදිලි ය. එහෙයින් එවැනි උගුල්වලින් බේරී වඩාත් හොඳ කියවුම්කරුවන් වන බවට අපි අපට ම සපථ කර ගනිමු. ඒ අතර ම, මුද්‍රිත කඩදාසිය හා සැකසුණු තල් පත නිර්ලෝභීව අපට ලබා දෙන දැනුම් සම්භාරය වඩාත් ළං කර ගැනීමට ද සිත්හි සනිටුහන් කර ගනිමු. එයින් අප වඩාත් ගැඹුරු යාවජීව ඉගෙනුම්කරුවන් බවට පත් වනු ඇත.
* පසු සටහන
විදුසරට විසි පහයි. සියවස් කාලකට ආසන්න අතීතයට අප සිත දිව යනවා. අපට තොරතුරු ලැබෙන ප්‍රධානතම මාර්ගය වූයේ විදෙස් සඟරාවන්. ඩිස්‌කවරි, නිව් සයන්ටිස්‌ට් සඟරා සමග අපි මිතුරු වුණා. එසේ ම බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්‌තකාලයෙන් විටින් විට ගත් ලැන්සට් වැනි ප්‍රකාශන ද අප අතර ගැවසුණා. උදෑසන තැපෑලෙන් ආ සඟරාවෙන් සවස් වන විට ලිපියක් ලියා දෙන්නැ යි කතුතුමන් ගේ ඇණවීම විරල සිදු වීමක් වුණේ නෑ. ඉතින් කියවාපන්-හිතට දහිරිය අරන්- ඉංගිරිසි පිටු අතර-හුස්‌මක් කටක් නො ගෙන-ශබ්ද කෝෂය ද පසෙකින් තබාගෙන දීර්ඝ කියවීමක යෙදුණු ඒ අවස්‌ථා-මේ හැම ප්‍රකාශනයක් ම මුද්‍රිත ප්‍රකාශන-ගුවන්විදුලිය හෝ රූපවාහිනිය හැරෙන්නට ඉලෙක්‌ට්‍රොනික ලේඛනයක රස බලන්නට එකල අපට සම්පත් තිබුණේ නැහැ. කාටත් නැහැ. එතකොට අන්තර්ජාලය හිටියේ ළදරු වයසේ. විශ්ව විසිරි වියමනේ හෙවත් වෙබ් එකේ (web) වයස කියවෙන්නේ සෘණ අගයකින්.
featured Latest slider 2012-11-09