Saturday , 7 September 2024

නළුවකුවෙන්න ඕනෑකමට මම කොළඹ ඇවිත් මුට්ට කරගැහුවා

පුංචි තිරය සේම රිදී තිරය තුළිනුත් සුන්දර පෙම්වතා ලෙස කිසිදින අපට ඔහු හමුවී නැහැ. රුදුරු එල්.ටී.ටී.ඊ. සෙබළකු ලෙස විටක තිරය මතට එන ඔහු තවත් විටක පාතාල ලෝකය නියෝජනය කරන මැරයෙක්. සම්මත සුන්දර නළු ප්‍රතිරූපයට වඩා හැඩිදැඩි පෞරුෂයත් රංගන හැකියාවත් උනන්දුව හා කැපවීමත් තුළින් ක්‍ෂේත්‍රය තුළ පැමිණි ඔහු ඉදිරියේදී ප්‍රේමවන්තයා විදියටත් ඔබ හමුවට ඒවි. ඔහු දර්ශන් ධර්මරාජ්. මේ සතියේ අපි දර්ශන්ව ‘රිද්ම’ කතාබහට එකතු කරගන්නවා.

හා හා පුරා ‘රිද්ම’ කතාබහකට එකතු වන මොහොතේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාබහ කරලම මේ කතාබහ ආරම්භ කරමු…

මගෙ ගම රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන. ඉගෙනගත්තේ ශාන්ත ජෝන් දෙමළ මහ විදුහ‍ලේ. මට මල්ලි කෙනෙකුයි නංගියෙකුයි ඉන්නවා. අපේ ගම සිංහල දෙමළ දෙපිරිසම හරිම සහයෝගයෙන් ජීවත්වුණ බොහොම සුන්දර ගමක්.

නළුකමට යොමුවුණේ කොහොමද…?

මම ඉස්කෝ‍ලේ යන කා‍ලේ ‘වාලිවඩෙප් පඩලම්’ කියන නාට්‍යයේ රඟපෑවා. ඒක නරඹපු විදුහල්පතිතුමා පැවැසුවා මේ ළමයා කවදහරි අපේ ඉස්කෝ‍ලේ නම ගෙනියන නළුවෙක් වේවි කියලා. ඒ කතාව තමයි නළුකම ගැන ආශාවක් හිතේ ඇති කළේ. ඒ ඔස්සේ තමයි මම මේ ගමන ආවේ.

ඒක දුෂ්කර ගමනක්

ඇත්තෙන්ම ඔව්. මම සාමාන්‍ය පෙළ කරලා කොළඹ ඇවිත් රෙදි සාප්පුවක වැඩ කළා. ඒ අරමුණු 2ක් ඇතුව. එකක් පවු‍ලේ වැඩිමලා විදියට ගෙදර ආර්ථිකයට යම් දායකත්වයක් සැපයීම. අනෙක් ප්‍රධාන අරමුණ තමයි නළුකමට එකතු වීම. 1999දී ‘ඒ නයින්’ ටෙලි නාට්‍යය හරහා ඒ අරමුණ ඉටුවුණා. සිඩ්නි චන්ද්‍රසේකර මහතා තමයි ඒ අවස්ථාව ලබල දුන්නේ.

ඊට පස්සේ කලා ලෝකයේ දොරටු විවර වුණා…?

ඔව්, ඒත් රඟපාන්න යන හින්දා මාව රැකියාවෙන් ඉවත් කළා. හැබැයි මම ලැබුණු හැමදේම අතැරලා ගමට ගියේ නැහැ. මාර්කට් එකේ මුට්ට කර ගැහුවා. මාළු මාර්කට් එකේ මාළු කැපුවා. රෑට මොනව හරි කාලා පදික වේදිකාවේ නිදාගත්තා. ඔය අතරේ මට හඳගම මහතාගේ ‘මේ පාරෙන් එන්න’ චිත්‍රපටයට අවස්ථාව උදාවුණා. ඊටපස්සේ දිගින් දිගටම අවස්ථාව ලැබුණා. කොහොම හරි ක්‍ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න පුළුවන් වුණා.

දැන් ඔබ කාර්යබහුල නළුවකු වෙලා…?

මේ දිනවල මම රඟපෑ ‘බෝම්බ සහ රෝස’ චිත්‍රපටය තිරගත වනවා. ඒ වගේම ‘හිරු ටීවී’ ඔස්සේ සතියේ දින පහේම රෑ 9ට විකාශය වන ‘සුදුයි උසයි‘ ටෙලි නාට්‍යයේ රඟපානවා. මීට අමතරව ‘සේලා’ ටෙලි නාට්‍යය හා ස්පන්දන චිත්‍රපටයේ රඟපානවා. ඉදිරියේදි ඒවා ප්‍රේක්ෂකයන් අතරට එයි.

හැමදාම රඟපාන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ චරිතයිදුෂ්ට චරිතයි විතරද…?

මම මේ වනවිට චිත්‍රපට 16ක රඟපාලා තියෙනවා. එයින් 9ක්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ චරිත. ටෙලි නාට්‍යය 18ක් රඟපෑවා. එයින් 12ක්ම එල්.ටී.ටී.ඊ. චරිත. පසුගිය කාලයේ යුද්ධය ඇසුරු කරගෙන කළ චිත්‍රපටවල මාව යොදාගත්තේ එල්.ටී.ටී.ඊ. චරිතවලටමයි. අනෙක් නිර්මාණවලත් පාතාල ලෝකේ චරිත දුෂ්ට චරිත තමයි. එතැනින් වෙනස් වෙන්න ලැබුණේ ‘සේලා’ තුළින්.

සේලා ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැන විග්‍රහ කළොත්…

රාවනා වන්දනා කරන කැලෑවේ නතර වී සිටින භාවනානුයෝගී කණ්ඩායමක් හා රාවනා ඉතිහාසය ගවේෂණය කරමින් කැලෑ වදින විශ්වවිද්‍යාල සිසු පිරිසක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. මේ අතර ප්‍රේම කතාවකුත් තියෙනවා. ඒකේ මම හා හා පුරා පෙම්වතකුගේ චරිතයක් රඟපානවා. මගේ පෙම්වතිය විදියට රඟපාන්නේ මේනකා පීරිස්.

දුෂ්කරතා මැද නළුවකු වුණාට අද ඒ ගමන ජාත්‍යන්තරයටත් දොරටු විවරවෙලා නේද…?

‘පනෙයි පරක්කඩන්’ කියන ලංකාවේ හදපු ද්‍රවිඩ චිත්‍රපටයේ රඟපෑවා. ඉන්පසුව දකුණු ඉන්දියාවේ ‘මන්’ චිත්‍රපටයේ රඟපෑවා. තවත් ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙන්නේ. ඒක ටිකක් දැවැන්ත නිර්මාණයක්. ඉදිරියේදී වැඩි විස්තර කියන්නම්.

දර්ශන් විවාහකයෙක්…?

ඔව්… මගෙ බිරිඳ සුභාෂිනි, ඇය ගුරුවරියක්. මට අවුරුදු 2 1/2ක පුංචි දුවෙක් ඉන්නවා. එයාගෙ නම අභී ධර්මරාජ්.

කලා ජීවිතේ අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති…

‘සිහින වසන්තයක්’ ටෙලි නාට්‍යය විකාශය වන කා‍ලේ මම දවසක් රෝහලට ගියා. එතැනදී හමුවුණු වයසක ආච්චි කෙනෙක් එකපාරටම මගෙ ළඟට ඇවිත් අත දිගහැරලා කම්මුල් පාරක් ගහලා බැණගෙන බැණගෙන ගියා. ඒ ආච්චි එහෙම කරල තියෙන්නේ මම රඟපෑ චරිතයට. තවත් දවසක අනුරාධපුරේ ගියපු වෙලාවක බයික් එකක් පැදගෙන ආපු අවුරුදු 26ක විතර ගැහැනු ළමයෙක් මට කතා කළා. එයා කියනවා මාව මතක් වෙන්න ෂර්ට් එකෙන් බොත්තමක් දෙන්න කියලා. මම මගෙ කමිසෙන් බොත්තමක් කඩල දුන්නා. මේ හැමදෙනාගේම ප්‍රතිචාරයන් මගේ හිතට ඇතිකරන්නේ ලොකු සතුටක්. මේ පැමිණි ගමනේ මට අතහිත දුන් සිඩ්නි චන්ද්‍රසේකර, අශෝක හඳගම, අනුරුද්ධ ජයසිංහ, බූඩි, ප්‍රසන්න විතානගේ, සුනෙත් මාලිංග ඇතුළු සියලු දෙනාට මම මේ මොහොතේ ස්තූතිවන්ත වනවා.

අංක : 11, ආනන්ද රාජකරුණා මාවත,මරදාන, කොළඹ 10. (077 9734124)

News: lakbima.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...