සෑම සම්මාන උළෙලකින්ම හොඳම නළු නිළියන් බිහි වේ. ජනප්‍රිය නළු නිළියන්ද බිහි වේ. එහෙත් දක්ෂකමත් ජනප්‍රියත්වයත් එකම පුද්ගලයෙක්ට හිමිවන්නේ බොහොම කලාතුරකිනි. ධනංජය සිරිවර්ධන 2004 වසරේ හොඳම නළුවාය. මෙවර ජනප්‍රියම නළුවාය. කමල් අද්දරආරච්චිගෙන් පසු වර්තමාන පරපුරේ ධනංජය සිරිවර්ධන පසුගියදා සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා වන තෙක් මේ වාර්තාව බිඳ හෙළීමට කිසිවෙක් සමත් වූයේද නැත. ඒ සම්මානයේ උණුසුම මැකෙන්නට කළින් ආඩම්බරකාර නළුවාට ඉඩක් දෙන්නට අප ගත් තීරණයට ඔබද එකඟවනවා නොඅනුමානය.
- ආඩම්බරද?
අනේ නෑ…. නිහතමානී සතුටක් තියෙන්නේ……
- වෘත්තීය වශයෙන් ආඩම්බරකාරයෙක් කියන්නේ ඇත්තද?
මට මගේ වෘත්තිය ගැන ආඩම්බරයක් තියෙනවා. ඒත් මගේ රැකියාව අනිත් අයට ආඩම්බර පෙන්නන්න නම් පාවිච්චි කරන්නේ නෑ….
- කූපන් කීයක් යැව්වාද?
ඒ…. මොකටද?
- ජනප්‍රිය නළුවා වෙන්න….?
විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න එක කූපන් එකක්වත් මම යවලා නැහැ.
- ඔබ නොයැව්වට ඔබේ අනුදැනුම මත අනිත් අය යවන්න ඇතිනේ?
මගේ රසික රසිකාවියෝ යැව්වා. ඒ නිසානේ මම ජනප්‍රිය නළුවා වුණේ. හැබැයි මම කාටවත් අඩුම තරමේ මගේ ගෙදර අයටවත් කිව්වෙ නෑ කූපන් යවන්න කියලා. මගේ හොඳම රසිකාවිය අම්මා. තරගය ආරම්භයේදී යවන්න කියලා පත්තරෙන් කපා ගත්ත කූපන් එක සම්මාන උළෙල නිමා වුණාටත් පස්සේ නිරුපද්‍රිතව ඇය ළඟම තියෙනවා මම දැක්කා.
- මෙගා නාට්‍යවලට පිං සිද්ධ වෙන්න නේද ජනප්‍රිය නළුවා වුණේ….?
මෙගා නාට්‍යවලට සම්බන්ධ වුණා තමයි…. ඒත් මේ සම්මානය මෙගාවල ප්‍රතිඵලයක් විතරක්ම නෙමෙයි. මේ කාලේ මම රංගනයෙන් දායක වුණු නාට්‍ය කිහිපයක්ම නාළිකා කිහිපයකම විකාශය වුණා. ඒ හැම චරිතයක්ම එකින් එකට වෙනස්. ප්‍රේක්ෂකයන් කැමැති වෙන්න ඇත්තේ ඒ විවිධත්වයට. එහෙම නැතුව එක නාට්‍යයක එක චරිතෙකට විතරක් මේ ගෞරවය හිමිවෙන්නේ නැහැ.
- ඔබ වරක් හොඳම නළුවාත් වුණා. හොඳම නළුවෝ මෙගා නාට්‍යවල රඟපාන එක මදිකමක් නෙවෙයිද?
කිසිම මොහොතක මම අවර ගණයේ මෙගා නාට්‍යවලට සම්බන්ධ වුණේ නෑ. ඒ වගේම මෙගාවලට විතරක් සීමා වෙලත් නෑ. අනිත් එක දැන් මෙගාවලත් විවිධ ප්රමිතීන් තියනවානේ. රාජ්‍ය නාළිකාවල මෙගා කියන්නේ කොටස් 100යි. කොහොමටත් මෙගාවලින් ටිකක් අෑත් වෙන්නත් මම හිතුවා.
- මෙගාවලින් අෑත් වෙන්න හිතුවේ ඇයි?
කාලයත් එක්ක පොඩි ගැටලුවක් තියනවානේ. පසුගිය කාලේ මම පුදුමාකර විදියට කාර්යබහුල වුණා. අලුත් අවුරුද්දේ නම් ඒ තරම් හිරවීමක් නැහැ. මේ කාලේ සිනමා දායකත්වය ගැන හිතන්න හොඳම කාලය කියලා හිතෙනවා.
- සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලද තියෙන්නේ….?
මගේ මුල්ම සිනමා දායකත්වය කේ. විජේරත්නගේ “කුමරි කන්‍යාවී….” තාමත් රූගත කිරීම් අවසාන වී නැහැ.
- මේ දවස්වල මොකද කරන්නේ….?
ෂර්ලි පී. දෙලංකාවලගේ “පෝටා වැටිය” නාට්‍යයේ රූගත කිරීම් කරනවා. කල්තොට ප්‍රදේශයේ තමයි රූගත කිරීම් තියෙන්නේ. පරිසරය, සමාජය පාදක කරගත් ලස්සන කලාත්මක නිර්මාණයක්.
- වෘත්තීය ජීවිතෙන් ඔබ සාර්ථක වුවත්, පෞද්ගලික ජීවිතේ හිස්තැන් ගොඩාක් තියෙනවා නේද? තාම ඒ හිස්තැන් පුරවා ගන්න සූදානමක් නැද්ද?
ඇත්ත ප්‍රේමය ගැන මම දුටු හීන බොඳ වෙලා යන කාලයක් මේක. ඒ අහිමිවීම් අතර තමයි ජනතාව මට එයාලගේ ආදරයත් එක්ක වටිනා සම්මානයක් හිමිකරලා දුන්නේ. වෘත්තීය ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත් සාර්ථක කරගන්න මම කැමැතියි. තාමත් මම මගේ ජීවිතේ ඕඥබඥප ඩචතට එක හොයනවා… එය ලැබුණු දවසට මමත් සම්පූර්ණ තරුණයෙක්.
- ඔහොම කිව්වට ඔබේ වාසගම තියන රූ රැජිනක් සමඟ ආලවන්තකමක් ඇතිවෙලා කියලයි අපිට නම් ආරංචි…..?
කවුද කියන්නේ…. ඔය කියෙන්නේ මගේ වාසගම තියන කෙනෙක් නම් ඇය මට මගේ නැඟණියක් වගේ. අපේ පවුලේ නංගිලා නෑ. ඇයට මම මගේම නංගියෙකුට වගේ ආදරෙයි. ඊට එහා බැඳීමක් නෑ.
- එහෙම කියලා ලේසියෙන් ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑනේ….?
නැති දෙයක් තියෙනවා කියන්නත් බෑ නේ.
- ඒ කියන්නේ ධනංජය තාම පෙම්වතෙක් නෙමෙයි කියලද?
හැංගි හොරා නැතුව ප්‍රසිද්ධියේ මමත් පෙම්වතෙක් කියන්න කැමැතියි. ඒත් තාම ඒකට සුදුසු කාලය ඇවිත් නැහැ.
- ඔබ රංගන ශිල්පියෙක්. නිළියක් හෝ නිරූපිකාවක් ඔබේ අනාගත සහකාරිය වුණොත්….?
ආදරේට, ජීවිතේ බෙදා හදාගන්න රැකියාව වැදගත් නෑනේ.
- ඒත් බොහෝ යුවතියන් නළුවෙක් පෙම්වතා කරගන්න බයයි නේද?
ඒකට හේතු තියෙනවා. අපි රූපවාහිනී තිරයේ අනන්තවත් නිළියන්ට ආදරය කරනවා. නළුවෙක් විදියට අපි සාර්ථක වෙන්නේ කරන දේ සැබෑවක් විදියට ප්‍රේක්ෂකයාට දැනවීමෙන්. ඒත් තිරයෙන් පිටතදී අපිට ඒ නිළියන් යෙහෙළියන් විතරයි. සමහර අය සමඟ ඒ තරම්වත් හිතවත්කමක් නෑ….. ඒත් බොහෝ දෙනෙක් අපි නිරූපණය කරන චරිතවලින් අපේ සැබෑ ජීවිතේ තක්සේරු කරනවා. නළුවෙක් සමඟ ප්‍රේමයක් ඇති කරගන්න කොයිතරම් කැමැත්ත තිබුණත් බය හිතෙන්නේ ඒ නිසා. ඒ වගේ දේවල්වලින් අපිට සිද්ධ වෙන්නේ අසාධාරණයක්.
- ඔබටත් ඒ වගේ අවස්ථාවන් උදාවෙලා ඇති……?
නැත්තෙමත් නෑ ඉතින්.
- පසුතැවීමෙන්ද කතා කරන්නේ…..?
පසුතැවීමක් නැත්තෙමත් නැහැ. වෘත්තියෙන් කොයි තරම් සාර්ථක වුණත් මේ වගේ ආකල්ප සමාජයේ තියෙනවා දැනෙන කොට පසුතැවෙන එක සාධාරණයිනේ.
උපුටා ගැනීම : මව්බිම පුවත්පත කතාබහ – හිමේෂා සවන්තී රාජපක්ෂ